“RCB මාව මිල දී ගත්තම මම පුදුම වුනා”

15068

Royal Challengers Bangalore පසුගිය සතියේ පැවති ඉන්දීය ප්‍රිමියර් ලීග් වෙන්දේසිය අවසන් කළේ ක්‍රීඩකයින් 22 දෙනෙකු මිල දී ගනිමින්.

වෙන්දේසියට පෙර ඔවුන් Virat Kohli, Glenn Maxwell සහ Mohammed Siraj රඳවා ගත් අතර ඔවුන් වෙන්දේසියේ දී Chennai Super Kings නියෝජනය කළ Faf du Plessis, ඉන්දීය කඩුලු රකින ක්‍රීඩක Dinesh Karthik, ඕස්ට්‍රේලියානු වේගපන්දු යවන ක්‍රීඩක Josh Hazlewood සහ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ දඟපන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග ඇතුළු ප්‍රබල ක්‍රීඩකයන් කීපදෙනෙකු කණ්ඩායමට එක් කරගෙන තිබුණා.

Royal Challengers Bangalore ප්‍රබල ඉන්දීය ක්‍රීඩකයන් කීපදෙනෙකු ද සිය ලැයිස්තුවට එක් කරගෙන තිබුණා. ඒ අතරට Shahbaz Ahamad, Anuj Rawat, Akash Deep මෙන්ම Mahipal Lomror ද ඇතුළත් වුනා.

මීට පෙර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ Rajasthan Royals නියෝජනය කළ පිතිකරු Mahipal Lomror මෙවර වෙන්දේසියේ දී ඉන්දීය රුපියල් ලක්ෂ 95කට මිල දී ගෙන තිබුණා. මේ වන විට 22 හැවිරිදි වන ඔහු තමන් RCB විසින් මිල දී ගැනීම ගැන විමතිය පළ කර තිබුණා.

“වෙන්දේසියට කළින් මම හිතාගෙන හිටියේ RCB කියන්නේ මාව තෝරා ගන්න අවස්ථාවක් තියන අවසාන කණ්ඩායම කියලා. මාව පුදුම කරමින් ඔවුන් මාව මිල දී ගත්තා,” Lomror CricTracker වෙත අදහස් දක්වමින් පවසා සිටියා.

“මම කවදාවත් Royal Challengers Bangalore කළමනාකරුවන් කිසිම කෙනෙකුට කතා කරලා නැහැ. මම කවදාවත් RCB එක්ක කිසිම සාකච්ඡාවක් කරලා නැහැ. මට කිසිම දිනක ඔවුන්ගේ කිසිම නියෝජිතයෙක් දුරකථන ඇමතුමක් හෝ පෞද්ගලිකව හෝ කතා කරලා නැහැ. ඒ නිසා මම ටිකක් පුදුම වුනා ඔවුන් මාව ගත්තා කිව්වම. වෙන්දේසියෙන් පස්සේ Mike Hesson මට කතා කළා. ඒ වගේම Sanjay Bangar මට කතා කළා”.

කෙසේ වෙතත්, සිය නව කණ්ඩායම පිළිබඳව අදහස් දක්වමින් Mahipal Lomror පවසා සිටියේ මෙවැනි කණ්ඩායමක් සමඟින් ක්‍රීඩා කිරීම තමාට විශාල අත්දැකීමක් වන බවයි. විශේෂයෙන් Kohli, Maxwell සහ Karthik වැනි ජ්‍යේෂ්ඨයන් සමඟින් ක්‍රීඩා කිරීම තම භාග්‍යයක් බවත් ඔහු පවසා සිටියා.

“මේක මට විශාල අවස්ථාවක්. මට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියේවි. Virat Kohli නූතන යුගයේ විශිෂ්ට ක්‍රීඩකයෙක්. ඔහු මේ මොහොතේ හොඳම ක්‍රිකට් ක්‍රීඩකයා කියලා මම විශ්වාස කරනවා. Dinesh Karthik ගැන කතා කරනවා නම්, මම දේශීය ක්‍රිකට්වල දී ඔහුගේ ප්‍රතිවාදියෙක් විදිහට ක්‍රීඩා කළා. ඔහු ඉතාමත් හොඳ තරග අවසන් කරන්නෙක්. ඔහුත් එක්ක ක්‍රීඩා කරන්න මම බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ වගේම Glenn Maxwell කියන්නේ වර්තමානයේ හොඳම අවසන් කරන්නා. ඒ නිසා මම මේ අයගෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න බලාපොරොත්තු වෙනවා”, Lomror පවසා සිටියා.

Virat Kohli පසුගිය වසරේ තරගාවලියේ දී නායකත්ව භූමිකාවෙන් ඉවත් වුනා. මේ නිසා Royal Challengers Bangalore නව නායකයෙකු සමඟ මෙවර තරගාවලිය සඳහා එක්වනවා. Royal Challengers Bangalore කණ්ඩායමට නායකත්වය සඳහා විකල්ප කිහිපයක් ඇති බව Lomror පවසනවා.

“මම හිතන්නේ අපිට විකල්ප ගොඩක් තියෙනවා. Faf du Plessis දීර්ඝ කාලයක් තිස්සේ දකුණු අප්‍රිකාවේ පළපුරුදු නායකයෙක්. ඒ වගේම Royal Challengers Bangalore වෙනුවෙන් පසුගිය වාරය ක්‍රීඩා කළ Maxwell ඉන්නවා. ඔහුට හොඳ නායකයෙක් වෙන්න පුළුවන්. ඊළඟට ඉන්දීය දේශීය තරග වල හොඳම නායකයන්ගෙන් කෙනෙකු වන Dinesh Karthik ඉන්නවා. ඔහු කාලයක් KKR නායකයා විදිහට කටයුතු කළා. ඉතින් මම හිතන්නේ නායකයා වෙනුවෙන් බොහෝ විකල්ප තිබෙනවා”, Lomror පවසා සිටියා.

Hindustan Times ඇසුරෙනි

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<