ඇන්ඩෘ ටයි සහ ඒරෝන් ෆින්ච් ගුජරාට් ජය ස්ථිර කරයි

393
Gujarat lions
Photo Credit: ESPN Cricinfo

ගේල්, කෝලි, ඩිවිලියර්ස් සහ බද්රි වැනි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ විශිෂ්ටතම ක්‍රීඩකයින් රැසකින් සමන්විත වන නමුත් මෙවර අයි.පී.එල්. තරගාවලියේ අසාර්ථකම කණ්ඩායමක් බවට පත්ව සිටින රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට තවත් දරුණු පරාජයකට මුහුණ දීමට ඊයේ (27) සිදු විය. ඒ ප්‍රතිවාදී ගුජරාට් ලයන්ස් කණ්ඩායමට එරෙහිව බැංගලෝර් හිදීම පැවති තරගයට මුහුණ දෙමිනි.

පූනේ පිළ පරදන්නට රොබින් උතප්පාගෙන් ගිණිකෙළි

රොබින් උතප්පා ක්‍රීඩා කළ විශිෂ්ට ඉනිමත්, ගෞතම් ගම්බීර්ගෙන් ලැබුණු නොමද සහයෝගයත් නිසා රයිසින් පූනේ.

කාසියේ වාසිය දිනා ගත් ගුජරාට් නායක සුරේෂ් රයිනා මේ දිනවල ලකුණු අතර නොමැති රෝයල් චැලෙන්ජර්ස් පිළ මුලින් පිතිකරණයේ යොදවමින් වාසියක් ලබා ගැනීමට තීරණය කළේය. ඒ අනුව ඉනිම ආරම්භ කළ බැංගලෝර් පිතිකරුවන් ලකුණු 134කට දැවී ගියේ රයිනාගේ බලාපොරොත්තු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක කර දෙමිනි. ආරම්භක පිතිකරුවන් ලෙසින් පිටියට පිවිසි විස්සයි විස්ස ක්‍රීඩාවේ පතාක යෝධයින් දෙදෙනෙකු වන ක්‍රිස් ගේල් සහ විරාත් කෝලි ඊයේ ලකුණු 10 සීමාව පසු කර යාමට සමත් නොවීය.

ඔවුන් දෙදෙනාගේ දැවී යාමෙන් අනතුරුව පිටියට පිවිසි දකුණු අප්‍රිකානු සුපිරි පිතිකරු ඒ.බී. ඩිවිලියර්ස් ලකුණු 5කට දුවද්දී දැවී ගියේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිළේ අවාසනාව ලොවටම ප්‍රදර්ශනය කරමිනි. ඕස්ට්‍රේලියානු බිග් බෑෂ් තරගාවලියේ සුපිරිතම ප්‍රහාරකයෙකු ලෙසින් නම් දරා සිටින ට්‍රැවිස් හෙඩ්ට යැවූ පළමු පන්දුවම ඔහුව නැවත ක්‍රීඩාගාරයට හරවා යවන්නන්ට ප්‍රමාණවත් විය. හෙඩ්ගේ කඩුල්ලේ අයිතිය තවත් ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෙකු වන ඇන්ඩෘ ටයි ට හිමිවිය.

මෙවන් සුපිරි ක්‍රීඩකයින් ඉතාමත් අඩු ලකුණු සංඛ්‍යා වලට දැවී යද්දී නවක ඉන්දියානු ක්‍රීඩකයින් දෙපළක් වන පවන් නෙගී සහ කෙඩාර් ජාදෙව් පිළිවෙලින් ලකුණු 32 සහ 31 බැගින් රැස් කිරීමට සමත් විය. ඔවුන් දෙදෙනා සහ ඊයේ අංක 10 පිතිකරු ලෙසින් පිටියට පිවිස නොදැවී ලකුණු 15ක් රැස්කළ අනිකට් චෞද්‍රි නොවන්නට රෝයල් චැලෙන්ජර්ස් ක්‍රීඩකයින්ට ලකුණු 100 සීමාව ද සිහිනයක්ම පමණක් වන්නට ඉඩ තිබුණි.

රෝයල් චැලෙන්ජර්ස් ඉනිම බිඳ දැමීමට මූලිකත්වය ගත් දකුණත් වේග පන්දු යවන ක්‍රීඩක ඇන්ඩෘ ටයි තම පන්දුවාර 4 තුල දී ලකුණු 12ක් පමණක් ලබා දී කඩුලු 3ක්ම බිඳ හෙලීය. මීට අමතරව කඩුලු 2ක් දවාගත් වමත් පිට දඟ පන්දු යවන ක්‍රීඩක රවින්ද්‍ර ජඩේජා, ඩිවිලියර්ස්ව දුවද්දී දැවී යාමට හසුකර ගැනීමට ද ආධාර විය. තම මංගල අයි.පී.එල් අත්දැකීම විඳගත් අන්කිත් සෝනිට ද ඊයේ දිනයේ එක් කඩුල්ලක් හිමිවිය.

ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් ගුජරාට් ක්‍රීඩකයින් තරගය ජය ගැනීම මෙන්ම දළ ලකුණු වේගය ඉහළ දමා ගැනීමට ද මෙම තරගය අවස්ථාවක් බවට පත්කර ගත්තේය. ඒ ලකුණු 135ක ඉලක්කය පන්දුවාර 14ක් ගත වීමටත් මත්තෙන් සපුරා ගනිමිනි. පිටිය සිසාරා පහරවල් එල්ල කල ඕස්ට්‍රේලියානු ප්‍රවේගකාරී පිතිකරු ඒරෝන් ෆින්ච් ඊයේ පන්දු 34කින් ලකුණු 72ක් රැස්කර ගත්තේය. ඔහුගේ සුපිරි ඉනිම අලංකාර හතරේ පහර 5කින් සහ දැවැන්ත හයේ පහර 6කින් හැඩ ගැන්විණ.

නායක සුරේෂ් රයිනා තරගය අවසානය දක්වාම කඩුල්ලේ රැඳෙමින් ගුජරාට් ජයග්‍රහණය ස්ථිර කළේය. හතරේ පහර 4ක් සහ එක් හයේ පහරක් සමගින් ඔහු රැස්කළ ලකුණු සංඛ්‍යාව 34කි. ආරම්භක පන්දු යවන්නා වශයෙන් කටයුතු කළ සැමුවෙල් බද්රි බ්‍රෙන්ඩන් මැකලම්ව ලකුණු 3කට දවා ගැනීමට සමත් වූවත් මුම්බායි තරගයේදී ඔහු සිදුකළ ආකාරයේ පෙරළියක් සිදු කිරීමට ඊයේ අවස්ථාව උදා නොවීය.

තරගයේ වීරයා සම්මානය සුපිරි පන්දු යැවීමක නිරත වුනු දකුණත් වේග පන්දු යවන ක්‍රීඩක ඇන්ඩෘ ටයි ට හිමිවිය. මේ වනවිට ගුජරාට් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ 6 වැනි ස්ථානයේ රැඳී සිටින අතර බැංගලෝර් පිළට හිමිවී තිබෙන්නේ සත්වැනි ස්ථානයි. ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ කල්කටා සහ දිල්ලි කණ්ඩායම් අද (28) පස්වරු 4ට තරග වදින අතර, පන්ජාබ් සහ හයිද්‍රාබාද් කණ්ඩායම් රාත්‍රි 8ට තරග බිමට පිවිසෙණු ඇත.

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් – සියල්ලන්ම දැවී ලකුණු 134 (පන්දුවාර 20): පවන් නෙගී 32, කෙඩාර් ජාදෙව් 31, අනිකට් චෞද්‍රි 15*, විරාත් කෝලි 10, ශ්‍රීනාත් අරවින්ද් 9, ඇන්ඩෘ ටයි 3/12, රවින්ද්‍ර ජඩේජා 2/28, ජේම්ස් ෆෝක්නර් 1/15.

ගුජරාට් ලයන්ස් – කඩුලු 3ක් දැවී ලකුණු 135 (පන්දුවාර 13.5): ඒරෝන් ෆින්ච් 72, සුරේෂ් රයිනා 34, ඉශාන් කිශාන් 16, බ්‍රෙන්ඩන් මැකලම් 3, සැමුවෙල් බද්රි 2/29, පවන් නෙගී 1/24.

  තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට