ඉන්දීය A ක්‍රීඩකයෝ සිව්දින ටෙස්ට් තරගාවලිය ජය ගනී

India A tour of Sri Lanka

12
India A tour of Sri Lanka

ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම සහ සංචාරක ඉන්දීය A ක්‍රිකට් කණ්ඩායම අතර පැවැති 2 වැනි සිව් දින නිල නොලත් ක්‍රිකට් තරගයෙන් කඩුලු 10ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ඉන්දීය A ක්‍රිකට් ක්‍රීඩකයෝ සමත් වෙනවා.

ඒ සමඟින් තරග ද්විත්වයකින් යුත් සිව් දින ක්‍රිකට් තරගාවලිය 1-0ක් ලෙසින් ජයග්‍රහණය කිරීමට ද ඔවුන් සමත් වෙනවා. දෙරට අතර පැවැති පළමු තරගය නිමා වූයේ විසඳුමකින් තොරවයි.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 366ක් ලබා ගන්නා ලද අතර ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි ඉන්දීය ක්‍රීඩකයෝ තම 1 වැනි ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 543ක් ලබා ගන්නවා.

ඔවුන් අද එම ඉනිම ආරම්භ කරන්නේ කඩුල්ලක් දැවී ලකුණු 247ක් ලබා සිටියදීයි. ඒ වෙද්දී Sai Sudharsan නොදැවී ලකුණු 104ක් ද සහ Devdutt Padikkal නොදැවී ලකුණු 94ක් ද ලබා සිටියා.

අද දිනයේ යැවුන 3 වැනි පන්දුවේ දී දවසේ දැවී ගිය පළමු ක්‍රීඩකයා බවට Devdutt Padikkal පත් වුණා. ඔහු පන්දු 152කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සමඟින් ලකුණු 94ක් ලබා සිටියා. ඔහුගේ දැවී යෑමත් සමඟින් 2 වැනි කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙන අතර ඒ වෙද්දී ඔවුන් දෙදෙනා පන්දු 304කට මුහුණ දෙමින් ලකුණු 182ක් ලබා සිටියා.

Sai Sudharsan ඉනිමේ 3 වැනි කඩුල්ලට දැවී යද්දී පන්දු 267කට මුහුණ දෙමින් හතරේ පහර 22ක් සමඟින් ලකුණු 168ක් ලබා සිටියා.

ඔවුන් දෙදෙනාට අමතර ව ඉන්දීය ඉනිමට තවත් අර්ධ ශතක ද්විත්වයක් එක් කිරිමට Saransh Jain සහ Dhruv Jurel සමත් වුණා.

නායක Dhruv Jurel පන්දු 88කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 53ක් ලබා ගත් අතර Saransh Jain ඉනිම අවසන් වන විට පන්දු 140කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 70ක් ලබා සිටියා.

ඊට අමතර ව Shaik Rasheed පන්දු 51කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 45ක් ද සහ Auqib Nabi පන්දු 65කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 30ක් ද ලබා සිටියා.

කඩුලු දවා ගැනිමේ දී දකුණතින් පිට දඟ පන්දු යැවූ කේශර නුවන්ත ලකුණු 159කට කඩුලු 5ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව දිලුම් සුදීර ලකුණු 102කට කඩුලු 3ක් ද සහ සහන් ආරච්චිගේ කඩුල්ලක් ද දවා ගත්තා.

ලකුණු 177ක් පිටුපස සිටිමින් තම 2 වැනි ඉනිමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ එවර ලබා ගන්නේ සියලුම දෙනා දැවී ලකුණු 209ක් පමණයි.

එම ඉනිමේ පළමු කඩුලු ත්‍රිත්වය ලකුණු 9ක් වෙද්දී දැවී ගිය අතර ඉන් අනතුරු ව අශේන් බණ්ඩාර සහ නායක සහන් ආරච්චිගේ සිව් වැනි කඩුල්ලට පන්දු 37ක දී ලකුණු 30ක සබඳතාවක් ද සහ අශේන් බණ්ඩාර සහ අංජල බණ්ඩාර එක් ව 5 වැනි කඩුල්ලට පන්දු 101ක දී ලකුණු 70ක සබඳතාවක් ද එක් කිරීමට සමත් වෙනවා.

ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණුලාභියා බවට පත් වූ අශේන් බණ්ඩාර පන්දු 86කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 87ක් ලබා ගත්තා.

ඊට අමතර ව කේශර නුවන්ත පන්දු 36කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 26ක් ද සහ දිලුම් සුදීර පන්දු 31කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 21ක් ද ලබා ගත්තා.

කඩුලු දවා ගැනිමේ දී දකුණතින් වේග පන්දු යැවූ Gurnoor Brar ලකුණු 68කට කඩුලු 6ක් දවා ගන්නවා. එය ඔහුගේ පළමු පෙළ තරග 19ක හොඳම පන්දු යැවීම වූ අතර තරගය අවසන් වෙද්දී ඔහු ලකුණු 145කට කඩුලු 10ක් දවා ගනිමින් දක්ෂතා දක්වනවා. එය ඔහුගේ පළමු පෙළ තරග 19ක කඩුලු 10ක් වාර්තා කළ පළමු අවස්ථාවයි.

පන්දු යැවීමේ දී ඔහුට අමතර ව Saransh Jain ලකුණු 66කට කඩුලු 2ක් ද, Yash Thakur සහ Auqib Nabi කඩුල්ල බැගින් දවා ගත්තා.

ජයග්‍රහණය සඳහා ලකුණු 33ක ඉලක්කයක් වෙනුවෙන් පිටියට පිවිසි ඉන්දීය A ක්‍රීඩකයෝ කිසිවෙක් නොදැවී ලකුණු 36ක් ලබා ගනිමින් තරගය ජය ගන්නවා.

තරගය එලෙසින් අවසන් වෙද්දී  Sai Sudharsan පන්දු 22කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 25ක් ලබා ගත් අතර ඒ සමඟින් ඔහු පළමු පෙළ ක්‍රිකට් තරග දිවියේ ලකුණු 3000 කඩඉම පසු කිරීමට ද සමත් වුණා.

ඔහුත් සමඟින් අනෙක් අන්තයේ පිටියේ රැඳි සිටි Aman Mokhade පන්දු 16කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් නොදැවී ලකුණු 11ක් ලබා සිටියා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • ශ්‍රී ලංකාA ක්‍රිකට් කණ්ඩායම– කඩුලු සියලුම දෙනා දැවී 366 (110.0)පවන්ත වීරසිංහ 39, සොහාන් ද ලිවේරා 28, නුවනිඳු ප්‍රනාන්දු 44, අශේන් බණ්ඩාර 34, සහන් ආරච්චිගේ 127, අංජල බණ්ඩාර 42, දිලුම් සුදීර 20, Gurnoor Brar 4/77, Saransh Jain 4/92, Yash Thakur 2/46
  • ඉන්දීය A ක්‍රිකට්කණ්ඩායමපළමු ඉනිම සියලුම දෙනා දැවී 543 (143.3) Sai Sudharsan 168, Aman Mokhade 38, Devdutt Padikkal 94, Dhruv Jurel 53,  Shaik Rasheed 45, Saransh Jain නොදැවී 70, Auqib Nabi 30, කේශර නුවන්ත 5/159, දිලුම් සුදීර 3/102
  • ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම- කඩුලු සියලුම දෙනා දැවී 209(48.2)අශේන් බණ්ඩාර 87, කේශර නුවන්ත 26, දිලුම් සුදීර 21, Gurnoor Brar 6/68, Saransh Jain 2/66
  • ඉන්දීයA ක්‍රිකට් කණ්ඩායම- කිසිවෙක් නොදැවී 36 (6.2)Sai Sudharsan නොදැවී 25

ඉන්දීය A ක්‍රිකට් කණ්ඩායමට කඩුලු 10ක ජයක්.

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<