වේගපන්දුවේ ජවයෙන් නවසීලන්තය සියවැනි ටෙස්ට් ජය වාර්තා කරයි!

72

තරග 5-0ක් ලෙස විශිෂ්ට විස්සයි විස්ස තරගාවලි ජයක් සමඟින් නවසීලන්ත සංචාරය ආරම්භ කළ ඉන්දියානුවන් මේ වනවිට මුහුණ දී සිටින්නේ දැවැන්ත කඩා වැටීමකටයි. ඒ එතැන් පටන් පැවති එක්දින තරගාවලියේදී මෙන්ම දැන් පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේදී ද මේ දක්වා ඔවුන්ට තරග ජයක් සොයා ගැනීමට නොහැකි වීම නිසයි. දෙරට අතර ඊයේ (24) අවසන් වුනු පළමු ටෙස්ට් තරගයෙන් ද ඔවුන්ට කඩුලු 10ක දරුණු පරාජයකට මුහුණ දීමට සිදුවිය. 

ඩි කොක්ගේ සුපිරි නායකත්වය තරගයක් කණපිට හරවයි!

දකුණු අප්‍රිකා – ඕස්ට්‍රේලියා T20 තරගාවලියේ උණුසුම …..

වෙලින්ටන් හිදී පැවති මෙම තරගයේ දී කාසියේ වාසිය ද දිනා ගැනීමට සමත් වූයේ නවසීලන්ත නායක කේන් විලියම්සනුයි. ඒ අනුව වේගවත් තණතිලි මතදී ආසියානු පිතිකරුවන් දක්වන දුර්වලතාවයෙන් ප්‍රයෝජන ගැනීමේ අටියෙන් ඔහු තීරණය කළේ මුලින් පන්දු යැවීම තෝරා ගැනීමටයි. එහි ප්‍රතිඵල “කිරි ගහට ඇන්නාක් මෙන්” වූ අතර ආසියානු පැතලි තණතිලි වල ශතක පිට ශතක වාර්තා කරන පිතිකරුවන්ගෙන් සමන්විත ඉන්දීය පිළ ලකුණු 165කට දවා ගන්නට කිවියන්ට හැකිවිය. 

මෙහිදී නවසීලන්ත නවමු දකුණත් වේග පන්දු අත්අත්හදා බැලීම වන කයිල් ජැමීසන් සිතුවාටත් වඩා සාර්ථක වූ අතර පන්දුවාර 16ක් පමණක් ක්‍රියාත්මක කරමින් කඩුලු 4ක් බිඳ දැමීමට ඔහුට හැකිවිය. මීට අමතරව සීමිත පන්දුවාර තරග වලදී යම් ප්‍රහාරයකට ලක් වුවද ටෙස්ට් තරග වල “වේග පන්දු ආධිපත්‍යය” තවමත් තමන් සතු බව පෙන්නුම් කළ ටිම් සවුති ද කඩුලු 4කට හිමිකම් කීවේය. පළමු ඉනිමේ එකදු අර්ධ ශතකයකටවත් හිමිකම් නොකියූ ඉන්දීය ඉනිම වෙනුවෙන් අජින්ක්‍යා රහානේ ලකුණු 46ක් රැස් කළේය. සුපිරි පිතිකරු කෝලි ලකුණු 2යි.

නවසීලන්තය පිලිතුරු ඉනිම ක්‍රීඩා කිරීම ආරම්භ කළ මොහොතේ සිට මෙතෙක් පන්දු යවන්නන්ට උචිත තණතිල්ලක් ලෙස හැඟුණු වෙලින්ටන් තණතීරුව පිතිකරුවන්ගේ පාරාදීසයක් ලෙසින් දිස්වූ අතර ඔවුහු තම මුල් ඉනිම ලෙස ලකුණු 348ක් ලබා ගත්හ. එහි කිසිම ඉන්ද්‍රජාලයක් නොතිබූ අතර මෙම තණතිලි වල දිගින් දිගටම ක්‍රීඩා කිරීමෙන් ලද පන්නරය ඒ සඳහා ඔවුන්ට උපකාරී විය. කවදත් ලකුණු අතර සිටින කේන් විලියම්සන් ලකුණු 89ක් වාර්තා කරමින් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූයේ හතරේ පහර 11ක් සමඟයි. 

චමරිගේ වෑයම අපතේ ගියත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ හොඳ දියුණුවක්

ඕස්ට්‍රේලියාවේ දී පැවැත්වෙන කාන්තා විස්සයි විස්ස ….

මීට අමතරව පසුපෙළ පිතිකරු කයිල් ජැමීසන් ද පිටියට පිවිස හයේ පහර 4ක් සහ එක් හතරේ පහරක් සමඟින් ලකුණු 44ක් ලබා ගත්තේ අනාගතයේ නවසීලන්තයට නැතිවම බැරිවන ක්‍රීඩකයෙකු පිලිබඳ පෙරමඟ සලකුණු ඇති කරවමිනි. පන්දු යැවීමේ දී මේ වනවිට කණ්ඩායමේ නිශ්චිත ස්ථානයක් හිමිවී නැති ඉශාන්ට් ශර්මා කඩුලු 5ක් ද, රවිචන්ද්‍රන් අශ්වින් කඩුලු 3ක් ද බිඳ හෙලූහ. නමුත් ඒ වනවිටත් නවසීලන්තය තමන්ට අවශ්‍ය කර තිබූ ලකුණු සංඛ්‍යාව ලබාගෙන අවසන්ව තිබුණි. 

ඉනිමක පරාජයක අවමානයෙන් මිදීම සඳහා දෙවැනි ඉනිම ඇරඹූ ඉන්දීය පිළට එහිදී ද සාර්ථක වන්නට කිවි වේග පන්දුවෙන් ඉඩක් ලැබුනේ නැත. එහිදී ඔවුන් තම ප්‍රතිවාදීන්ව ලකුණු 191කට සීමා කරන විට ආරම්භක පන්දු යවන්නන් දෙදෙනා වන ටිම් සවුති සහ ට්‍රෙන්ට් බෝල්ට් ඉන්දීය කඩුලු 9ක් තමන් අතරේ බෙදාහදා ගෙන තිබුණි. ඒ සවුතිට ලකුණු 61කට කඩුලු 5ක් සහ බෝල්ට්ට ලකුණු 39කට කඩුලු 4ක් ලෙසයි. ඒ අනුව ගණිතමය වශයෙන් ඉන්දීය පිළට ඉනිමක පරාජයෙන් වැළකෙන්නට හැකි වුවද කිවියන්ට තරගය ජය ගැනීමට තවත් අවශ්‍ය වූයේ ලකුණු 9ක් පමණි. 

එය පන්දුවාර 2ක් නිමා වීමටත් පෙර සපුරා ගන්නට නවසීලන්තයට හැකි විය. මෙම ජයග්‍රහණය සනිටුහන් වූයේ ක්‍රිකට් ඉතිහාසයේ නවසීලන්ත පිළ ලබාගත් සියවැනි ටෙස්ට් ජයග්‍රහණය ලෙසයි. ඒ වෙනුවෙන් ඔවුන්ට තරග 441කට මුහුණ දීමට සිදුවිය. තරගයේ වීරයා ලෙස තරගය පුරාවට කඩුලු 9ක් බිඳ දැමූ ටිම් සවුති සම්මාන දිනා ගත්තේය. දෙරට අතර දීර්ඝ තරග සංචාරය අවසන් කරමින් දෙවැනි සහ අවසන් ටෙස්ට් තරගය ලබන 29 වැනිදා කයිස්චර්ච් හිදී ආරම්භ වීමට නියමිතව ඇත.

කොදෙව්වන්ට ICCයෙන් දඩයක්

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකාව ….

ඉන්දීය (පළමු ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 165 (පන්දුවාර 68.1)

අජින්ක්‍යා රහානේ 46, මායන්ක් අගර්වාල් 34, මොහොමඩ් ශමී 21, රිශාබ් පන්ට් 19, ප්‍රිත්වි ශෝ 16, චෙටෙස්වර් පුජාරා 11, කයිල් ජැමීසන් 4/39, ටිම් සවුති 4/49, ට්‍රෙන්ට් බෝල්ට් 1/57.

නවසීලන්ත (පළමු ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 348 (පන්දුවාර 100.2)

කේන් විලියම්සන් 89, කයිල් ජැමීසන් 44, කොලින් ඩි ග්‍රැන්ඩ්හොම් 43, ට්‍රෙන්ට් බෝල්ට් 38, ටොම් බ්ලන්ඩල් 30, ඉශාන්ට් ශර්මා 5/68, රවිචන්ද්‍රන් අශ්වින් 3/99.

ඉන්දීය (දෙවැනි ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 191 (පන්දුවාර 81)

මායන්ක් අගර්වාල් 58, අජින්ක්‍යා රහානේ 29, රිශාබ් පන්ට් 25, විරාත් කෝලි 19, හනුමා විහාරි 15, ටිම් සවුති 5/61, ට්‍රෙන්ට් බෝල්ට් 4/39.

නවසීලන්ත (දෙවැනි ඉනිම) – කිසිවෙකු නොදැවී ලකුණු 9 (පන්දුවාර 1.4)

ටොම් ලැතම් 7*, ටොම් බ්ලන්ඩෙල් 2*.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<