අවසන් මිනිත්තුවේ දී දනුෂ්ක Sea Hawksට ජය කණුව පෙන්වයි

Super League 2021

393

දෙසතියකට ආසන්න විවේකයකින් පසුව සුපර් ලීග් පාපන්දු පිටියේ 7 වැනි තරග සතිය අද (28) ආරම්භ වූ අතර එහි දී ගෝල 2-1ක් ලෙස Red Star FC පරාජය කරමින් ජයග්‍රහණය වාර්තා කරන්නට Sea Hawks FC සමත් වුනා.

කණ්ඩායම් දෙකම අවසන් වරට ක්‍රීඩා කළ තරග ජය පරාජයෙන් තොරව අවසන් කරමින් අද තරගය සඳහා අවතීර්ණ වුනා.

සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ ප්‍රථමයෙන් ගෝල රැස් කිරීම ආරම්භ කළේ Red Star ක්‍රීඩක Mohomed Rahman විසිනුයි. තරගයේ 15 වැනි මිනිත්තුවේ දී වාර්තා වූ එම ගෝලයට ප්‍රතිඋත්තර ලබා දෙන්නට Sea Hawks සමත් වුනේ ප්‍රථම අර්ධය අවසන් වීමට මොහොතකට පෙරාතුවයි. සාර්ථකව පන්දුව දැල් ගත කරන්නට සමත් වූ Motohiro Kaneshiro එම ගෝලය සඳහා හිමිකම් කීවා.

ඒ අනුව ගෝල 1-1ක් ලෙස තරගය දෙපිලටම විවෘත කරමින් ප්‍රථම අර්ධය අවසන් වූ අතර දෙවැනි අර්ධයේ දී ජයග්‍රහණය තමන් සතු කර ගැනීමෙන් බලාපොරොත්තුවෙන් කණ්ඩායම් දෙකම නැවතත් පිටියට අවතීර්ණ වුනා.

ඉතාමත් කරට කර පැවති දෙවැනි අර්ධයේ දී දෙපිලේම ක්‍රීඩකයින් ගෝල වාර්තා නොකරමින් තරගය සමව අවසන් වන බවක් පෙනෙන්නට තිබුනත්, 90+5 මිනිත්තුවේ දී ක්‍රියාත්මක වූ ආදේශක ක්‍රීඩකයෙකු ලෙස පිටියට පිවිසි දනුෂ්ක මදුසංක තරගයේ තීරණාත්මක ගෝලය වාර්තා කරමින් Sea Hawks ජයග්‍රහණය කරා රැගෙන ගියා.

අවසන් ලකුණු තත්වය: Sea Hawks FC 2 – 1 Red Star FC

ගෝල ලාභීන්:

  • Sea Hawks: Motohiro Kaneshiro 45+4, දනුෂ්ක මදුසංක 90+5
  • Red Star: Mohomed Rahman 15’

මෙරට ප්‍රථම වෘත්තීය පාපන්දු ලීගය වන සුපර් ලීග් තරගාවලියේ 7 වැනි තරග සතියේ තවත් තරග කිහිපයක් හෙට (29) සහ අනිද්දා (30) සුගතදාස ක්‍රීඩාංගණයේ දී පහත පරිදි පැවැත්වීමට නියමිතයි.

  • දෙසැම්බර් 29: Up Country Lions FC සහ Colombo FC – සවස 3:30
  • දෙසැම්බර් 29: New Youngs FC සහ Renown SC – රාත්‍රි 7:30
  • දෙසැම්බර් 30: Defenders FC සහ Blue Star SC – සවස 3:30
  • දෙසැම්බර් 30: Blue Eagles SC සහ Ratnam SC – රාත්‍රි 7:30

සුපර් ලීග් පාපන්දු තරගාවලියේ සියලු තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<