මුම්බායි පිතිකරුවන් මට්ටු කළ හයිද්‍රාබාද් පිළේ පන්දු යැවීම

565

පන්දු යවන්නන් දැක්වූ සුවිශේෂී දක්ෂතා මෙන්ම ශිකර් ධවාන් සහ මොයිසස් හෙන්රිකස් අතරේ ගොඩ නැගුණු ලකුණු සබඳතාවය හේතුවෙන් ප්‍රබල මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පරදා විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමට සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායමට ඊයේ (09) අවස්ථාව උදාවිය.

අයි.පී.එල් ඉතිහාසයේ දැවැන්තම ජය මුම්බායි ඉන්දියන්ස් පිළට!

ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ දැවැන්තම ජයග්‍රහණය වාර්තා කිරීමට ඊයේ (06) ප්‍රබල මුම්බායි ඉන්දියන්ස්..

මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ සිව්වැනි ස්ථානයේ රැඳී සිටින හයිද්‍රාබාද් පිළට අවසන් පූර්ව වටයට පිවිසීමේ බලාපොරොත්තු තවදුරටත් රැක ගැනීමට මෙම ජයග්‍රහණය බොහෝ සෙයින් උපකාරී විය.

ඩෙකෑන් හිදී සැකසී තිබුණු තරමක් මන්දගාමී, වියළි තණතීරුවේ ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට කාසියේ වාසිය දිනා ගත් මුම්බායි ඉන්දියන්ස් නායක රෝහිත් ශර්මා තීරණය කළේය. පන්දුව පහසුවෙන් පිත්ත කරා ඇදී නොඑන මෙවන් තණතීරුවක දී රෝහිත්ගේ තීරණය ඔවුන්ටම පාරාවළල්ලක් වන බව වැඩි වේලාවක් ගත වන්නට පෙර සියල්ලන්ටම දැක ගන්නට ලැබුණි. එහි පළමු ගොදුර බවට පත්වූයේ කලින් තරගයේ දී ලකුණු 66ක් රැස් කරගෙන තරගයේ වීරයා සම්මානය ද දිනා ගත් ලෙන්ඩ්ල් සිමන්ස්ය.

ඇෆ්ගනිස්තානු තුන් ඉරියව් ක්‍රීඩක මොහොමඩ් නබිගේ පන්දුවක් හමුවේ සිමන්ස්‍ දැවී යන විට ඔහු රැස් කරගෙන සිටියේ එක් ලකුණක් පමණි. මෙවර අයි.පී.එල් තරගාවලියේ දී මුණ ගැසුණු දක්ෂතා වලින් පරිපූර්ණ නවක ක්‍රීඩකයෙකු වන නිතිශ් රානා ද ඊයේ ලකුණු 9කට සීමා විය. කිරන් පොලාර්ඩ් ලකුණු 5යි. මුම්බායි පිළේ කඩුල්ලෙන් කඩුල්ල බිඳ වැටෙද්දී එක් අන්තයක් ආරක්ෂා කර ගනිමින් සටන්කාමී ඉනිමක නිරත වීමට මුම්බායි නායක රෝහිත් ශර්මා සමත් විය. මෙවර තරග වාරයේ තම පෞද්ගලික වැඩිම ලකුණු සංඛ්‍යාව වශයෙන් රෝහිත් ඊයේ රැස්කළ ලකුණු සංඛ්‍යාව 67කි. පන්දු 45ක් තුල දී ගොඩ නැගුණු ඔහුගේ ඉනිම හතරේ පහර 6කින් සහ හයේ පහර 2කින් අලංකාරවත් විය.

පාතිව් පටෙල් සහ හාර්දික් පාණ්ඩ්‍යා පිළිවෙළින් ලකුණු 23ක් සහ 15ක් බැගින් රැස් කළ ද මුම්බායි ඉනිම දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා ගෙන යාමට ඔවුන්ගේ දායකත්වය ප්‍රමාණවත් වූයේ නැත. මුම්බායි කණ්ඩායම ආක්‍රමණශීලී පහරවල් කරා යොමු වෙමින් ලකුණු වේගය ඉහළ දැමීමට උත්සාහ කළ සෑම අවස්ථාවක දීකම කඩුලු දැවී යාම නිසා පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 138කට සීමා වන්නට ඔවුන්ට සිදු විය. පන්දු යැවීමේ දී දකුණත් වේග පන්දු යවන්නන් වන සිද්ධාර්ත් කෞල් කඩුලු 3ක් ද, බුවනේශ්වර් කුමාර් කඩුලු 2ක් ද බිඳ හෙලීය.

මීට අමතරව පන්දුවාර 4 බැගින් ක්‍රියාත්මක කළ ඇෆ්ගනිස්තානු ක්‍රීඩකයින් දෙපළක් වන මොහොමඩ් නබි සහ රෂීඩ් කාන් එක් කඩුල්ල බැගින් බිඳ හෙලූහ. එහි දී දකුණත් පිට දඟ පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් නබී තම පන්දුවාර 4 තුල දී ලකුණු 13ක් පමණක් ලබා දුන් අතර පා දඟ පන්දු යවන ක්‍රීඩක රෂීඩ් කාන් ලකුණු 22ක් පමණක් ප්‍රතිවාදීන්ට ලබා දුන්නේය. ඇෆ්ගනිස්තානය වැනි ක්‍රිකට් ක්‍රීඩාවේ අඩු පහසුකම් සහිත රටකින් පැමිණ සුපිරි අයි.පී.එල් පිතිකරුවන්ට එරෙහිව මොවුන් දෙදෙනා දැක්වූ දක්ෂතා විචාරකයින්ගේ ද නොමද පැසසුමට ලක්විය.

ලකුණු 139ක පහසු ඉලක්කයක් හඹා ගිය සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායමට එම අභියෝගය ජය ගැනීම සඳහා වැය වූයේ පන්දුවාර 18යි පන්දු 2ක් පමණි. සන්රයිසර්ස් නායක සුපිරි වමත් පිතිකරු ඩේවිඩ් වෝනර් ලකුණු 6කට සීමා වීමෙන් අනතුරුව ලකුණු 91ක දැවැන්ත සබඳතාවයක් ගොඩ නගමින් ජයග්‍රහණය තහවුරු කිරීමට ශිකර් ධවාන් සහ මොයිසස් හෙන්රිකස් සමත් විය. ආරම්භක පිතිකරුවෙකු ලෙසින් පිටියට පිවිසි ධවාන් තරගය අවසානය දක්වාම පිටියේ රැඳී සිටිමින් නොදැවී ලකුණු 62ක් රැස් කළේය. පන්දු 46කට පමණක් මුහුණ දුන් ඔහුගේ ඉනිම හතරේ පහර 4කින් සහ හයේ පහර 2කින් වර්ණවත් විය.

අනෙක් අන්තයේ සිටි මොයිසස් හෙන්රිකස් ද හතරේ පහර 6ක් සමඟින් පන්දු 35කින් ලකුණු 44ක් රැස්කර ගත්තේය. ඔහුගේ දැවී යාමෙන් අනතුරුව පිටියට පිවිසි යුවරාජ් සිං ව ඉක්මනින්ම පිටියෙන් ඉවත් කිරීමට ලසිත් මාලිංග සමත් විය. නමුත් එතැන් සිට ශිකර් ධවාන් සමඟින් එක්වුණු විජේ ශංකර් සන්රයිසර්ස් කණ්ඩායමට පහසු ජයග්‍රහණයක් හිමිකර දුන්නේය. පන්දු යැවීමේ දී බුම්රාහ්, මැක්ලනගන් සහ මාලිංග අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියේය.

මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ සිව්වැනි ස්ථානය වෙනුවෙන් සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායම සහ කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායම අතර සීතල යුද්ධයක් ක්‍රියාත්මක වන නිසා සන්රයිසර්ස් කණ්ඩායම ලැබූ මෙම ජයග්‍රහණය ඔවුන්ට තරගාවලියේ සජීවීව රැඳී සිටීමට අතිශයින්ම වැදගත් විය. මේ වන විට තරග 13කට මුහුණ දී සිටින සන්රයිසර්ස් කණ්ඩායම ලකුණු 15ක් ද, තරග 11කට පමණක් මුහුණ දී ඇති පන්ජාබ් කණ්ඩායම ලකුණු 10ක් ද ලබාගෙන සිටියි. එබැවින් තරගාවලියේ ඉදිරියට ගමන් කිරීමට නම් පන්ජාබ් කණ්ඩායමට අතිශයින්ම වැදගත් වන කල්කටා නයිට් රයිඩර්ස් සහ කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායම් අතර තරගය අද රාත්‍රී 8ට මොහාලි හිදී ආරම්භ වනු ඇත.

මුම්බායි ඉන්දියන්ස් – කඩුලු 7ක් දැවී ලකුණු 138 (පන්දුවාර 20): රෝහිත් ශර්මා 67, පාතිව් පටෙල් 23, හාර්දික් පාණ්ඩ්‍යා 15, නිතිශ් රානා 9, කිරන් පොලාර්ඩ් 5, කරන් ශර්මා 5, සිද්ධාර්ත් කෞල් 3/24, බුවනේශ්වර් කුමාර් 2/29, මොහොමඩ් නබි 1/13.

සන්රයිසර්ස් හයිද්‍රාබාද් – කඩුලු 3ක් දැවී ලකුණු 140 (පන්දුවාර 18.2): ශිකර් ධවාන් 62*, මොයිසස් හෙන්රිකස් 44, විජේ ශංකර් 15*, යුවරාජ් සිං 9, ජස්ප්‍රිට් බුම්රාහ් 1/24, මිචෙල් මැක්ලනගන් 1/29, ලසිත් මාලිංග 1/33.

  තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට