ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණු අසුනට ලොකු තරගයක්

30471

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර සඳහා අයදුම්පත් කැඳවීම පසුගිය 14 වැනිදායින් අවසන් වුනා.

30 දෙනෙකු පමණ එම තනතුර සඳහා අයදුම්පත් යොමු කර තිබෙන බව වාර්තා වන අතර ශ්‍රී ලාංකිකයන් කිහිප දෙනෙකු ද ඒ අතර සිටින බව වාර්තා වෙනවා.

ඊට අමතරව ඕස්ට්‍රේලියානු, එංගලන්ත, දකුණු අප්‍රිකානු සහ නවසීලන්ත ජාතිකයන් ද එම අයදුම්කරුවන් අතර සිටින බව වාර්තා වෙනවා.

කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැනට වාර්තා නොවන නමුත්, Lance Klusener, Courtney Walsh, Grant Bradburn වැනි ප්‍රවීණයන් කිහිප දෙනෙක්ම ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු තනතුර සඳහා අයදුම්පත් ඉදිරිපත් කර තිබෙන බව දැන ගන්නට ලැබෙනවා.

වසර දෙකක සිය ධුර කාලය අවසන් වීමෙන් පසුව හිටපු පුහුණුකරු Mickey Arthur නැවතත් සිය මව් රට බලා පිටත් වූ අතර මේ වන විට ඔහු එංගලන්තයේ Derbyshire ප්‍රාන්තයේ ක්‍රිකට් අධ්‍යක්‍ෂවරයා ලෙස කටයුතු කරනවා.

“ශ්‍රී ලංකා කණ්ඩායමේ මෑත කාලීන නැඟී සිටීමත් එක්ක අපේ කණ්ඩායමේ වටිනාකම වැඩි වෙලා තියෙනවා. විශේෂයෙන්ම පහුගිය විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියත්, මේ වන විට සාර්ථකව පැවැත්වෙන LPL තරගාවලියේ දීත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ දස්කම් දිහා බලද්දීත්, අපේ ක්‍රීඩකයන්ගේ පැහැදිලි වර්ධනයක් පේන්න තියෙනවා. ඒ නිසා මේ වෙලාවේ අපේ කණ්ඩායමේ පුහුණුකරුවා වීමට වැඩි දෙනාගේ බලාපොරොත්තුවක් තියෙනවා”, යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළ නිලධාරියෙක් මාධ්‍ය වෙත පවසා තිබෙනවා.

එවන ලද අයදුම්පත් සැලකිල්ලට භාජනය කරමින්, ඒවායින් තෝරා ගත් පිරිසක් සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවීමේ වගකීම 6 දෙනකුගෙන් යුත් විශේෂ කමිටුවකට ලබා දී තිබෙනවා.

අරවින්ද ද සිල්වාගේ සභාපතිත්වයෙන් යුත් ක්‍රිකට් උපදේශක මණ්ඩලයේ දෙදෙනකු, ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරි ඈෂ්ලි ද සිල්වා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මානව සම්පත් කළමනාකරු, ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්‍යක්‍ෂ Tom Moody සහ ශ්‍රී ලංකා කණ්ඩායමේ උපදේශක පුහුණුකරු වන මහේල ජයවර්ධන ද මේ විශේෂ කමිටුව සමඟ එක්වීමට නියමිතයි.

මේ වන විට ලැබී ඇති අයදුම්පත් සියල්ලම ක්‍රිකට් උපදේශක මණ්ඩලයට සහ තාක්ෂණික කමිටුවට ලබා දී ඇති අතර ඒවායින් කිහිපයක් තෝරාගැනීමේ වගකීම ඔවුන් වෙත පවරා තිබෙන බව ඈෂ්ලි ද සිල්වා මහතා Daily Ft පුවත්පත වෙත පවසා තිබෙනවා.

තවත් සති තුනකින් පමණ ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතාම කාර්ය බහුල කාලයක් එළඹෙන

බැවින් හැකි ඉක්මනින් සැලකිල්ලට ගනු ලබන අයදුම්පත් සංඛ්‍යාව අඩු කිරීමටත්, අපේක්‍ෂකයන් සමඟ අන්තර්ජාලය ඔස්සේ සම්මුඛ සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකාවේ මීළඟ ජාත්‍යන්තර තරගාවලිය ලබන මාසයේ දී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිත අතර, ඒ වන විට ප්‍රධාන පුහුණුකරුවෙකු තෝරාගෙන අවසන් නොමැති නම්, අන්තර්කාලීන පුහුණුකරුවෙකු (Interim Coach) සමඟ තරගාවලියට යන බව ද සිල්වා මහතා Daily Ft පුවත්පත වෙත පවසා තිබෙනවා.

සිම්බාබ්වේ කණ්ඩායම ජනවාරි 7 හෝ 8 වැනිදා දිවයිනට පැමිණීමට නියමිත අතර 2023 ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගයේ (2020–2023 ICC Cricket World Cup Super League) කොටසක් වන තරග තුනකින් යුත් එක්දින තරගාවලියකට දෙරටේම ක්‍රීඩකයින් ක්‍රීඩා කිරීමට නියමිතයි.

එය අවසානයේ දී ප්‍රසාද ලකුණු සටහනේ ඉහළින්ම සිටින කණ්ඩායම් 8, 2023 වසරේ ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිත ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබා ගන්නවා. ශ්‍රී ලංකාව දැනට එහි 6 වැනි ස්ථානයේ පසුවන අතර සිම්බාබ්වේ කණ්ඩායම 13 වැනි ස්ථානයේ පසුවනවා.

“සිම්බාබ්වේ තරගාවලිය ගොඩක් වෙලාවට මහනුවර දී පැවැත්වේවි. එක්දින තරග 3ට අමතරව සිම්බාබ්වේ සමඟ විස්සයි විස්ස තරග 3ක් පවත්වන්න අපි උත්සාහ කළා, නමුත් අවාසනාවකට අපිට එය කරගන්න බැරි වුනේ, ඕස්ට්‍රේලියානු තරගාවලිය ආරම්භ වීමට දින 14කට පමණ පෙර ඕස්ට්‍රේලියාවට යාමට සිදු විය හැකි නිසා, ඒ සඳහා ප්‍රමාණවත් කාලයක් නොමැති නිසයි”, යැයි ද සිල්වා මහතා පැවසීය.

ශ්‍රී ලංකාව විස්සයි විස්ස තරග 5කින් සමන්විත තරගාවලියක් සඳහා පෙබරවාරි මුල් සතියේ දී ඕස්ට්‍රේලියාව බලා පිටව යාමට නියමිතයි. එම තරගාවලිය පෙබරවාරි 11 සිට 20 දක්වා පැවැත්වෙනු ඇති.

ඉන්පසුව පෙබරවාරි මාසය අවසානයේ දී ලෝක ටෙස්ට් ශූරතාවලියට ඇතුළත් තරග දෙකක් සහ විස්සයි විස්ස තරගාවලියක් සඳහා ශ්‍රී ලංකාව ඉන්දියාව බලා යාමට ද නියමිතව සිටිනවා.

සිම්බාබ්වේ කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය (අපේක්ෂිත කාලසටහන)

  • පළමු එක්දින තරගය – ජනවාරි 16
  • දෙවැනි එක්දින තරගය – ජනවාරි 18
  • තෙවැනි එක්දින තරගය – ජනවාරි 21

**(තරග සියල්ලම බොහෝ දුරට පල්ලෙකැලේ දී පැවැත්වෙනු ඇත)

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<