කල්කටා පිතිකරුවන්ට එරෙහිව පන්ජාබයෙන් සුපිරි පන්දු යැවීමක්!

258
ESPN Cricinfo

මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ අංක 5 ස්ථානයේ රැඳී සිටින කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායම මීළඟ වටයට පිවිසීම සඳහා නිරත වෙමින් සිටින්නේ දැවැන්ත සටනකයි. එවන් වටපිටාවක් යටතේ ඊයේ (09) ප්‍රබල කල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමඟින් තරග වැදුණු ඔවුන් ලකුණු 14ක තියුණු ජයග්‍රහණයක් වාර්තා කර ගනිමින් තරගාවලියේ තවදුරටත් සජීවීව රැඳී සිටීමට අවස්ථාව උදාකර ගත්හ.

මුම්බායි පිතිකරුවන් මට්ටු කළ හයිද්‍රාබාද් පිළේ පන්දු යැවීම

පන්දු යවන්නන් දැක්වූ සුවිශේෂී දක්ෂතා මෙන්ම ශිකර් ධවාන් සහ මොයිසස් හෙන්රිකස් අතරේ ගොඩ නැගුණු ලකුණු සබඳතාවය හේතුවෙන් ප්‍රබල මුම්බායි…

කාසියේ වාසිය දිනා ගත් කල්කටා නායක ගෞතම් ගම්බීර් මුලින් පන්දුවට පහර දීමට පන්ජාබ් ක්‍රීඩකයින්ට ඇරයුම් කරන්නේ ලැබෙන ඕනෑම ලකුණු සංඛ්‍යාවක් තම ශක්තිමත් පිතිකරණ බල ඇණිය මගින් හඹා යෑමේ බලාපොරොත්තු ඇතිවයි. පන්ජාබ් සුපිරි පිතිකරු හෂිම් අම්ලා මෙම තරගයට සහභාගි නොවීම හේතුවෙන් මාර්ටින් ගප්ටිල් සහ මනන් වොහ්රා ඉනිම ආරම්භ කිරීමට කටයුතු කළහ. ඔවුන් දෙදෙනා මුල් කඩුල්ල වෙනුවෙන් ලකුණු 39ක සබඳතාවයක් ගොඩ නැගූහ. කෙසේ වෙතත් පන්ජාබ් පිතිකරුවන් බොහෝ දෙනෙකුට ඊයේ විශාල ලකුණු සංඛ්‍යාවක් කරා යාමට අවස්ථාවක් උදා නොවීය.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා ලෙස පන්ජාබ් නායක ග්ලේන් මැක්ස්වෙල් ලකුණු 44ක් රැස් කරන්නට සමත් විය. ඒ එක් හතරේ පහරක් සහ හයේ පහර 4ක් සමගිනි. අංක 4 පිතිකරු ලෙසින් කටයුතු කළ ව්‍රිදිමන් සහාගේ පිත්තෙන් ද ලකුණු 38ක් පන්ජාබ් ලකුණු පුවරුවට එක්විය. කෙසේ වෙතත් මේ දිනවල ජයග්‍රාහී රිද්මයක පසු වන කල්කටා පන්දු යවන්නන් හමුවේ දැවැන්ත ප්‍රහාරයක් කරා යොමු වන්නට පන්ජාබ් පිතිකරුවන්ට අවස්ථාව උදා වූයේ නැත.

පන්දු යැවීමේ දී දකුණත් වේග පන්දු යවන ක්‍රීඩක ක්‍රිස් වෝක්ස් සහ චයිනමන් පන්දු යවන්නෙකු වන කුල්දීප් යාදෙව් අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියේය. මීට අමතරව උමේෂ් යාදෙව් සහ සුනිල් නරෙයින් එක් කඩුල්ල බැගින් බිඳ හෙලූහ. කෙසේ වෙතත් අම්ලාගේ සේවය අහිමි වීම සහ ශෝන් මාර්ශ්, මාර්ටින් ගප්ටිල් වැනි ප්‍රබල ක්‍රීඩකයින් පිත්තෙන් අසාර්ථක වීම නිසා පන්ජාබ් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 167ක් පමණි.

මෙවර අයි.පී.එල්. තරග වාරයේ පිතිකරණයෙන් සුපිරිතම දක්ෂතා ප්‍රකට කර ඇති කල්කටා කණ්ඩායම මෙම ලකුණු සංඛ්‍යාව ඉතාමත් පහසුවෙන් හඹා යනු ඇතැයි බොහෝ දෙනා අපේක්ෂා කලත් පන්ජාබ් පන්දු යැවීම හමුවේ එය සිතූ තරම් පහසු නොවීය. කෙසේ වෙතත් කල්කටා සුපුරුදු ප්‍රහාරක පිතිකරණ යුගලය වන සුනිල් නරෙයින් සහ ක්‍රිස් ලින් පළමු කඩුල්ල වෙනුවෙන් වේගවත් ලකුණු 39ක් එක් කිරීමට වග බලා ගත්හ.

මීට පෙර කල්කටා කණ්ඩායම ක්‍රීඩා කළ තරගයේ දී පන්දු 15කින් අර්ධ ශතකයක් වාර්තා කර ගත් සුනිල් නරෙයින්ගේ ඉනිම ඊයේ ලකුණු 18කට සීමා විය. නමුත් උරහිසේ ආබාධය සුව අතට හැරීමෙන් අනතුරුව නැවතත් ක්‍රීඩාවට අවතීර්ණ වී ඇති ක්‍රිස් ලින් ඊයේ දිනයේ දී ද තම සුපුරුදු ප්‍රහාරය දියත් කිරීමට පසුබට වූයේ නැත. විස්සයි විස්ස ක්‍රීඩාවේ විශිෂ්ටතම පිතිකරුවෙකු ලෙසින් අවිවාදයෙන්ම සටහන් කළ හැකි ලින්ගේ පිත්තෙන් ඊයේ දිනයේ ගලා ආ ලකුණු සංඛ්‍යාව 84කි. පන්දු 52ක් පමණක් වැය වුණු ඔහුගේ මෙම වේගවත් ඉනිමට හතරේ පහර 8ක් සහ හයේ පහර 3ක් ඇතුළත් විය.

මෙම ප්‍රහාරාත්මක ඉනිමෙන් බල ගැන්වුණු කල්කටා කණ්ඩායමට අවසන් පන්දුවාර 5 තුල දී අවශ්‍ය කර තිබුණේ ලකුණු 50ක් පමණි. එම ඉලක්කය සපුරා ගැනීම සඳහා ප්‍රමාණවත් පිතිකරුවන් රැසක් ඒ වන විටත් කල්කටා කණ්ඩායම සතු වූ බැවින් තරගයේ වැඩි වාසිය ඔවුන්ට හිමි විය. නමුත් තමන්ට තරගාවලියේ රැඳී සිටීමට ඇති අවසන් අවස්ථාව සටනකින් තොරව මගහැර ගැනීමට සූදානම් නොවූ පන්ජාබ් පන්දු යවන්නන් කල්කටා පිතිකරුවන් මතට දැඩි පීඩනයක් එල්ල කිරීමට සමත් වූහ.

අවසන් පන්දුවාර කිහිපයේ දී පන්ජාබ් පන්දු යැවීමේ බල ඇණියේ මූලිකත්වය ගත් මොහිත් ශර්මා වේගය අඩාල කරමින්‍ යැවූ පන්දු රැසක් සමගින් කල්කටා සුපිරි පිතිකරුවන් දමනය කිරීමට ප්‍රබල දායකත්වයක් සැපයීය. ඔහුට අනගි සහයක් ලබා දුන් පා දඟ පන්දු යවන ක්‍රීඩක රාහුල් තේවාතියා ද දක්ෂ පන්දු යැවීමක යෙදෙමින් කල්කටා පිතිකරුවන් දෙදෙනෙකු දවා ගත්තේය. රාහුල් මෙවර තරග වාරයේ මුහුණ දුන් පළමු තරගය බවට ද මෙය පත්විය.

පන්ජාබ් පන්දු යවන්නන්ගේ මෙම සුපිරි ක්‍රීඩා රටාව හේතුවෙන් නියමිත පන්දුවාර 20 අවසානයේ කල්කටා පිතිකරුවන්ට ලකුණු 153කට සීමා වන්නට සිදු විය. ඒ ලකුණු 14ක ජයක් ප්‍රතිවාදී කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායමට තිලිණ කරමිනි. තරගයේ වීරයා සම්මානය සුනිල් නරෙයින් සහ යූසුෆ් පතාන් දවා ගනිමින් අවසන් පන්දුවාර කිහිපයේ දී සුවිශේෂී දක්ෂතා ප්‍රදර්ශනය කළ දකුණත් වේග පන්දු යවන ක්‍රීඩක මොහිත් ශර්මාට හිමි විය.

මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ සිව්වැනි ස්ථානය සඳහා සීතල යුද්ධයක නිරත වෙමින් සිටින සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායම තරග 13කදී ලකුණු 15ක් ද, කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායම තරග 12කදී ලකුණු 12ක් ද ලබා සිටියි. අයි.පී.එල්. තරගාවලියේ අද (10) පැවැත්වෙන්නේ මේ වන විටත් තරගාවලියෙන් ඉවත් වී ඇති ගුජරාට් ලයන්ස් සහ දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් අතර තරගය පමණි.

කිංග්ස් XI පන්ජාබ් – කඩුලු 6ක් දැවී ලකුණු 167 (පන්දුවාර 20): ග්ලේන් මැක්ස්වෙල් 44, ව්‍රිදිමන් සහා 38, මනන් වොහ්රා 25, රාහුල් තෙවාතියා 15*, මාර්ටින් ගප්ටිල් 12, ක්‍රිස් වෝක්ස් 2/20, කුල්දීප් යාදෙව් 2/34, උමේෂ් යාදෙව් 1/26.

කල්කටා නයිට් රයිඩර්ස් – කඩුලු 6ක් දැවී ලකුණු 153 (පන්දුවාර 20): ක්‍රිස් ලින් 84, සුනිල් නරෙයින් 18, මනිෂ් පාණ්ඩේ 18, කොලින් ඩි ග්‍රැන්ඩ්හොම් 11*, ක්‍රිස් වෝක්ස් 8*, රාහුල් තේවාතියා 2/18, මොහිත් ශර්මා 2/24, මැට් හෙන්රි 1/31.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට