අන්තර් පළාත් පාපන්දු ගැටුමට සියල්ල සූදානම්

අන්තර් පළාත් පාපන්දු තරගාවලිය 2022

284

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් පළමු වතාවට සංවිධානය කරන අන්තර් පළාත් පාපන්දු තරගාවලිය එළඹෙන පෙබරවාරි මස 22 වැනිදා සිට 28 වැනිදා දක්වා ක්‍රීඩාංගණ කිහිපයක් කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට නියමිතයි.

බස්නාහිර, නැගෙනහිර, උතුර, දකුණ, සබරගමුව, ඌව, මධ්‍යම පළාත් නියෝජනය කරමින් කණ්ඩායම් මෙම තරගාවලියට සහභාගී වීමට නියමිත අතර උතුරු මැද සහ වයඹ පළාත් එකාබද්ධ කර එක් කණ්ඩායමක් නිර්මාණය කිරීමට තීරණය කර ඇති නිසාවෙන් මුළු කණ්ඩායම් සංඛ්‍යාව 8ක්.

තරගාවලිය පෙබරවාරි 22 වැනිදා අනුරාධපුර මහජන ක්‍රීඩාංගණයෙන් ආරම්භ වීමට නියමිතව ඇති අතර සියලුම පළාත් හී ක්‍රීඩාංගණ හී දිවා/ රාත්‍රි ලෙස තරග පැවැත්වීමට තීරණය කර ඇත.

එමෙන්ම මෙම කණ්ඩායම් 8 සඳහා ක්‍රීඩකයින් එම පළාත තුලින් තෝරාගැනීමට නියමිත අතර කණ්ඩායම් සඳහා අත්දැකීම් බහුල පුහුණුකරුවන් නම් කිරීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය කටයුතු කර තිබුණා.

එක් එක් කණ්ඩායම් සඳහා නම් කළ පුහුණුකරුවන්,

  • බස්නාහිර – සුමිත් වල්පොල මහතා
  • දකුන – ශිරන්ත කුමාර මහතා
  • නැගෙනහිර – එම්. එච්. එම්. රූමි මහතා
  • උතුර – ජැස්මීන්
  • ඌව – එම්. එච්. එම්. හම්සා
  • සබරගමුව – එම්. එම්. රහුමාන්
  • මධ්‍යම – රූමි පකීර් අලී
  • උතුරු මැද සහ වයඹ – රාජමනී දේවසහායම්

මෙම තරගාවලිය ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකා පාපන්දු සංචිතය ද විසුරුවාලීමට පාපන්දු සම්මේලනය කටයුතු කර ඇති අතර ජාතික කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයින් උපන් පළාත නියෝජනය කළ යුතුයි.

තරගාවලියේ තරග කාලසටහන පිළිබඳව තවමත් කිසිදු තොරතුරක් ලබාදී නොමැති අතර තරගාවලිය පිළිබඳව සියලුම තොරතුරු ඔබ වෙත ගෙන ඒමට ThePapare.com අප සූදානම්. රැඳී සිටින්න අප සමඟ.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<