මාලිංග නොමැති මුම්බායි පිළට ස්මිත්ගෙන් ප්‍රහාරයක්

1753
IPL Mumbai Indians v Pune Rising
© AFP

සුපිරි පිතිකරු ස්ටීවන් ස්මිත් දියත් කළ විශිෂ්ට පිතිහරඹයක හේතුවෙන් ඉනිම නිමාවීමට තවත් එක් පන්දුවක් පමණක් ඉතිරිව තිබිය දී කඩුලු 7ක තියුණු ජයග්‍රහණයක් හිමිකර ගන්නට රයිසින් පූනේ සුපර් ජයන්ට්ස් කණ්ඩායම ඊයේ (06) සමත් විය. ඒ අනුව ලසිත් මාලිංගගේ සේවය අහිමි වුනු මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට සිදුවූයේ මෙවර තරගාවලියේ ප්‍රථම පරාජය අත්විඳීමටයි.

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් කරළියේ ශ්‍රී ලංකා භූමිකාව

2016/17 ජාත්‍යන්තර ක්‍රිකට් තරග වාරය අවසන් අදියරට පැමිණීමත් සමඟ බොහෝ ක්‍රිකට්ලෝලීන්ගේ අවධානය…

තරගාවලියේ තමන් සහභාගි වන ප්‍රථම තරගයට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ රයිසින් පූනේ සුපර්ජයන්ට්ස් කණ්ඩායම එක් වන්නේ කෙසේ හෝ ඉන් ජය ලබමින් ප්‍රසාද ලකුණු සටහනේ ඉහළට නැගීමේ අරමුණෙනි. දහස් ගණනක් වූ පූනේ ප්‍රේක්ෂකයින්ගේ ජය ඝෝෂා මධ්‍යයේ කාසියේ වාසිය දිනා ගත් නායක ස්ටීවන් ස්මිත් මුම්බායි කණ්ඩායමට මුලින් පන්දුවට පහර දීමට ආරාධනා කළේය. පූනේ කණ්ඩායම අපේක්ෂා නොකළ වෙනසක් සිදු කරමින් තරග නිමා කරන්නෙකු ලෙස ප්‍රසිද්ධියක් උසුලන ජෝස් බට්ලර් ආරම්භක පිතිකරු භූමිකාවට පණ පෙවීම මෙම තරගයේ සිදුවුනු සුවිශේෂී සිදුවීමක් බවට පත්විය.

ඒ අනුව බට්ලර් සහ පාතිව් පටෙල් දෙදෙනා ප්‍රථම කඩුල්ල වෙනුවෙන් ඉක්මන් ලකුණු 45ක් එක් කරන්නේ මුම්බායි පිළට කදිම ආරම්භයක් ලබා දෙමිනි. නමුත් විස්සයි විස්ස තරග සඳහා විශේෂඥයෙකු ලෙස සැලකෙන ඉම්රාන් තහීර් සිය පා දඟ පන්දුවෙන් ඔවුන් දෙදෙනාවම මට්ටු කරමින් මුම්බායි නායක රෝහිත් ශර්මාව ද දවා ගන්නේ පූනේ කණ්ඩායමට නැවතත් තරගයට පිවිසීමට අවස්ථාවක් උදාකර දෙමිනි. නමුත් ඒ වන විටත් පූනේ ක්‍රීඩකයින්ට සැලකිය යුතු හානියක් සිදුකර තිබූ ජෝස් බට්ලර් පන්දු 19ක් තුල දී ලකුණු 38ක් (හයේ පහර 3, හතරේ පහර 3) මුම්බායි ගිණුමට බැර කර තිබුණි.

මැදපෙළ පිතිකරුවන් ලෙස නවක පිතිකරු නිතිශ් රනා ලකුණු 34ක් සහ කිරාන් පොලාර්ඩ් ලකුණු 27ක් රැස් කළ ද මුම්බායි ඉනිම ලකුණු 160කට පමණ සීමා වන බවක් පෙනෙන්නට තිබුණි. නමුත් තරගය සහමුලින්ම කණපිට හරවන්නට අශෝක් ඩින්ඩා ක්‍රියාත්මක කළ මුම්බායි ඉනිමේ අවසන් පන්දු වාරය සමත් විය. ඩින්ඩාගේ දියාරු පන්දු යැවීම හමුවේ ලකුණු 30ක් උදුරා ගත් හාර්දික් පාණ්ඩ්‍යා මුම්බායි ලකුණු පුවරුව 184ක් දක්වා ඉහළ නංවන්නේ අවසන් පන්දු වාරයේ දී දැවැන්ත හයේ පහර 4ක් සහ හතරේ පහරක් ඊට අන්තර්ගත කරමිනි. ඩින්ඩාගේ මෙම පන්දු වාරය IPL ඉතිහාසයේ පන්දු යවන්නෙකු අවසන් පන්දු වාරය සඳහා ලබා දුන් වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා පොතට ඇතුළත් විය.

IPL තරග වල දී කවදත් ඉහළ දක්ෂතා ප්‍රකට කර ඇති මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම මෙම ලකුණු පුවරුව ආරක්ෂා කර ගනු ඇතැයි බොහෝ දෙනා අපේක්ෂා කළත් ස්ටීවන් ස්මිත් ප්‍රමුඛ පූනේ පිතිකරුවන් පරාජය භාර ගැනීමට සූදානම් නැති බව ඉනිම ආරම්භයේ සිටම පෙනෙන්නට තිබුණි. ආරම්භක පිතිකරු මායන්ක් අගර්වාල්ගේ කඩුල්ල අඩු ලකුණු ගණනක් තුල දී අහිමි වුවත් එය ගැටලුවක් කර නොගත් පූනේ ක්‍රීඩකයෝ පන්දු වාරයකට අවශ්‍ය ලකුණු වේගය පාලනය කර ගනිමින් සුපිරි පිතිකරණයක යෙදුනහ. පන්දුව ස්ථාන ගත කිරීමේත්, කල්යල් මැනීමේත් දක්ෂයෙකු ලෙස නමක් දිනා ඇති අජින්ක්‍යා රහානේ ඊට ඇරඹුම එක් කරන්නේ පන්දු 34ක් තුල දී වේගවත් ලකුණු 60ක් (හතරේ පහර 6, හයේ පහර 3) පූනේ ලකුණු පුවරුවට එක් කරමිනි.

රහානේ සමඟ එක්වෙමින් පූනේ ලකුණු පුවරුව 93ක් දක්වා ඉහළ නැංවූ නායක ස්ටීවන් ස්මිත් ඔහුගේ දැවී යාමෙන් අනතුරුව බෙන් ස්ටෝක්ස් හා එක්වෙමින් නැවතත් අර්ධ ශතක සබඳතාවයක් පිහිටුවන්නේ කෙසේ හෝ තම කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යාමේ අරමුණ පෙරදැරි කරගෙනයි. ඒ අනුව පූනේ කණ්ඩායමට තම ක්‍රීඩා පිටියේ දී ප්‍රබල මුම්බායි ඉන්දියන්ස් පිළ පරදන්නට අවසන් පන්දු වාරයේ දී හිමි වන ඉලක්කය ලකුණු 13කි. මුම්බායි කණ්ඩායමට මෙවන් අවස්ථා රැසක දී පිහිටට සිටි ලසිත් මාලිංග මෙම තරගයේ දී කණ්ඩායම සමග නොසිටීම නිසා අසරණ වුනු මුම්බායි නායක රෝහිත් ශර්මා පන්දුව භාර කරන්නේ කොදෙව් තුන් ඉරියව් ක්‍රීඩක කිරාන් පොලාර්ඩ්ටයි.

එහි මුල් පන්දු තුන ප්‍රවේශමෙන් පිලිගත් ස්ටීවන් ස්මිත් සහ මහේන්ද්‍ර සින් දෝනි එක් ලකුණ බැගින් ලබා ගත්ත ද සිව්වැනි සහ පස්වැනි පන්දු වලදී ක්‍රියාත්මක වුනු ස්මිත් පිට පිටම හයේ පහර දෙකක් එල්ල කරමින් පූනේ සුපර් ජයන්ට්ස් කණ්ඩායමට එක් පන්දුවක තියුණු ජයග්‍රහණයක් කරා ගෙන ගියේය. ජාත්‍යන්තර ක්‍රිකට් කරළියේ ද සෑබෑම දැවැන්තයෙකු වන ස්ටීවන් ස්මිත් පන්දු 54ක දී හතරේ පහර 7ක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 84ක් රැස් කළේය. තරගයේ වීරයා සම්මානය හිමිකර ගැනීමට ද ඔහු තරම් සුදුස්සෙකු මෙම තරගය තුල දී බිහි නොවීය.

අවසන් පන්දු වාරයේ පස්වැනි පන්දුව දක්වාම ඇදී ගිය මෙම රසවත් තරගය නිසා IPL තරගාවලියටම ආවේණික උණුසුම් තරගකාරීත්වයට යළි උපත ලැබුණු අතර තරගාවලියේ තෙවැනි තරගය අද (07) දෙවරක් ශූරයින් බවට පත්වූ කල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සහ ගුජරාට් ලයන්ස් කණ්ඩායම අතර පැවැත්වේ. ඒ ගුජරාට් කණ්ඩායමට සහයෝගය දක්වන වැඩි පිරිසක් වෙසෙන රාජ්කොට් හිදීය.

මුම්බායි ඉන්දියන්ස් – කඩුලු 8ක් දැවී ලකුණු 184 (පන්දුවාර 20): ජෝස් බට්ලර් 38, හාර්දික් පාණ්ඩ්‍යා 35*, නිතිශ් රනා 34, කිරාන් පොලාර්ඩ් 27, ඉම්රාන් තහීර් 3/28, රාජට් භාතියා 2/14.

රයිසින් පූනේ – කඩුලු 3ක් දැවී ලකුණු 187 (පන්දු 19.5): ස්ටීවන් ස්මිත් 84*, අජින්ක්‍යා රහානේ 60, බෙන් ස්ටෝක්ස් 21, එම්. එස්. දෝනි 12*, ටිම් සවුති 1/34, මිචෙල් මැක්ලනගන් 1/36.

  තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට