FA කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටය සඳහා ක්‍රීඩා කරන කණ්ඩායම් 8 මේ වන විට තේරී පත්වී ඇති අතර අර්ධ අවසන් පූර්ව වටයේ දී පැවැත්වීමට නියමිත තරග හා එම කණ්ඩායම් පිළිබඳව ThePapare.com විසින් විවරණයක් කරන්නට සමත් විය. ලංකාවේ සිටින ප්‍රබල පාපන්දු සමාජ 8ක් මෙම සති අන්තයේ FA කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ දී එකිනෙකා හා ගැටීමට නියමිතයි.

ගුවන් හමුදාව, කොළඹ සහ බ්ලූ ස්ටාර් අවසන් අටට

මේ දිනවල දී පැවැත්වෙන FA කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට හෙවත් අවසන් 8 දෙනා..

කොළඹ පාපන්දු සමාජය – ගුවන් හමුදා කණ්ඩායම

අර්ධ අවසන් පූර්ව වටයට පැමිණි ගමන් මග

  • කොළඹ පාපන්දු සමාජය : පෙලිකන්ස් 5-0, SLTB 2-0, යන්ග් බර්ඩ්ස් 3-0 (w/o)
  • ගුවන් හමුදා කණ්ඩායම : මාතර සිටි 3-0, සිවිල් ආරක්ෂක 1-1(4-3), රිලයන්ස් SC 13-0

කණ්ඩායම් දෙකම අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබන්නේ තේරීම් තරගවල දී ඉතා හොඳින් ක්‍රීඩා කරමිනි. ගුවන් හමුදා කණ්ඩායමේ කවිඳු ඉෂාන් සහ කොළඹ කණ්ඩායමේ සර්වාන් ජොහාර් පසුගිය තරගවල දී ඉතා හොඳින් ක්‍රීඩා කිරීමට සමත් වූ අතර ඔවුන් දෙදෙනාගේ ක්‍රීඩා විලාශය මෙම තරගයට ද අතිශය වැදගත් වනු ඇත. කොළඹ ක්‍රීඩකයින් මෙම තරගාවලියේ දී පළමු කාණ්ඩයේ කණ්ඩායමකට ප්‍රථම වරට මුහුණ දෙන්නේ මෙම තරගයේ දී වන නිසා ඔවුන්ට මෙම තරගය අතිශය වැදගත් වේ. කොළඹ ක්‍රීඩකයින් මෙම තරගය ජය ගැනීමට නම් ගුවන් හමුදා කණ්ඩායමේ ‘වින්ග්’ ක්‍රීඩකයින්ගෙන් එල්ල වන තර්ජනය අවම කර ගැනීමට කටයුතු කිරීම අනිවාර්ය වේ. මෑතක දී මෙම කණ්ඩායම් දෙක අතර පැවති තරග ජය ගැනීමට කොළඹ කණ්ඩායම සමත් වුවත්, මෙම තරග වාරයේ දී විදේශීය ක්‍රීඩකයින් ක්‍රීඩා නොකරන නිසා ගුවන් හමුදා ක්‍රීඩකයින්ට ද මෙම තරගය ජයග්‍රහණය කිරීමට හොඳ අවස්ථාවක් හිමිව ඇත.

වැදගත් ක්‍රීඩකයින්:

  • ගුවන් හමුදා කණ්ඩායම: කවිඳු ඉෂාන්
  • කොළඹ සමාජය: සර්වාන් ජොහාර්

අවසාන හමුවීම: කොළඹ සමාජය 2 – 0 ගුවන් හමුදාව (DCL 2016/17 සුපිරි 8 දෙනාගේ වටය)


බ්ලූ ස්ටාර් SC – සෝන්ඩර්ස් SC  

අර්ධ අවසන් පූර්ව වටයට පැමිණි ගමන්මග

  • බ්ලූ ස්ටාර් SC : සිඟින් ෆිෂ් 2-1, ලියෝ 3-0, රිනවුන් SC (හැටන්) 3-0
  • සෝන්ඩර්ස් SC : මීගමුව යූත් 2-2(3-1), අප් කන්ට්‍රි ලයන්ස් 6-1, රත්නපුර MC 9-0

තීරණාත්මක තේරීම් තරග වටයකින් අනතුරුව බ්ලූ ස්ටාර් ක්‍රීඩකයින් ගෝල 2-1ක් ලෙස සිඟින් ෆිෂ් කණ්ඩායමත්, සෝන්ඩර්ස් ක්‍රීඩකයින් 2-2ක් ලෙස තරගය සම වීමෙන් අනතුරුව දඬුවම් පහර වටයේ දී මීගමුව යූත් කණ්ඩායමත් පරාජය කරමින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගන්නට සමත් විය. සෝන්ඩර්ස් කණ්ඩායම තේරීම් තරග වටයේ දී පළමු කාණ්ඩයේ කණ්ඩායමක් පරාජය කිරීමට සමත් වූ අතර මෙවර FA කුසලානයේ දී බ්ලූ ස්ටාර් කණ්ඩායම පළමු කාණ්ඩයේ කණ්ඩායමක් සමඟ ප්‍රථම වරට තරග වදින්නේ මෙම තරගයේ දී යි. සෝන්ඩර්ස් කණ්ඩායම තුළ ඉතා දක්ෂ තරුණ ක්‍රීඩකයින් මෙන්ම අත්දැකීම් බහුල ක්‍රීඩකයින් සිටින අතර ශහීල් සහ නිරේෂ්ගේ ක්‍රීඩා විලාශය ප්‍රතිවාදීන්ට ප්‍රබල තර්ජනයක් වනු නොඅනුමානයි. කෙසේ වුවත් බ්ලූ ස්ටාර් ක්‍රීඩකයින් උපක්‍රමශීලීව තරගය ක්‍රීඩා කිරීමට දක්ෂ කණ්ඩායමක් වන නිසා සෝන්ඩර්ස් කණ්ඩායමට ද ඔවුන් තර්ජනයක් වනු ඇත.

වැදගත් ක්‍රීඩකයින්:

  • බ්ලූ ස්ටාර් SC: මොහොමඩ් ෆර්සීන්
  • සෝන්ඩර්ස් SC: සනෝජ් සමීර

යුද හමුදා කණ්ඩායම – සුපර් සන් SC

අර්ධ අවසන් පූර්ව වටයට පැමිණි ගමන්මග

  • යුද හමුදා කණ්ඩායම: නාවික හමුදාව 4-1, ඊස්වරන් SC 20-0, මායා SC 3-0
  • සුපර් සන් SC: සාන්ත මේරීස් SC 1-0, විම්බල්ඩන් SC 12-0, ලිවර්පූල් SC 4-3

යුද හමුදා ක්‍රීඩකයින් අර්ධ අවසන් පූර්ව වටයට පිවිසෙන්නේ මෙවර FA කුසලාන තරගාවලියේ විශාලතම ජයග්‍රහණය ලබා ගනිමිනි. ඒ අවසන් 32 වටයේ දී ඊස්වරන් SC කණ්ඩායම ගෝල 20-00ක් ලෙස පරාජය කරමිනි. යුද හමුදා කණ්ඩායමේ ඉදිරිපෙළ ක්‍රීඩකයින් තරගය සඳහා මේ වන විට පූර්ණ සූදානමකින් පසුවන අතර ඔවුන්ට හොඳ තරගයක් දීමට නම් සුපර් සන් කණ්ඩායමට ඔවුන්ගේ පසුපෙළ ශක්තිමත් කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කිරීමට සිදු වනු ඇත. සුපර් සන් කණ්ඩායමට නුවන් ප්‍රියංකර සහ ෂෆ්රාස් කායිස් ක්‍රීඩකයින් දෙපළගේ ක්‍රීඩා විලාශය අතිශය වැදගත් වනු ඇති අතර ඔවුන්ට ලැබෙන සෑම අවස්ථාවකින්ම උපරිම ප්‍රයෝජනය ලබා ගැනීමට සිදුවනු ඇත.

වැදගත් ක්‍රීඩකයින්:

  • යුද හමුදා කණ්ඩායම: සංඛ ධනුෂ්ක
  • සුපර් සන් SC: ෂෆ්රාස් කායිස්

රිනවුන් SC – ජාවා ලේන් SC

අර්ධ අවසන් පූර්ව වටයට පැමිණි ගමන්මග

  • රිනවුන් SC: බ්‍රිලියන්ට් SC 8-0, ගෝල්ඩන් රයිස් SC 4-1, යන්ග් බර්ඩ්ස් SC 3-0 (w/o)
  • ජාවා ලේන් SC: ක්‍රිස්ටල් පැලස් SC 2-0, කිරුළපන යුනයිටඩ් 5-1, ප්‍රිස්කන් SC 2-0

FA කුසලාන පාපන්දු තරගාවලියේ අවසාන අර්ධ අවසන් පූර්ව තරගය පැවැත්වෙන්නේ තවත් ප්‍රබල කණ්ඩායම් ද්විත්වයක් වන රිනවුන් SC කණ්ඩායම හා ජාවා ලේන් SC කණ්ඩායම අතරයි. කණ්ඩායම් දෙකම තරගාවලිය පුරාවට හොඳින් ක්‍රීඩා කළ අතර කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයින් හොඳින් පන්දුව හැසිරවීමට සමත්කමක් දක්වයි. මේ නිසා කණ්ඩායම් දෙක අතර ඉතා තියුණු තරගයක් පැවැත්වෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. රිනවුන් කණ්ඩායමේ රිෆ්නාස් සහ ෆාසාල් පසුගිය තරගවල දී හොඳින් ක්‍රීඩා කිරීමට සමත් වූ අතර අනෙක් පසින් රිෆ්කාන් සහ නවීන් ජූඩ් ජාවා ලේන් කණ්ඩායම වෙනුවෙන් හොඳින් ක්‍රීඩා කිරීමට සමත් විය. කණ්ඩායම් දෙක අතර මෑත ඉතිහාසයේ පැවැත්වුණු තරග දෙස බැලූ කළ පැහැදිලි වන්නේ කණ්ඩායම් දෙකම එක හා සමාන දක්ෂතා වලින් යුතු බවයි. එමනිසා මෙම තරගය ද ඉතා උණුසුම් තරගයක් වන බව නොඅනුමානයි.  

වැදගත් ක්‍රීඩකයින්:

  • රිනවුන් SC: මොහොමඩ් රිෆ්නාස්
  • ජාවා ලේන් SC: නවීන් ජූඩ්

පෙර හමුවීම්: රිනවුන් SC 2-3 ජාවා ලේන් SC (City FL ජනාධිපති කුසලානය), රිනවුන් SC 1-0 ජාවා ලේන් SC (DCL කාණ්ඩ තරග වටය 2016/2017), රිනවුන් SC 5-1 ජාවා ලේන් (FA කුසලානය 2016)

ඔබට FA කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ සියලු තරග ThePapare.com හරහා සජීවීව නැරඹීමට හැකියාව ලැබෙනු ඇත.

 තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න  පාපන්දු ක්‍රීඩා පිටුවට