ඉන්දු යෞවනයෝ 253/3

India Under-19s tour of Sri Lanka

4
India Under-19s tour of Sri Lanka

සංචාරක ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ සත්කාරක ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර පැවැත්වෙන 2 වැනි සිව් දින යොවුන් ටෙස්ට් තරගයේ පළමු දිනය අවසානයේ දී ඉන්දීය ක්‍රීඩකයෝ කඩුලු 3ක් දැවී ලකුණු 253ක් ලබා සිටියා.

කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගය සඳහා සත්කාරක ක්‍රීඩකයෝ සහභාගී වෙන්නේ වෙනස්කම් 5ක් සිදු කරමිනුයි. ඒ අනුව මෙම තරගයේ දී පෙර තරගය හා එක් වූ චාමික හිනටිගල, රමිරු පෙරේරා, දිමත් අබේසිංහ, ලතීන්ද්‍ර ආකාශ් සහ ඔෂද මනහර ට තම ස්ථාන අහිමි ව තිබූ අතර ඒ වෙනුවට අවීෂ සමාශ්, විරාන් චමුදිත, සෙත්මික සෙනෙවිරත්න, ගිම්හාන් මෙන්ඩිස් සහ විග්නේශ්වරන් ආකාශ් එක් ව සිටියා.

ඉන්දීය කණ්ඩායම ම අද තරගයට සහභාගී වෙන්නේ වෙනස්කම් ත්‍රිත්වයක් සිදු කරමින්. ඒ අනුව පෙර තරගය හා එක් වූ Kush Patel, BK Kishore, සහ Priyanshu Singh වෙනුවට මෙම තරගයේ දී Aryan Sakpa, Chigurupati Venkata සහ Rohit Yadav එක් කර තිබුණා.

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම

 

විමත් දින්සර (නායක), දිමන්ත මහවිතාන, අවීෂ සමාශ්, සෙනුජ වැකුණගොඩ, විරාන් චමුදිත, ජේසන් ප්‍රනාන්දු (කඩුලු රකින්නා), දුල්නිත් සිගේරා, සෙත්මික සෙනෙවිරත්න, ගිම්හාන් මෙන්ඩිස්, විග්නේශ්වරන් ආකාශ්, කවිජ ගමගේ

 

ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම

 

Yashbardhan Chauhan (නායක), Lakshya Raichandani, Sagar Virk, Kushagra Ojha, Manav Krishna, Aryan Sakpa (කඩුලු රකින්නා), Chigurupati Venkata, Jeganathan Hemchudeshan, Kavya Paresh Patel, Pranav Ragavendra, Rohit Yadav.

පැවැති අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ ප්‍රමාද වී ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඉන්දීය ක්‍රීඩකයන්ගේ ඉනිම සුපුරුදු ලෙසින් ම ආරම්භ කරන්නේ පෙර තරගයේ ද්විත්ව ශතකලාභී Lakshya Raichandani සහ ශතකලාභී Sagar Virk එක්වයි. පෙර තරගයේ පළමු කඩුල්ලට ද්විත්ව ශතක සබඳතාවක් එක් කළ ඔවුන් දෙදෙනාට මෙම තරගයේ දී කිසිඳු ලකුණක් ලබා ගැනීමට හැකි වෙන්නේ නැහැ.

ඔවුන්ගේ ඉනිමේ පළමු කඩුලු 2 පන්දු 36ක් තුළ දැවී යද්දී ලකුණු පුවරුව තිබුණේ හිස්වයි. එසේ වූවත් 2 වැනි කඩුල්ලට පන්දු 146ක දී ලකුණු 122ක සබඳතාවක් එක් කිරීමට Kushagra Ojha සහ නායක Yashbardhan Chauhan සමත් වෙනවා. එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙන්නේ Yashbardhan Chauhan ගේ දැවී යෑමත් සමඟිනුයි.

ඔහු දැවී යන විට පන්දු 89කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 78ක් ලබා සිටියා.

ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව පිටියට පිවිසෙන්නේ Manal Chauhan. එතෙක් නායකයාගෙන් ඉටු වූ මෙහෙය මනාව හඳුනාගත් ඔහු Kushagra Ojha සමඟ එක් ව දිනය අවසන් වෙද්දී සිව් වැනි කඩුල්ලට පන්දු 213ක දී ලකුණු 131ක සබඳතාවක් එක් කළා. ඒ වෙද්දී Kushagra Ojha පන්දු 177කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 103ක් ද සහ Manal Chauhan පන්දු 108කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් නොදැවී ලකුණු 55ක් ද ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී ගිම්හාන් මෙන්ඩිස් ලකුණු 42කට කඩුලු 2ක් දවා ගත් අතර අනෙක් කඩුල්ලේ හිමිකාරීත්වය සෙත්මික සෙනෙවිරත්න සතු වුණා.

අද තරගය ආරම්භයේ සිට ම පැවැති අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ විනාඩි 90ක පමණ කාලයක් අපතේ ගිය අතර අහිමි ව ගිය පන්දුවාර ප්‍රමාණය 25ක්.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම– පළමු ඉනිම කඩුලු 3ක් දැවී 253 (65.0) Kushagra Ojha නොදැවී 103, Yashbardhan Chauhan 78, Manal Chauhan නොදැවී 55, ගිම්හාන් මෙන්ඩිස් 2/42

මෙම තරගය හෙට (21) 2 වැනි දිනයටත් ක්‍රියාත්මකයි.

ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ මෙරට සංචාරයේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<