ශ්‍රී ලංකා පාපන්දු විනිසුරු ක්ෂේත්‍රයේ අනාගතය ගැටලුකාරීයි – රූමි

1174
SLTB v CFC

කොළඹ පාපන්දු සමාජයේ සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ක්‍රීඩා සමාජයේ පාපන්දු පුහුණුකරුවන් සහ හිටපු ජාතික පාපන්දු ක්‍රීඩකයන් වන මොහොමඩ් රූමි සහ පාල විජේසේකර 2016/17 එෆ්. ඒ. කුසලාන අවසන් කණ්ඩායම් 64 වටයට අදාලව එම කණ්ඩායම් දෙක අතර කැළණිය පාපන්දු සංකීර්ණයේ දී පැවති තරගයේ විනිසුරු තීරණ වල ගුණාත්මක භාවය පිළිබඳ අසතුට පල කර සිටියි.

කොළඹ සහ ජාවා ලේන් ක්‍රීඩකයින්ට ජයග්‍රහණය

සතියේ පාපන්දු පිටිය උණුසුම් කරමින් තවත් පාපන්දු තරග දෙකක් මේ සති අන්තයේ දී පැවැත්විය…

මෙම තරගයේ දී පසුගිය 2016 ඩයලොග් චැම්පියන්ස් ලීග් ජයග්‍රාහකයන් වන කොළඹ පාපන්දු සමාජය අභියෝගාත්මක ශ්‍රී ලං. ග. ම. කණ්ඩායම පරාජය කළේ දෙවන අර්ධයේ දී නවක ක්‍රීඩක ඩිලාන් කෞශල්‍ය සහ ධනුෂ්ක මධුශංක වාර්තා කල ගෝල දෙක මගිනුයි.

කෙසේ වෙතත් කණ්ඩායම් දෙකේ පුහුණුකරුවන් පවසන්නේ එදින වඩාත්ම කැපී පෙනෙන සිදුවීම බවට පත් වුනේ විනිසුරු වරුන්ගේ ක්‍රියා කලාපය වූ බවයි.

”අද දවසේ විනිසුරු තීරණ බොහොමයක් දෝෂ සහගතයි. සාමාන්‍යයෙන් තීරණයක් පිළිබඳ විශ්වාසයක් නොමැති නම් පැති විනිසුරු (සහායක විනිසුරු) ගෙන් ඒ පිළිබඳ විමසා නිවැරදි තීරණය ගැනීමට ප්‍රධාන විනිසුරු වරයාට හැකියාව තිබෙනවා. තීරණයක් සඳහා උදව් ලැබෙන තුරු බලා සිටීමට අවශ්‍ය නැහැ. ඔවුන් උදව් ලබා ගන්නේ 4 වන විනිසුරු වරයාගෙන්.” පාල විජේසේකර පවසයි.

ඔහු පවසන කරුණට පාදක වූ සිදුවීම වූයේ පළමු අර්ධයේ දී පිටියෙන් ඉවතට ගිය පන්දුවක් නැවත පිටිය තුලට විසි කිරීමේ අවස්ථාව ලැබෙන්නේ කුමන කණ්ඩායමට ද යන්න තීරණය කිරීමේ සිදුවූ දෝෂයක් නිවැරදි කිරීම සඳහා තරමක කාලයක් ගත වූ පසු සිව් වන විනිසුරු වරයාට මැදහත් වීමට සිදු වීමයි.

”බොහොමයක් කහ සහ රතු කාඩ්පත් ලැබීමට හේතු වුනෙත් විනිසුරු වරයා අවශ්‍ය අවස්ථා වල දී තරගය නැවැත්වීමට ක්‍රියා නොකිරීම හේතුවෙනුයි. ක්‍රීඩකයන් වරදක් සිදු කරන මූලික අවස්ථා වල දී ඔවුන්ට අවවාද කිරීමට විනිසුරු ක්‍රියා නොකිරීම හේතුවෙන් ඔවුන් එම වරද නැවත නැවත කිරීමට පෙලඹෙනවා. එවිට ප්‍රමාද වී ගන්නා තීරණ මගින් සිදුවන්නේ ක්‍රීඩකයන් මානසිකව ඇද වැටීමට ලක් වීමයි.” ඔහු වැඩි දුරටත් පැවසීය.

මුළු තරගය පුරාවටම විනිසුරු තීරණ පිළිබඳ පැවතුනේ අතිශය විවාදාත්මක තත්ත්වයක්. අවසානයේ එම තීරණ පිළිබඳ කණ්ඩායම් දෙකම පල කළේ ධනාත්මක අදහස් නොවේ.

”එය ඇත්තෙන්ම ඉතාමත් දරුණු මට්ටමේ විනිසුරු දුර්වලතාවක්. මෙම විනිසුරුවරයා මෙලෙස කටයුතු කරන ආකාරය මම දැකපු පළමුවැනි අවස්ථාවත් මෙය නොවේ.” කොළඹ පාපන්දු සමාජයේ පුහුණුකරු රූමි ද ප්‍රතිවාදී පුහුණුකරුගේ අදහස් තහවුරු කරමින් පැවසීය.

”මම විනිසුරුවන් පිළිබඳ වැරදි අයුරින් විවේචනය කරනවා නොවේ. මොකද මමත් විනිසුරුවරයෙක් ලෙස කටයුතු කර තිබෙනවා. මම කියන්නේ මේ විදිහට දිගටම සිදුවුනොත් ශ්‍රී ලංකාවේ පාපන්දු විනිසුරු ක්ෂේත්‍රයේ අනාගතය අතිශයින් ගැටලුකාරී තත්ත්වයකට පත් වෙනවා. අපි කතා කරන්නේ ඩිලාන් (ඩිලාන් පෙරේරා) සහ රොබේෂ් (නිවෝන් රොබේෂ්) පිළිබඳ පමණයි. ඔවුන් මත පමණක් රඳා පවතින්න හැකියාවක් නැහැ මොකද ඔවුන් විනිසුරුවන් දෙදෙනෙක් පමණයි.

මෙරට තරගාවලි සහ තරග විශාල සංඛ්‍යාවක් පැවැත්වෙනවා. ඉතින් අපිට විනිසුරුවන් විශාල ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. එම නිසා ඉහළ මට්ටමේ වැඩමුළු පවත්වා හොඳ උපදෙස් ලබා දීම මගින් විනිසුරුවන්ගේ ගුණාත්මකභාවය දියුණු කළ යුතුයි. ඉදිරි තරග සඳහා අපිට අවශ්‍ය වෙන්නේ හොඳ නැගී එන විනිසුරුවන්.” රූමි පැවසුවේ ශ්‍රී ලංකා පාපන්දු විනිසුරු ක්ෂේත්‍රය වසා ගනිමින් පවතින අඳුරු වලාවන් පිළිබඳ අනතුරු ඇඟවීමක් ද සමඟයි.

  තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට