ICC මැයි මාසයේ සම්මානය මැතිව්ස්ට

723

2022 මැයි මාසය සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් පිරිනමන මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ප්‍රවීණ ශ්‍රී ලංකා ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් නම් කර තිබෙනවා.

ඇන්ජලෝ මැතිව්ස්ට අමතරව මෙම සම්මානය සඳහා ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු සහ බංග්ලාදේශ ක්‍රීඩක Mushfiqur Rahim නිර්දේශ වී තිබුණා. කෙසේ වෙතත් ඔවුන් දෙදෙනා අභිබවා යමින් ඇන්ජලෝ මැතිව්ස් මෙම සම්මානය දිනා ගෙන තිබෙනවා.

බංග්ලාදේශයට එරෙහිව පැවති තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ දී කැපී පෙනෙන දස්කම් දැක්වීමට ඇන්ජලෝ මැතිව්ස් සමත් වුනා. එහි දී ඔහු ශතක දෙකක් ඇතුළත්ව ලකුණු 344ක් රැස්කරමින් තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට ද පත්වුනා. Chattogram හි පැවති පළමු ටෙස්ට් තරගයේ දී ඔහු ලකුණු 199කට දැවී ගිය අතර ඔහුට ද්විත්ව ශතකය අහිමි වුනා.

මීර්පූර්හි පැවති දෙවැනි තරගයේ දී ඔහු පළමු ඉනිමේ දී විශිෂ්ට ලකුණු 145ක් රැස්කරමින් ශ්‍රී ලංකා කණ්ඩායමට බංග්ලාදේශය පරාජය කරමින් කඩුලු 10ක ජයක් වාර්තා කිරීමට අඩිතාලම සපයනු ලැබුවා.

මෙම ජයග්‍රහණයත් සමඟින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ ලෝක ටෙස්ට් ශූරතා ලකුණු සටහනේ සිව්වැනි ස්ථානය දක්වා ඉහළට ඒමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුනා. ඒ ලකුණු 55.56ක ප්‍රතිශතයක් ලබා ගනිමින්.

තරගාවලියේ දී මැතිව්ස්ගේ විශිෂ්ට දස්කම් හමුවේ ඔහුට ICC ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්වල 15 වැනි ස්ථානය දක්වා පැමිණීමට ද සමත් වුනා. දැන් ICC විසින් නම් කරන මැයි මාසයේ ක්‍රීඩකයා සම්මානය දිනා ගැනීමට ද උපකාරී වී තිබෙනවා.

මෙම මාසයේ ක්‍රීඩකයා නම් කිරීම 2021 ජනවාරියේ දී ආරම්භ වූ අතර එම සම්මානය දිනා ගත් පළමු ශ්‍රී ලංකා ක්‍රීඩකයා වීමේ ගෞරවය ද ඇන්ජලෝ මැතිව්ස් හට හිමිවනවා.

මාසයේ ක්‍රීඩකයා ලෙස නම් කිරීම පිළිබඳව මැතිව්ස් මාධ්‍ය වෙත අදහස් දක්වා සිටියා.

මාසයේ ICC ක්‍රීඩකයා වීම ගැන මම අතිශයින් ගෞරවයට හා සතුටට පත්වෙනවා. මෙම සම්මානය සඳහා නිර්දේශ වූ සහ ඉදිරියෙන්ම සිටි අසිත ප්‍රනාන්දු සහ Mushfiqur Rahim හට ඔවුන්ගේ විශිෂ්ටත්වය පිළිබඳව මම සුබ පතනවා.”

මේ අවස්ථාව ගැන මම කෘතඥ වෙනවා වගේම හැමදාමත් වගේ මාව විශ්වාස කරලා මට සහයෝගය දෙන සර්වබලධාරි දෙවියන් වහන්සේට, මගේ කණ්ඩායමේ සගයන්ට, සහය කාර්ය මණ්ඩලයට සහ ශ්‍රී ලංකා ක්‍රිකට් රසික රසිකාවියන්ට මම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මම මෙය ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් කැප කිරීමට කැමතියි. අපි කවදාවත් විශ්වාස කිරීම නවත්වන්න හොඳ නැහැ”

හිටපු දකුණු අප්‍රිකානු ක්‍රීඩක සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ ඡන්ද මණ්ඩලයේ සාමාජික JP Duminy ද මැතිව්ස්ට ප්‍රශංසා කර තිබුණා.

මේ මාසය තුළ ඇන්ජලෝගේ ක්‍රීඩාව බැලුවම ඔහුගේ විශිෂ්ට දක්ෂතාවය සහ අධිෂ්ඨානය පෙන්නුම් කරනවා. ඔහුට තවමත් තරගයක් තුළ වෙනසක් කිරීමට වගේම ලකුණු ලබා ගන්න තියන පිපාසය සහ ආශාව අපිට පේනවා.”

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<