ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් විශේෂ තීරණ 5ක්!

161

2024 වසරේ සිට 2031 වසර දක්වා ICC විසින් සංවිධානය කරනු ලබන ප්‍රධාන තරගාවලි තුනක සත්කාරකත්වය දැරීම අතුළුව ප්‍රධාන තීරණ පහක් ගැනීමට පසුගිය 18 වැනිදා පැවති ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු රැස්වීමේ දී තීරණය කළ බව, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අද (22) පවසා සිටියා.

ඒ අනුව එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක්, විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියක් සහ ශූරයින්ගේ කුසලාන තරගාවලියක් යන ප්‍රධාන පිරිමි ක්‍රිකට් තරගාවලි ත්‍රිත්වය වෙනුවෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සත්කාරකත්වය දැරීම වෙනුවෙන් සිය කැමැත්ත ප්‍රකාශ කර තිබෙනවා.

ඇතැම් තරගාවලි සඳහා වෙනත් රටවල් සමග එක්ව සම සත්කාරක රටක් වශයෙන් කටයුතු කිරීමට ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති බව සඳහන් වෙනවා.

තවත් ක්‍රිකට් පුවත්:

– ICC ප්‍රධාන තරගාවලි සඳහා ලංසු තැබීම

මෙම ලංසු තැබීමේ දී 2024 සිට 2031 වසර දක්වා වූ කාලසීමාවේ පැවැත්වීමට නියමිත විස්සයි-විස්ස ලෝක කුසලාන තරගාවලිය, පන්දුවාර 50 පිරිමි ලෝක කුසලාන තරගාවලිය සහ ශූරයින්ගේ කුසලාන යන තරගාවලි සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ලංසු තැබීමට බලාපොරොත්තු වෙනවා.

ඇතැම් විට එම ලංසු තැබීම අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ (ICC) සාමාජික රටක් හෝ රටවල් කීපයක් සමඟ ඒකාබද්ධ ලංසුවක් ලෙසින් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවෙන් සිටිනවා.

– දේශීය ක්‍රීඩකයින් 60කට කොන්ත්‍රාත් ලබා දීම

දේශීය ක්‍රිකට් ක්‍රීඩාවේ නියැළෙන ක්‍රීඩකයින් 60 දෙනෙකු සඳහා සඳහා වාර්ෂික කොන්ත්‍රාත් ලබා දීමට මෙම විධායක කමිටු රැස්වීමේ දී තීරණය වී තිබෙනවා. COVID–19 වසංගත තත්ත්වයේ බලපෑම හේතුවෙන් ක්‍රිකට් ක්‍රීඩා නොකරන අවස්ථාවන්හිදී එම ක්‍රීඩකයින්ට මූල්‍යමය වශයෙන් නැගී සිටීමට මෙමගින් අවස්ථාව සැලසෙනවා. කොන්ත්‍රාත් පිරිනැමීම සඳහා වූ ක්‍රීඩකයින් 60, ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් ඉදිරියේ දී නම් කරනු ඇත.

– 19න් පහළ ක්‍රීඩකයින්ට නේවාසික පුහුණුවක්

එළඹෙන යොවුන් ලෝක කුසලාන තරගාවලිය සහ ආසියානු කුසලාන තරගාවලිය ඉලක්ක කර ගනිමින් වයස අවුරුදු 19න් පහළ යොවුන් සංචිතයේ පසුවන ක්‍රීඩකයින් සඳහා නේවාසික පුහුණු කඳවුරක් පැවැත්වීම කෙරෙහි අවධානය යොමුව තිබෙනවා.

ශ්‍රී ලංකාව පුරා විහිදී සිටින දක්ෂතා ඇති ක්‍රීඩකයින් හඳුනා ගැනීම වෙනුවෙන් පැවති කුසලතා හඳුනා ගැනීමේ වැඩසටහනක් හරහා දැනටමත් තෝරාගෙන ඇති ක්‍රීඩකයින් 65 දෙනෙකුගෙන් සමන්විත සංචිතයට, දින 21ක් මහනුවර දී නේවාසිකව එම පුහුණු කඳවුර පැවැත්වෙනු ඇත.

ආසියානු යොවුන් කුසලාන මෙම 2021 වසරේ ඔක්තෝබර් මස ඩුබායිදීත්, යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය 2022 වසරේ ජනවාරි මාසයේ දී බටහිර ඉන්දීය කොදෙව් දේශයේදීත් පැවැත්වෙනු ඇත.

  • ශ්‍රී ලංකා ‘A’ සහ ‘නැගී එන’ ක්‍රීඩකයින් වෙනුවෙන් නේවාසික වැඩසටහන

තෝරා ගන්නා ලද ක්‍රීඩකයින් 26 දෙනෙකු සඳහා මෙම නේවාසික පුහුණු වැඩසටහන ක්‍රියාත්මක කෙරෙනු ඇත. මෙය ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ‘A’ කණ්ඩායම් තරගාවලි ඉලක්ක කර ගනිමින් පැවැත්වෙනවා. මෙම නේවාසික වැඩසටහන රංගිරි දඹුලු අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ දී ජුනි 25 වැනිදා ආරම්භ වීමට නියමිත අතර එය මාසයකට ආසන්න කාලයක් ක්‍රියාත්මක කෙරෙනු ඇත.

– ක්‍රීඩා සමාජ සඳහා මූල්‍ය ප්‍රතිපාදන

COVID-19 ව්‍යසනය හේතුවෙන් විවිධ දුෂ්කරතාවයන් වලට මුහුණ දී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යටතේ වන සාමාජික ක්‍රීඩා සමාජ විසින් සිදු කරන ලද ඉල්ලීම්වලට ප්‍රතිචාර දක්වමින් එම මූල්‍ය ප්‍රතිපාදන ලබා දීමට තීරණය කර තිබෙනවා.

යෝජිත මූල්‍යාධාර පිරිනැමීම, විශේෂ කමිටුවක් යටතට පත් කොට ඔවුන් ලබා දෙන නිර්දේශයන් මත පදනම්ව එම ක්‍රීඩා සමාජ මූල්‍යාධාර ලබා ගැනීම සඳහා සුදුසුකම් ලබාගනු ඇත. එහි දී ක්‍රීඩක සුබසාධනය ඇතුළු අදාළ ක්‍රීඩා සමාජවල ක්‍රිකට් වැඩසටහන් පවත්වා ගෙන යෑම සඳහා මෙම මුදල් බෙදා දීමට නියමිතයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<