ඉන්දු – ශ්‍රී ලංකා ටෙස්ට් පැවති බැංගලෝර් ක්‍රීඩාංගණයට ICCයෙන් දඬුවම්!

7725

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවති දෙවැනි ටෙස්ට් තරගය සඳහා භාවිතා කළ බැංගලෝර් ක්‍රීඩාංගණයේ තණතීරුවට සාමාන්‍ය අගයට වඩා අඩු අගයක් ලබා දී එම ක්‍රීඩාංගණය සඳහා දඬුවම් ලකුණක් ලබා දීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය තීරණය කර තිබෙනවා.

මෙම තරගය දින තුනකින් අවසන් කරමින් ජයග්‍රහණය ලබා ගැනීමට ඉන්දීය ක්‍රීඩකයින් සමත් වූ අතර තරගයේ පළමු දිනයේ දී පමණක් කඩුලු 16ක් බිඳ වැටීම බොහෝ දෙනාගේ අවධානයට ලක් වුනා.

තණතීරුව පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට වාර්තාව ඉදිරිපත් තරග තීරක Javagal Srinath ප්‍රකාශ කර තිබුණේ,

“මෙම තණතීරුවේ පළමු දිනයේ පටන් විශාල දඟ කැවීමක් තිබුණා. එය සෑමවිටම වර්ධනය වීමක් දක්නට ලැබුණු අතර මගේ දැක්මට අනුව ගොඩක් පන්දු පිත්තෙහි දවටා ගැනීමට පවා හැකි වුනේ නැහැ”.

මෙම තරගය ලකුණු 239කින් ජයග්‍රහණය කරමින් තරගාවලිය 2-0ක් ලෙස ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වූ අතර ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න එහි දී ශතකයක් වාර්තා කිරීමට සමත් වුනා.

මෙම ජයග්‍රහණයත් සමඟ ලෝක ටෙස්ට් ශූරතාවයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණෙමින් අංක හතර ස්ථානය හිමිකර ගැනීමට ඉන්දියාවට හැකි වීම විශේෂත්වයක්.

Hindustan times ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<