විශ්වවිද්‍යාලයීය ක්‍රිකට් ශූරතාව ජ’පුරට

අන්තර් විශ්වවිද්‍යාලයීය ක්‍රිකට් තරගාවලිය 2022

336

2022 අන්තර් විශ්වවිද්‍යාලයීය ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය ක්‍රීඩකයෝ පසුගියදා සමත් වුනා. ඒ මොරටු විශ්වවිද්‍යාලය සමඟ පැවති අවසන් මහා තරගයේ දී කඩුලු 8ක පහසු ජයග්‍රහණයක් හිමි කර ගනිමින්.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය ක්‍රීඩකයන්ගේ ජයග්‍රාහී ගමන් මග

ප්‍රතිවාදීන් ප්‍රතිඵලය
1 කැළණිය විශ්වවිද්‍යාලය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට කඩුලු 6ක ජයක්.
2 වයඹ විශ්වවිද්‍යාලය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ලකුණු 15ක ජයක්.
3 Visual & Performing Arts ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට කඩුලු 8ක ජයක්.
අර්ධ අවසන් පූර්ව වටය
4 රජරට විශ්වවිද්‍යාලය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට කඩුලු 3ක ජයක්.
අවසන් පූර්ව වටය
5 යාපනය විශ්වවිද්‍යාලය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට කඩුලු 6ක ජයක්.
අවසාන මහා තරගය
6 මොරටුව විශ්වවිද්‍යාලය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට කඩුලු 8ක ජයක්.

මෙවර තරගාවලිය සඳහා විශ්වවිද්‍යාලයීය කණ්ඩායම් 16ක් සහභාගී වූ අතර ඔවුන් කාණ්ඩ 4ක් යටතේ ශූරතාවට තරග වැදුණා.

එහි දී A කාණ්ඩයෙන් පෙරමුණ ගැනීමට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සමත් වුනේ අපරාජිතව සිටමින්. B කාණ්ඩයෙන් අපරාජිතව සිටිමින් පෙරමුණ ගැනීමට කොළඹ විශ්වවිද්‍යාලය සමත් වුනා. C කාණ්ඩයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලය පෙරමුණ ගනිද්දී, D කණ්ඩයෙන් සබරගමුව විශ්වවිද්‍යාලය ඉදිරියට පැමිණියා.

එම ලැයිස්තුවලින් දෙවැනි ස්ථානයට පත් වෙමින් අවසන් පූර්ව වටය නියෝජනය කිරීමට පිළිවෙළින් වයඹ, යාපනය, රජරට සහ මොරටුව විශ්වවිද්‍යාල සමත් වුනා.

ඔවුන් අතර පැවති අර්ධ අවසන් පූර්ව තරගවල දී ඉදිරියට යෑමට සමත් වුනේ යාපනය විශ්වවිද්‍යාලය, වයඹ විශ්වවිද්‍යාලය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සහ මොරටුව විශ්වවිද්‍යාලයයි.

ඒ අනුව යාපනය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල අතර පැවති පළමු අවසන් පූර්ව තරගයෙන් ශ්‍රී ජයවර්ධනපුර ක්‍රීඩකයෝ කඩුලු 6ක ජයග්‍රහණයක් ලබා ගනිමින් ද වයඹ සහ මොරටුව විශ්වවිද්‍යාල අතර පැවති තරගයෙන් කඩුලු 7ක ජයග්‍රහණයක් ලබා ගත් මොරටුව විශ්වවිද්‍යාලයීය ක්‍රීඩකයෝ ද අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තා.

අවසන් මහා තරගයේ කෙටි ලකුණු සටහන

  • ක්‍රීඩාංගණය – කොළඹ විශ්වවිද්‍යාලයීය ක්‍රීඩා පිටිය
  • කාසියේ වාසිය – මොරටුව විශ්වවිද්‍යාලය

මොරටුව විශ්වවිද්‍යාලය – සියලුම දෙනා දැවී 113 (49.2) ඉසුරු හේරත් 31, සංඛ පූර්ණ 2/13, අසේල් සිගේරා 2/19, දේශාන් ප්‍රනාන්දු 2/19, කවිඳු එදිරිවීර 3/20

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය – කඩුලු 2ක් දැවී 114 (22) කසුන් අබේරත්න 36, උමේෂ් ලක්ශාන් 33, ලෙශාන් අමරසිංහ නොදැවී 19, සජිත් ද සිල්වා නොදැවී 24, විනුජ රණසිංහ 2/54

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට කඩුලු 8ක ජයක්

තරගාවලියේ තෙවැනි ස්ථානයට පත් කණ්ඩායම තෝරා ගැනීම සඳහා යාපනය සහ වයඹ විශ්වවිද්‍යාල අතර පැවැති තරගයෙන් කඩුලු 5ක ජයග්‍රහණයක් ලබා ගත් වයඹ ක්‍රීඩකයෝ තරගාවලියේ තෙවැනි ස්ථානය දිනා ගත්තා.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය කණ්ඩායම

සුපුන් වරාගොඩ (නායක), අසේල් සිගේරා, චානක රාජපක්ෂ, දේශාන් ප්‍රනාන්දු, දිනත් දිසානායක, ඉසුරු පිංටෝ, කසුන් අබේරත්න, කවීශ ජයතිලක, කවිඳු එදිරිවීර, ලෙශාන් අමරසිංහ, රන්විනු වීරක්කොඩි, සජිත් ද සිල්වා, සංඛ පූර්ණ, සොහාන් අනුරුද්ධ, තිළිණ තාරින්ද, උදේශ් ඉශන්ත, උමේෂ් ලක්ශාන්.

තරගාවලියේ දක්ෂතා දැක්වූ පිතිකරුවෝ

තරගාවලියේ ඉහළ ම දක්ෂතා දැක්වූ පිතිකරුවන් අතරින් පෙරමුණ ගැනීමට, අවසාන මහා තරගයේ දී පරාජයට පත් මොරටු විශ්වවිද්‍යාලයේ ගවීන් බොතේජු සමත් වුනා. ඔහු තරග 6ක ඉනිම් 6ක දී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 291ක්.

ඊට Indigenous Medicine විශ්වවිද්‍යාලයට එරෙහිව පන්දු 63කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සහ හයේ පහර 2ක් සමඟින් වාර්තා කළ ලකුණු 111ක් ද ඇතුළත්.

එහි දෙවැනි ස්ථානය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උමේෂ් ලක්ෂාන් සතු වුනා. ඔහු තරග 6ක ඉනිම් 6ක දී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 245ක්. ඊට කැළණිය (80), වයඹ (52) සහ Visual & Performing Arts (69*) ලබා ගත් අර්ධ ත්‍රිත්වයක් ද ඇතුළත්.

මෙම ලැයිස්තුවේ තෙවැනි ස්ථානය ලබා ගත්තේ වයඹ විශ්වවිද්‍යාලයේ දිමුතු ෆොන්සේකා. ඔහු තරග 6ක ඉනිම් 6ක දී ලකුණු 229ක් ලබා ගන්නවා. ඊට Visual & Performing Arts (72), පේරාදෙණිය (54) සහ යාපනය (56) විශ්වවිද්‍යාලවලට වාර්තා කරන ලද අර්ධ ශතක ද ඇතුළත්.

ගවින් බොතේජු ලබා ගත් ශතකයට අමතර ව තරගාවලියේ තවත් ශතක 2ක් වාර්තා වුනා. ඒ සබරගමුව විශ්වවිද්‍යාලයේ තිළිණ ප්‍රදීප්ත සහ Eastern විශ්වවිද්‍යාලයේ එම්. ප්‍රක්තාන්. තිළිණ ප්‍රදීප්ත පන්දු 100කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් ලකුණු 101ක් ලබා ගනිද්දී, එම්. ප්‍රක්තාන් ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයට එරෙහිව පන්දු 141කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 104ක් ලබා ගත්තා.

තරගාවලියේ දක්ෂතා දැක්වූ පන්දු යවන්නෝ

තරගාවලියේ වැඩිම කඩුලු ලාභීන් ලැයිස්තු ගත කිරීමේ දී පළමු ස්ථාන 3 ම හිමි වෙන්නේ වමතින් දඟපන්දු යවන්නන්ට වීම විශේෂත්වයක්. එහි පළමු ස්ථානය හිමි වෙන්නේ වයඹ විශ්වවිද්‍යාලයේ සුපුන් මධුශංක. ඔහු තරග 6කට සහභාගී වෙමින් ලබා ගත් කඩුලු සංඛ්‍යාව 18ක්. ඔහුගේ හොඳම පන්දු යැවීම ලෙසින් සටහන් වූයේ කැළණිය විශ්වවිද්‍යාලයට එරෙහිව ලකුණු 43කට ලබා ගත් කඩුලු 5යි.

එහි දෙවැනි ස්ථානය මොරටුව විශ්වවිද්‍යාලයේ විනුජ රණසිංහට හිමි වුනා. ඔහු කඩුලු 17ක් ලබා ගනිමින් මෙම අසුන වෙන්කර ගත්තා. Indigenous Medicine කණ්ඩායමට එරෙහිව ලකුණු 10කට කඩුලු 6ක් දවා ගැනීම ඔහුගේ හොඳම පන්දු යැවීමයි.

අසේල් සිගේරා එම ලැයිස්තුවේ තෙවැනි ස්ථානය දිනා ගන්නේ ලබා ගත් කඩුලු 16 හේතුවෙන්. Visual & Performing Arts විශ්වවිද්‍යාලයට එරෙහිව ලකුණු 24කට ලබා ගත් කඩුලු 6 ඔහුගේ හොඳම පන්දු යැවීමයි.

තරගාවලියේ හොඳම පන්දු යැවීමේ ගෞරවය හිමි වෙන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ වමතින් දඟපන්දු යැවූ වසන්තන් ජතුශාන්ට. ඔහු රුහුණු විශ්වවිද්‍යාලයට එරෙහිව ලකුණු 9කට ලබා ගත් කඩුලු 7ක් ලබා ගනිමින් එම අසුන වෙන්කර ගන්නවා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<