ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට The Hundred තරගාවලියෙත් ඉඩක් නැහැ

358

එංගලන්තයේ දී පැවැත්වීමට නියමිත The Hundred ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය ඊයේ (23) පැවති අතර එහි දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉදිරිපත් වූ ක්‍රීඩකයන් කිසිවෙකු කිසිදු කණ්ඩායමක් විසින් තෝරාගත්තේ නැහැ.

එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් සංවිධානය කරන මෙම ක්‍රිකට් තරගාවලිය පසුගිය වසරේ දී පැවැත්වීමට සූදානම් කර තිබූ නමුත් කොරෝනා වසංගතය නිසාවෙන් එය කල් දැමීමට සිදු වුනා.

පසුව ක්‍රිකට් ක්‍රීඩාවේ සිදු වූ නැවත ආරම්භයත් සමඟ එම තරගාවලිය මෙම වසරේ ජූලි මාසයේ දී පැවැත්වීමට එංගලන්ත ක්‍රිකට් පාලක අධිකාරිය තීරණය කළා.

තරගාවලිය සඳහා විදෙස් ක්‍රීඩකයන් 252ක් සහ එංගලන්ත ක්‍රීඩකයන් 254ක් සහභාගි වන බවත්, තරගාවලිය සඳහා කණ්ඩායම් 8ක් තරග වදින බවත් එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය පසුගිය දා නිවේදනය කළා.

ඊයේ පැවති “The Hundred” තරගාවලියේ ක්‍රීඩකයින් බෙදා වෙන් කිරීම සඳහා ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයන් 18 දෙනෙකු ඉදිරිපත්ව සිටියා.

තරගාවලියේ ක්‍රීඩකයන් බෙදා වෙන් කිරීම සඳහා මෙරටින් ධනංජය ද සිල්වා, තිසර පෙරේරා, කුසල් ජනිත්, නිරෝෂන් දික්වැල්ල සහ ඉසුරු උදාන යන ක්‍රීඩකයන් ඉදිරිපත්ව තිබූ අතර පවුම් 32,000 කාණ්ඩය නියෝජනය කරමින් තික්ෂිලි ද සිල්වා සහ ලසිත් ඇඹුල්දෙනිය ඉදිරිපත්ව තිබුණා.

එම ක්‍රීඩකයන්ට අමතරව වෙන්දේසිය සඳහා වනිඳු හසරංග, අකිල ධනංජය, අවිශ්ක ප්‍රනාන්දු, අසේල ගුණරත්න, ධනුෂ්ක ගුණතිලක, ළහිරු කුමාර, කුසල් මෙන්ඩිස්, භානුක රාජපක්ෂ, දසුන් ශානක, ළහිරු තිරිමාන්න, තිලාන් වලල්ලාවිට යන ක්‍රීඩකයින් ද තෝරාගෙන තිබුණා.

තවත් ක්‍රිකට් පුවත්:

ඊයේ පැවති ක්‍රීඩක වෙන්දේසියේ දී විදෙස් ක්‍රීඩකයන් 35 දෙනෙකු තෝරාගැනීමට කණ්ඩායම් හිමිකරුවන් කටයුතු කර තිබුණා. කෙසේ නමුත් පසුගිය සතියේ පැවති ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී IPL ඉතිහාසයේ පළමු වරට මෙරට ක්‍රීඩකයන් කිසිවෙකුත් කණ්ඩායමක් විසින් මිල දී ගැනීමට තීරණය කර තිබුණේ නැහැ.

ඊයේ පැවති ක්‍රීඩකයන් බෙදා වෙන්කිරීමේ දී වැඩිම මුදලකට කණ්ඩායමක් විසින් ලබා ගත් ක්‍රීඩකයා ලෙස පවුම් 100,000 කාණ්ඩයෙන් ඉදිරිපත්ව සිටි ඕස්ට්‍රේලියානු පිතිකරු David Warner මහේල ජයවර්ධනගේ පුහුණුකාරීත්වයෙන් යුත් Southern Brave කණ්ඩායම විසින් තෝරාගන්නා ලදි.

ඊට අමතරව Shadab Khan, kagiso Rabada, Nicholas Pooran යන ක්‍රීඩකයන් Manchester Original විසින් තෝරාගත් අතර Kieron Pollard සහ Jhye Richardson යන ක්‍රීඩකයන් Welsh Fire විසින් තෝරාගන්නා ලදි.

ක්‍රිකට් ක්‍රීඩාවේ නැවුම් ආකෘතියක් ආරම්භ කරමින් පැවැත්වීමට නියමිත මෙම The Hundred තරගාවලිය මෙම වසරේ ජූලි 21 වැනිදා එංගලන්තයේ ඕවල් පිටියේ දී ආරම්භ වීමට නියමිතයි.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<