පාකිස්තාන පිතිකරණය ඉන්දීය සිහින බොඳ කරයි

55
ICC Women's T20 World Cup

9 වැනි කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ 12 වැනි දිනය වූ ඔක්තෝබර් 14 වැනිදා නිමා වෙන්නේ මෙවර තරගාවලියේ ආසියානු නියෝජනය අවසන් කරමිනුයි.

මීට පෙර A කාණ්ඩය නියෝජනය කරමින් තරගාවලියට එක් වූ ශ්‍රී ලංකාවට සහ B කාණ්ඩයෙන් තරගාවලියට එක් වූ බංග්ලාදේශයට මේ තත්ත්වය උදා වී තිබූ අතර ඊයේ පැවැති නවසිලන්තය සහ පාකිස්තානය අතර තරගයේ ප්‍රතිඵලයත් සමඟ පාකිස්තානයට පමණක් නොව ඉන්දියාවට ද මෙම තරගාවලියෙන් ඉවත් වීමට සිදු වුනා.

ඊයේ පැවැති තරගයෙන් පාකිස්තානයට ලකුණු 54ක පරාජයකට මුහුණ දීමට සිදු වූ අතර ඒ අනුව එතෙක් 3 වැනි ස්ථානයේ සිට නවසීලන්තය එම කාණ්ඩයෙන් අවසන් පූර්ව වටයට පිවිසි 2 වැනි කණ්ඩායම බවට පත් වුනා.

ඒ අනුව ඔවුන් හිමි කර ගත්තේ ඉන්දියාව සතු ව තිබූ 2 වැනි ස්ථානයයි. මෙම කාණ්ඩයෙන් අපරාජිත වත්මන් ලෝක ශූර ඔස්ට්‍රේලියා කණ්ඩායම කාටත් කලින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා සිටියා.

ඒ අනුව A කාණ්ඩයේ ප්‍රසාද ලකුණු පුවරුව සැකසෙන්නේ මේ අයුරිනුයි.

Teams Mat Won Lost Tied NR Point NRR
1 ඔස්ට්‍රේලියාව 4 4 0 0 0 8 2.223
2 නවසීලන්ත 4 3 1 0 0 6 0.879
3 ඉන්දියාව 4 2 2 0 0 4 0.322
4 පාකිස්තානය 4 1 3 0 0 2 -1.040
5 ශ්‍රී ලංකාව 4 0 4 0 0 0 -2.173

මේ අතර B කාණ්ඩයෙන් පළමු ස්ථානය තහවුරු කර ගෙන එංගලන්තය අද (15) මෙම ලැයිස්තුවේ 3 වැනි ස්ථානයේ රැඳී සිටින බටහිර ඉන්දීය කොදෙව්වන් සමඟ තරගයකට එක් වීමට නියමිතයි. ඒ අනුව මෙම ලැයිස්තුව වෙනස් කිරීමේ අවස්ථාව බටහිර ඉන්දීය කොදෙව්වන්ට හිමි වී තිබෙනවා.

ඒ මෙම තරගයෙන් ඔවුන් ජයග්‍රහණය කරන්නේ නම් මේ වන විට මෙම කාණ්ඩයෙන් 2 වැනි ස්ථානයට පත් වෙමින් අවසන් පූර්ව වටයට එක් විමට බලා සිටින දකුණු අප්‍රිකානුවන්ගේ අවස්ථාව අහිමි කරමිනුයි.

බටහිර ඉන්දීය කොදෙව්වෝ මෙම තරගයට එක් වෙන්නේ ප්‍රසාද ලකුණු 4ක් ලබා ගනිමිනුයි. ඒ කෙසේ වෙතත් ඔවුන් මේ තරග ත්‍රිත්වය 1.708ක ඉහළ දළ ලකුණු වේගයක් රඳවා ගනිමින් අවසන් කර තිබෙනවා. ඒ අනුව ඔවුන්ට මෙම ලැයිස්තුවේ ඉහළ ට පිවිසීමට නම් මෙම තරගයේ ජයග්‍රහණය අත්‍යවශ්‍ය වෙන අතර එසේ වන්නේ නම් ඔවුන්ට දළ ලකුණු ලබා ගැනීමේ වේගය මත පළමු ස්ථානය පවා හිමිකර ගැනීමට ඉඩ-කඩ සැලසෙනවා.

මෙම ලැයිස්තුවේ 2 වැනි ස්ථානය හිමිකර ගෙන සිටි දකුණු අප්‍රිකාව ප්‍රසාද ලකුණු 6ක් ලබා සිටින අතර ඔවුන්ගේ දළ ලකුණු ලබා ගැනීමේ වේගය පවතින්නේ 1.382ක් ලෙසයි.

එම කණ්ඩායම් ත්‍රිත්වයට අමතර ව B කාණ්ඩයෙන් මෙම ලැයිස්තුවේ ඉතිරි ස්ථාන ද්විත්වයට බංග්ලාදේශය (-0.844) සහ ස්කොට්ලන්තය (-3.129) පත් ව සිටිනවා.

19 වැනි තරගය

නවසීලන්තය සහ පාකිස්තානය අතර තරගය Dubai ජත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

o කාසියේ වාසිය – නවසීලන්තය

o තරගයේ වීරයා – Eden Carson (නවසීලන්තය)

තරගයේ කෙටි ලකුණු පුවරුව

නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 6ක් දැවී 110 (20.0) Suzie Bates 28, Sophie Devine 19, Brooke Halliday 22, Nashra Sandhu 3/18

 

පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම – සියලුම දෙනා දැවී 56 (11.4) Fatima Sana 21, Eden Carson 2/07, Amelia Kerr 3/14

නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ලකුණු 54ක ජයක්.

මේ අතර අද (ඔක්තෝබර් 15 වැනිදා) B කාණ්ඩයෙන් තරගාවලියට එක් වෙන එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව්වන් අතර තරගය Dubai ජත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

9 වැනි කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<