ඉන්දියාවේ වේගපන්දු යවන්නන් නැහැ

643

1970 වසරේ ඉන්දියාවේ බොම්බාය නගරයේ පැවති පුහුණු කඳවුරකි. ඉන්දියානු ක්‍රිකට් සමාජය (Cricket Club of India) සංවිධානය කළ මෙම පුහුණු කඳවුර වයස අවුරුදු දාහතේ දහඅටේ ඉන්දියානු තරුණ ක්‍රීඩකයින් වෙනුවෙන් වෙන් කළ එකකි.

මෙම කඳවුරේ සිටි අවුරුදු දාහතක් පමණ වූ තරුණ ක්‍රීඩකයෙකු සිටියේ පුහුණු කඳවුර ගැන එතරම් මනාපයකින් නොවේ. ඔහු වද වුනේ පුහුණු කඳවුරෙන් ක්‍රීඩකයින්ට ලබා දුන් කෑම ගැනය.

මොහොමඩ් ෂමිගේ කඩුලු ත්‍රිත්වයේ රහස

ඇෆ්ගනිස්තානය ඉදිරියේ ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ කකුල් …….

දවල් ආහාරයට යාන්තම් චපාති දෙකක් සමඟ එළවළු ස්වල්පයක් ලැබුණ එක් දිනයක ඔහුගේ සීමාව ඉක්මවා ගියේය.

“මේ කෑම කාට ද කන්න පුළුවන්. මේ කෑම ක්‍රීඩකයෙකුට ඇති ද?” ඔහු ගෝරනාඩු කරන්නට විය. මේ කලබලය අන්තිමට නැවතුණේ පුහුණු කඳවුරේ ප්‍රධානියා වෙත ගොස්ය.

පුහුණු කඳවුරේ ප්‍රධානියා ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාවේ නමක් දිනූ කෙකී තරාපෝර් නම් පරිපාලකයෙකි.

“තමා මොකක්ද මේ කරන චෝදනාව” තරාපෝර් තරමක ගැඹුරු හඬකින් තරුණයාගෙන් විමසීය.

සර්, මම තරුණ ක්‍රීඩකයෙක්. වේගපන්දු යවන්නෙක්. ඉන්දියාවට ක්‍රීඩා කිරීම මගේ බලාපොරොත්තුව. නමුත් අපට පුහුණු කඳවුරෙන් ලැබෙන කෑම ප්‍රමාණය හොඳටම මදි. වේගපන්දු යවන්නෙකුගේ ශරීර වර්ධනයට අපට ලැබෙන කෑම ප්‍රමාණය ප්‍රමාණවත් නැහැ” තරුණයා සෘජුවම ප්‍රකාශ කළේය.

“තරුණයා ඉන්දියාවේ වේගපන්දු යවන්නෝ කියල කොට්ඨාශයක් නැහැ. මට එහෙම කෙනෙක් දැක්කොත් අඳුනා ගන්න පුළුවන්” කෙසඟ සිරුරක් තිබූ තරුණ ක්‍රීඩකයා දෙස බලා තරාපෝර් මහ හඬින් හිනහුණේය.

ලැජ්ජාවට පත් තරුණයා පුහුණු කඳවුරේ ප්‍රධානියාට සමුදුන්නේ සිතේ යම් අධිෂ්ඨානයක් දරාගෙනය.

එම තරුණයා පුහුණු කඳවුරේ සිදුවීමෙන් වසර දහයක් ගත වීමටත් මත්තෙන් ඉන්දියාව ක්‍රිකට් ලෝකයේ ඉහළම තැනට ඔසවා තබන්නට සමත් විය. ක්‍රිකට් ලෝකයේ එතෙක් මෙතෙක් බිහි වූ විශිෂ්ටතම තුන් ඉරියව් ක්‍රීඩකයින් ගොන්නකින් එක් අයෙකු ලෙස සැලකෙන කපිල් දේව් නම් මෙම තරුණයාගේ වේග පන්දුවෙන් ඉන්දියානුවන් ජය ගත් තරග බොහෝය.

ජයකිෂන්ගේ ඔලුව පැලූ වෝනර් සමාව ඉල්ලයි

“මට සමාවෙන්න” යැයි පසුගිය වසරේ දී ලෝවැසි ක්‍රිකට් ප්‍රජාවගෙන් …….

1959 වසරේ ජනවාරි හයවැනිදා චන්දිගාර් හිදී උපත ලද කපිල් දේව් ඉන්දියානු ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරන්නට පැමිණි ගමන රෝස මල් යහනාවක් මතින් පැමිණි ගමනක් නොවේ.

සටන්කාමීත්වය, දැඩි අධිෂ්ඨානය, කැපවීම ඉහළින්ම පෙන්නුම් කළ කපිල් මුල්ම වරට ඉන්දියානු කණ්ඩායම නියෝජනය කරන්නේ 1978 වසරේ පාකිස්තානු කණ්ඩායමට එරෙහිවය. ඉන්දියාවේ පළමු පෙළ තරගවල දී හර්යානා කණ්ඩායම නියෝජනය කරමින් දැක්වූ සුවිශේෂී දක්ෂතා නිසා ඔහුට හර්යානාවේ චණ්ඩමාරුතය යන නම පටබැඳුනේය.

1982/83 තරගවාරයේ මුල්ම වරට ඉන්දියානු කණ්ඩායමේ නායකත්වයට පත්වන කපිල් ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩාවට විශ්වාසනීයත්වය ඇති කළ නායකයා ලෙස හැඳින්වීමේ වැරැද්දක් නැත.

1983 එංගලන්තයේ පැවැත්වුණ පෘඩෙන්ෂල් ලෝක කුසලානයට කපිල්ගේ නායකත්වයෙන් යුතුව පැමිණි ඉන්දියානු කණ්ඩායම ගැන කිසිවෙකු එතරම් ඉහළින් තක්සේරු කළේ නැත.

ලෝක කුසලාන ඉතිහාසයේ ඒ වන විටත් ඉන්දියාව ජයගෙන තිබුණේ එක් තරඟයක් පමණි. එයත් ක්‍රිකට් ක්‍රීඩාවට ආධුනික නැගෙනහිර අප්‍රිකාවට එරෙහිවය.

1983 ලෝක කුසලාන සටන ආරම්භ කරමින් ඉන්දියානුවන් එවකට ලෝක ශූරයින් වූ බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කළේය. එතෙක් ලෝක කුසලාන තරගයක දී බටහිර ඉන්දියානු කොදෙව්වන් පරාජයක මිහිර විඳ තිබුණේ නැත.

1983 ලෝක කුසලානයේ ඉන්දියානුවන්ගේ ආත්ම ගෞරවය ගැන විශාල ගැටලුවක් ඇති වූ තරගය ලෙස ටන්බ්‍රිජ් වෙල්ස් හිදී පැවති සිම්බාබ්වේ තරඟය හැඳින්විය හැකිය.

කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහර දුන් ඉන්දියානු කණ්ඩායමේ මුල්ම කඩුලු පහක ලකුණු පුවරුවේ ලකුණු 17ක් සටහන් වෙද්දී ක්‍රීඩාගාරයට හරවා යවන්නට සිම්බාබ්වේ පන්දු යවන්නන් සමත්ව සිටියහ. සුනිල් ගවස්කාර්, ක්‍රිෂ්ණමචාරී ශ්‍රීකාන්ත්, මොහින්දර් අමරනාත්, සන්දීප් පටිල්, යශ්පාල් ෂර්මා යන මුල්පෙළ පිතිකරුවන් සියලු දෙනා ක්‍රීඩාගාරයට පිටමං වූ අවස්ථාවක ක්‍රියාත්මක වූ කපිල් දේව් නායකත්වයේ සුවිශේෂී ඉනිමක් ක්‍රීඩා කළේය.

පසුපෙළ පිතිකරුවන් ආරක්ෂා කරගනිමින් ඉන්දියානු ලකුණු පුවරුව 266ක් දක්වා ඔසවා තබන්නට කපිල් දේව් එදා සමත් විය.

ඉන්දීය ඉනිම නිමාව දක්වා කඩුල්ලේ රැඳී සිටි කපිල් නොදැවී ලකුණු 175ක් රැස් කරගෙන සිටියේය. ඒ වෙනුවෙන් ඔහු වැය කළ පන්දු සංඛ්‍යාව 138කි. හතරේ පහර 16ක් සහ දැවැන්ත හයේ පහර හයක් මෙම ඉනිමට අන්තර්ගත වී තිබුණි. කපිල්ගේ විශිෂ්ට ඉනිම නිසාම සිම්බාබ්වේ කණ්ඩායම පරදවා ලකුණු 31ක ජයක් ලබන්නට ඉන්දියාවට වාසනාව ලැබුණි.

කපිල්ගේ දැවැන්ත ඉනිම ඉන්දියානුවන්ට සීමිත පන්දුවාර තරගවල ඉන්දියාවට ඕනෑම තත්වයක් යටතේ සිට ජයග්‍රහණය කරා යෑමට හැකි බවට විශ්වාසය ඇති කළ එකක් විය.

එංගලන්තය සමඟ 1983 ලෝක කුසලානයේ අවසන් පූර්ව තරගයේ දී නැවත වතාවක් ක්‍රියාත්මක වූ කපිල් දේව් සත්කාරක කණ්ඩායමේ කඩුලු තුනක් දවා ගනිමින් ඉන්දියානු කණ්ඩායමේ සාර්ථකම පන්දු යවන්නා බවට පත්විය.

කිසිවෙකු විශ්වාසය නොතැබූ ඉන්දීය කණ්ඩායම ලෝක කුසලානයේ අවසන් මහා තරගයේ දොරටුව වෙත ගෙන යෑමට කපිල්ගේ තුන් ඉරියව් දක්ෂතා මෙන්ම අභීත නායකත්වය ලබා දුන්නේ විශාල දායකත්වයකි.

ලෝක කුසලානයට ගිය පාපන්දු ගෝල රකින්නා

1983 පෘඩෙන්ෂල් ලෝක කුසලානයේ එංගලන්ත කණ්ඩායමේ කඩුලු ……..

1983 ලෝක කුසලානයේ අවසන් මහා තරගයේ දී නැවත වතාවක් ඉන්දියානුවන්ට ගැටෙන්නට වූයේ ලෝක ශූර බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිවමය.

ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයට ලබා දුන් තණතීරුව වේගපන්දු යවන්නන්ට ලබා දුන්නේ මනා සහයකි. කොළ පැහැති තණතීරුවක කාසියේ වාසිය පැරදී මුලින්ම පන්දුවට පහර දීම ආරාධනාවක් ලත් ඉන්දීය කණ්ඩායමට සියළුම ක්‍රීඩකයින් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 183ක් පමණි. ඉන්දියානුවන් ලබා දුන් ඉලක්කය කොදෙව්වන්ට කිසිසේත්ම අපහසු ඉලක්කයක් නොවීය.

නමුත් ඉන්දීය නායකයාගේ සටන අත් හැරීමට සූදානමක් නොවීය. සටන්කාමීත්වය උපරිමයෙන්ම පෙන්වූ ඉන්දියානුවෝ ලකුණු 140කට සුපිරි පිතිකරුවන් රාශියකගෙන් සමන්විතව සිටි කොදෙව් කණ්ඩායම සීමා කරන්නට එදා සමත් විය.

ඉන්දියානුවන්ගේ මෙම සුවිශේෂී හපන්කමේ උච්චතම අවස්ථාව ලෙස කපිල් දේව් රැක ගත් විව් රිචර්ඩ්ස්ගේ උඩපන්දුව හැඳින්විය හැකිය. රිචර්ඩ්ස් එල්ල කළ පුල් පහර උඩපන්දුවක් ලෙස රැකගැනීමට කපිල් මිඩ් ඕන් කලාපයේ සිට ස්ක්වෙයාර් ලෙග් කලාපයට සෑහෙන දුරක් දිව ගියේය. කපිල් දේව් රැකගත් එම විශිෂ්ට උඩපන්දුව අවසාන තරගයේ තීරණය වෙනස් කළ හැරවුම් ලක්ෂ්‍යය ලෙස හැඳින්වූවාට වැරැද්දක් නැත.

1983 ජුනි 25 වැනිදා ලෝඩ්ස්’හි සඳලුතලය මත සිට පෘඩෙන්ෂල් ලෝක කුසලානය සියතට ගත් විසි හතර හැවිරිදි කපිල් දේව් නම් ඉන්දියානුවා සපථ කළේ බොම්බායේ පුහුණු කඳවුරේ කෙකී තරාපෝර් වසර හය හතකට පෙර පෑ සරදම් සහගත සිනහවට අධිෂ්ඨානයෙන්, සටන්කාමීත්වයෙන් දුන් කදිම පිළිතුරකි.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<