මොහොතකට හදගැස්ම නැවැත්වූ Highlanders ජයග්‍රහණය!

149
INVESTEC SUPER RUGBY

Investec Super Rugby Aotearoa 2020 තරගාවලියේ තවත් එක් තරගයක් අද (19) නවසීලන්තයේ හැමිල්ටන් නුවර කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වුන අතර සත්කාරක Chiefs සහ Highlanders අතර පැවති මෙම උණුසුම් සටනෙන් තියුණු ජයක් අත්පත් කරගැනීමට Highlanders ක්‍රීඩකයින් සමත් විය. අවසන් ලකුණු සටහන දිස්වූයේ 31-33ක් ලෙසිනි.

>> Blues නිලංකාර කරමින් Hurricanes වෙලිංටන් පිටිය කළඹයි

ඉදිරි සති කිහිපයේ දී ප්‍රසාද ලකුණු සටහනේ යම් වෙනසක් සිදු කිරීමට අවශ්‍ය නම් අද තරගයේ ජයග්‍රහණය කණ්ඩායම් දෙකටම එක ලෙස වැදගත් වූ අතර එම නිසාවෙන් ආරම්භයේ සිටම තරගය ඉතාමත් උණුසුම් මුහුණුවරක් ගනු ලැබීය.

තරගයේ පළමු වෙඩිමුර කිහිපය දියත් කිරීමේ ගෞරවය හිමිකරගත් සත්කාරකයින් මිනිත්තු 10ක් වැනි කෙටි කාලසීමාවක් තුල දී ප්‍රවර්තිත උත්සාහක දිනුම් 2ක් වාර්තා කළේ ප්‍රතිවාදී Highlanders ක්‍රීඩකයින් දැඩි පීඩනයකට හසුකොට ගනිමිනි. Lachlan Boshier සහ Anton Lienert Brown දෙදෙනා Chiefs කණ්ඩායම වෙනුවෙන් ලකුණු රැස් කිරීමේ කාර්යයෙහි නිරත විය. (Chiefs 14 – 00 Highlanders)

ඉන් අනතුරුව අනතුරුදායක ලෙස ප්‍රතිවාදී ක්‍රීඩකයෙකු tackle කිරීමට උත්සහ කළ නිසාවෙන් Highlanders ක්‍රීඩක Rob Thompson හට කහ කාඩ්පතකින් දඬුවම් කිරීමට ප්‍රධාන විනිසුරුතුමන් තීරණය කළ අතර මේ නිසාවෙන් උදා වූ දඬුවම් පහර සාර්ථක කරගනිමින් ලකුණු පරතරය තවත් ඉහළ නංවාලීමට Damian McKenzie හට හැකි විය. (Chiefs 17 – 00 Highlanders)

21 වැනි මිනිත්තුවේ දී Bradley Slater ධවල රේඛාවට ඔබ්බෙන් පන්දුව පතිත කරමින් Chiefs කණ්ඩායම වාර්තා කළ තෙවැනි ප්‍රවර්තිත උත්සාහක දිනුමේ හිමිකරුවා බවට පත් වූ අතර පළමු අර්ධය නිමා වීමට මත්තෙන් ලකුණු පුවරුවේ තම අන්තය ද පණ ගැන්වීමට කටයුතු කළ Highlanders ක්‍රීඩකයින් දිනයේ පළමු ප්‍රවර්තිත උත්සාහක දිනුම වාර්තා කළේ Marino Mikaele සුරක්ෂිතව උත්සාහක දිනුම් සීමාව අභිබවා රැගෙන යාමත් සමඟිනි. (Chiefs 24 – 07 Highlanders)

>> Blues අපරාජිත ගමන් මඟට තිත; Crusaders කෙමෙන් කිරුළට ළං වේ

පළමු අර්ධය: Chiefs 24 (3T,3C,1P) – 07 (1T,1C) Highlanders 

පළමු අර්ධයේ ආධිපත්‍යය පතුරවාලූ Chiefs ක්‍රීඩකයින් දෙවන අර්ධය ආරම්භයේ දී ම තම ගිණුම යලි තර කරගත්තේ අද දිනයේ වාර්තා කළ දෙවන ප්‍රවර්තිත උත්සාහක දිනුම ද Bradley Slaterගේ නම ඉදිරියේ සටහන් කරමිනි. 

ඊට පිළිතුරු සපයමින් ප්‍රතිවාදි නොම්මර 11 ක්‍රීඩක Mitch Hunt ක්‍රියාත්මක වූයේ සුපිරි ධාවනයකින් අනතුරුව වාර්තා කළ දැකුම්කළු උත්සාහක දිනුමකින් Highlanders ලකුණු පුවරුව සවිබල ගන්වමිනි. එහි ප්‍රවර්තනය සාර්ථක කරගැනීමට ඔහු අපොහොසත් විය. (Chiefs 31 – 12 Highlanders)

ඉන් අනතුරුව තරගය කණපිට පෙරළීමේ මෙහෙයුම ඇරඹූ Highlanders ක්‍රීඩකයින් තරග අවසානයට පෙර ප්‍රවර්තිත උත්සාහක දිනුම් ත්‍රිත්වයක් වාර්තා කරමින් පැමිණ සිටි සියල්ලන්ම මවිතයට පත්කළේ Chiefs දෙසට දෝලනය වෙමින් තිබූ තරගය සම්පූර්ණයෙන්ම පාහේ ඔවුන්ගෙන් උදුරා ගනිමිනි.

>> ශ්‍රී ලංකාව සහ පාකිස්තානය ක්‍රීඩාවෙන් එක්වේ 

Highlanders නායක Aaron Smith ප්‍රතිවාදී ආරක්ෂක වැට නිරුත්තර කරමින් දක්ෂ ලෙස ඔවුන් මුලා කරමින් උත්සාහක දිනුම් කණුව වෙත ඇදුණේ එතෙක් වේලා තිබුණු විශාල ලකුණු පරතරය එක්වරම පහත හෙළමිණි. 75 වැනි මිනිත්තුවේ දී දියත් කළ ක්ෂණික ප්‍රහාරයෙන් අන්දමන්ද වූ Chief ආරක්ෂක පෙළ තවත් උත්සාහක දිනුමකට මඟපදා දුන්නේ Highlanders ක්‍රීඩක Jona Narekiගේ වෑයම සාර්ථක කරගැනීමට ඉඩප්‍රස්තාව සලසා දෙමිනි. (Chiefs 31 – 26 Highlanders)

තරගය අවසන් වීමට මිනිත්තුවක පමණ කාලයක් ඉතිරිව තිබිය දී ලකුණු තත්වය සමකළ Highlanders කණ්ඩායමේ Patelesio Tomkinson අත්‍යාවශ්‍යම මොහොතේ දී උත්සාහක දිනුමක් වාර්තා කළේ Mitch Hunt හට ප්‍රවර්තනයේ ලකුණු ද්විත්වයෙන් තරගයේ ඉරණම විසඳීමට මඟපාදා දෙමිනි. එයින් නිසි ඵල නෙලා ගත් Hunt තම කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේ පන්දුව නිවැරදිව ගෝල කණු දෙක අතරින් පා කර හරිමිනි. (Chiefs 31 – 33 Highlanders)

අවසන් ලකුණු තත්වය: Chiefs 31 (4T,4C,1P) – 33 (5T,4C) Highlanders 

ලකුණු රැස්කළ ක්‍රීඩකයෝ

  • Chiefs – Lachlan Boshier (1T), Anton Lienert Brown (1T), Bradley Slater (2T), Damian McKenzie (4C,1P)
  • Highlanders – Marino Mikaele (1T), Aaron Smith (1T), Jona Nareki (1T), Mitch Hunt (1T,4C), Patelesio Tomkinson (1T)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<