ආසියානු යොවුන් රග්බි තරගාවලියේදී ලංකාවට අනු ශූරතාවය

114

මලයාසියාවේදී ඊයේ නිමාව දුටු වයස 20න් පහළ ආසියානු යොවුන් සත් සාමාජික රග්බි තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට අනු ශූරතාව ලබා ගැනීමෙන් සෑහීමකට පත්වන්නට සිදු වූ අතර කුසලාන අවසාන මහා තරගයේදී ලකුණු 29 – 15ක් ලෙස ශ්‍රී ලංකාව පරාජයට පත් කළ හොංකොං කණ්ඩායම ශූරතාව දිනා ගත්තේය.

දින 2ක් පුරා මලයාසියාවේ ජොහෝර් ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගාවලියේ පළමු අදියරේදී ශ්‍රී ලංකා – හොංකොං තරගය උණුසුම් මුහුණුවරක් ගත් අතර තරගය මැද සමයේදී ෂම්රි බුරා හා සිතුම් පීරිස් යන දෙදෙනා තරගයෙන් ඉවත් කිරීමද කැපී පෙනුණි. එහි වාසිය ගත් හොංකොං ක්‍රීඩකයන් ලකුණු 12ක්ම රැස් කළ අතර එකී ක්‍රීඩකයන් දෙදෙනා ඉවත් කිරීමට පෙර ලකුණු 5 – 5ක් ලෙස දෙපිලම සම තත්ත්වයේ පසුවිය.

අවසාන මහා තරගයේ පළමු භාගය නිමා වන විට 12 – 07ක් ලෙස හොංකොං පිල ඉදිරියෙන් සිටියද, දෙවැනි භාගයේ මුල් කාලයේදී හොංකොං ප්‍රබල ක්‍රීඩකයකුද රතු කාඩ්පත ලබා එළියට ගොස් සිටි අතර ඉන් ප්‍රයෝජන ගත් ශ්‍රී ලංකාව වරෙක ලකුණු 12 – 12ක් ලෙසද කරට කර සිටියේය. කෙසේ වෙතත් තරගය අවසානයේ ගෝල 2ක් හා උත්සාහක දිනුම් 3ක් සමඟින් හොංකොං ක්‍රීඩකයෝ ලකුණු ලබා ගන්නා විට ශ්‍රී ලංකා පිල උත්සාහක දිනුම් 3ක් මඟින් ලකුණු රැස් කළේය.
අවසාන මහා තරගය දක්වා පැමිණි ගමනේදී අවසාන පූර්ව තරගයෙන් ලකුණු 17 – 12ක් ලෙස සත්කාරක මලයාසියාව පරාජයට පත් කළ ශ්‍රී ලංකාව අර්ධ අවසන් පූර්ව තරගයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍ය පිල පරදා ජය ගත්තේ 33 – 07ක් ලෙසිනි.

එසේම මූලික වටයේ තරගවලදී ශ්‍රී ලංකාව ඉදිරියේ 24 – 19ක් ලෙස තායිලන්තය පරාජයට පත්වූ අතර චීන තායිපේ සමඟ තරගය 19 – 19ක් ලෙස සම විය. එහෙත් මූලික වටයේදීද 24-19ක් ලෙස හොංකොං පිල හමුවේම පරාජයට පත්විය. කෙසේ වෙතත් නායක කෙවින් ඩික්සන්, සිතුම් පීරිස්, ප්‍රින්ස් චාමර, ඔමල්ක ගුණරත්න සහ බුද්ධිම පියරත්න යන ක්‍රීඩකයන් තරගාවලියේ තම උපරිම
දක්‍ෂතා ඉස්මතු කරමින් කැපී පෙනුණි.