පැතුම් නිස්සංකට බංග්ලාදේශ තරගාවලිය මඟ හැරෙන ලකුණු

ශ්‍රී ලංකා කණ්ඩායමේ බංග්ලාදේශ සංචාරය 2022

1006
 

ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක හට එළඹෙන බංග්ලාදේශ තරග සංචාරය මඟ හැරීමට වැඩි ඉඩක් තිබෙන බව ThePapare.com වෙත වාර්තා වෙනවා. ඒ ඔහුගේ පිට කොන්දේ ආබාධය තවමත් සම්පූර්ණ ලෙස සුව වී නොතිබෙන නිසයි.

පසුගිය දා නිමා වුනු ඉන්දු – ශ්‍රී ලංකා ටෙස්ට් තරග දෙකකින් යුත් තරගාවලියේ පළමු තරගයට පසුව නිස්සංකට ඇති වුන මේ පිට කොන්දේ ආබාධය නිසා මොහාලි හිදී පැවැත්වුණු දෙවන ටෙස්ට් තරගය ද ඔහුට මඟ හැරී ගියා.

ඉන්දියාව සමඟ පැවති පළමු ටෙස්ට් තරගයේ දී අංක 3 පිතිකරණ ස්ථානයේ ක්‍රීඩා කළ නිස්සංක පළමු ඉනිමේ දී ලකුණු 61ක් සහ දෙවැනි ඉනිමේ දී ලකුණු 6ක් ලබා ගැනීමට සමත් වුනා.

නිස්සංකගේ ආබාධය සහ ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු ලහිරු තිරිමාන්න ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට ඇතුළත් කර නොමැති නිසා ඕෂද ප්‍රනාන්දු ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලෙස ක්‍රීඩා කිරීම සඳහා වැඩි ඉඩක් තිබෙන බව ද දැන ගන්නට ලැබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් මේ තරගාවලියේ මූලික සංචිතය සඳහා ක්‍රීඩකයින් 23 දෙනෙකුගෙන් යුත් මූලික සංචිතයක් තෝරාගෙන තිබෙන අතර ඒ ක්‍රීඩකයින් සඳහා වන ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය මේ මස 25 සිට 27 දක්වා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

මේ ක්‍රීඩකයින් 23කින් යුත් සංචිතය දැන් ක්‍රීඩකයින් 18 දක්වා අඩු කර තිබෙන අතර ආබාධයකට ලක්ව සිටින නිස්සංකට අමතරව ශිරාස් ප්‍රනාන්දු, ලක්ෂිත මණසිංහ, ජෙෆ්රි වැන්ඩර්සේ සහ ශිරාන් ප්‍රනාන්දු මේ බංග්ලාදේශ ටෙස්ට් තරග සංචාරය සඳහා සහභාගී වන අවසන් සංචිතය සඳහා නම් කර නොමැති බව ද වාර්තා වෙනවා.

කෙසේ නමුත් සංචිතයේ සිටින ක්‍රීඩකයින් 18 දෙනාගෙන් යම් අයෙක් ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය අසමත් වන්නේ නම්, මේ ක්‍රීඩකයින් හට බංග්ලාදේශයට එරෙහි ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට ඇතුළත් වීමට ද හැකියාවක් තිබෙනවා.

ශ්‍රී ලංකා අපේක්ෂිත ටෙස්ට් සංචිතය: දිමුත් කරුණාරත්න (නායක), ඕෂද ප්‍රනාන්දු, ධනංජය ද සිල්වා, ඇන්ජලෝ මැතිව්ස්, කුසල් මෙන්ඩිස්, කමිල් මිශාර, රොෂේන් සිල්වා, නිරෝෂන් දික්වැල්ල, දිනේෂ් චන්දිමාල්, රමේෂ් මෙන්ඩිස්, චාමික කරුණාරත්න, කසුන් රාජිත, විශ්ව ප්‍රනාන්දු, අසිත ප්‍රනාන්දු, ඩිල්ශාන් මදුශංක, ප්‍රවීන් ජයවික්‍රම, ලසිත් ඇඹුල්දෙණිය, සුමින්ද ලක්ෂාන්.

තරගාවලියේ කාලසටහන:

  • දෙදින පුහුණු තරගය – මැයි 11 සහ 12 – A.Aziz Stadium, Chattogram
  • පළමු ටෙස්ට් තරගය – මැයි 15 සිට 19 දක්වා – ZACS, Chattogram
  • දෙවැනි ටෙස්ට් තරගය – මැයි 23 සිට 27 දක්වා – SBNCS, Dhaka

තරගාවලියේ උණුසුම ඔබ වෙත සමීප කරන්නට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<