19න් පහළ ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව D කාණ්ඩයේ

2021 ICC වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලානය

3510

2021 ICC වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලානයේ තරග සැලැස්ම ICCය විසින් පසුගිය දා නිකුත් කළා. ඒ අනුව ශ්‍රී ලංකාව තරගාවලියේ D කාණ්ඩයේ තරග වැදීමට නියමිතයි.

ශ්‍රී ලංකාව සමඟ එම කාණ්ඩයේ තරග වදින අනෙක් කණ්ඩායම් වන්නේ ඕස්ට්‍රේලියාව, බටහිර ඉන්දීය කොදෙව් හා ස්කොට්ලන්තයයි.

තරගාවලිය සඳහා රටවල් 16ක් සහභාගී වන අතර තරග 48ක් පැවැත්වීමට නියමිතයි. ඉතිහාසයේ පළමු වතාවට මෙවර තරගාවලිය පැවැත්වෙන්නේ බටහිර ඉන්දීය කොදෙව් දූපත් හිදී වීම විශේෂත්වයක්. එළඹෙන 2022 වසරේ ජනවාරි 14 වැනිදා සිට පෙබරවාරි 5 වැනිදා දක්වා තරගාවලියේ පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

මෙවර තරගාවලිය සඳහා ක්‍රීඩාංගණ 10ක් යොදා ගැනීමට නියමිතයි. ඒ Antigua හා Barbuda, Guyana, St Kitts හා Nevis, Trinidad හා Tobago දූපත්වලයි.

නවසීලන්ත කණ්ඩායම වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලානය සඳහා සහභාගී නොවන බව ද වාර්තා වෙනවා. ඒ තරගාවලියෙන් පසුව නැවත නවසීලන්තයට යාමේ දී වයස අවුරුදු 19න් පහළ දරුවන්ට නිරෝධායනයට ලක්වීම අනිවාර්ය කර තිබෙන නිසයි. නවසීලන්තය වෙනුවට ස්කොට්ලන්තයට තරගාවලියට සහභාගී වීමේ අවස්ථාව හිමිව තිබෙනවා.

තරගාවලියේ කාණ්ඩ සැලැස්ම අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ඕස්ට්‍රේලියාව, බටහිර ඉන්දීය කොදෙව් හා ස්කොට්ලන්තය සමඟ D කාණ්ඩයට ඇතුලත්ව තිබෙනවා. 2016 වසරේ දී පැවති වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලානය ජය ගත්තේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමයි.

බංග්ලාදේශය, එංගලන්තය, කැනඩාව හා එක්සත් අරාබි එමීර් A කාණ්ඩයේ තරග කරනවා. ඉන්දියාව, අයර්ලන්තය, දකුණු අප්‍රිකාව හා උගන්ඩාව B කාණ්ඩයේ තරග කරද්දී ඇෆ්ගනිස්ථානය, පාකිස්තානය, පැපුවා නිව්ගීනියාව හා සිම්බාබ්වේ තරග කරන්නේ C කාණ්ඩයේයි.

තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරග හා අවසන් මහා තරග Antigua හා Barbuda හි සර් Vivian Richards ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

ICC වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලානයේ කාණ්ඩ සැලැස්ම

  • A කාණ්ඩය – බංග්ලාදේශය, එංගලන්තය, කැනඩාව හා එක්සත් අරාබි එමීර්
  • B කාණ්ඩය – ඉන්දියාව, අයර්ලන්තය, දකුණු අප්‍රිකාව හා උගන්ඩාව
  • C කාණ්ඩය – ඇෆ්ගනිස්ථානය, පාකිස්තානය, පැපුවා නිව්ගීනියාව හා සිම්බාබ්වේ
  • D කාණ්ඩය – ඕස්ට්‍රේලියාව, බටහිර ඉන්දීය කොදෙව්, ස්කොට්ලන්තය හා ශ්‍රී ලංකාව

ICC වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලානයේ තරග පැවැත්වෙන ක්‍රීඩාංගණ

  • St Kitts හා Nevis – Warner Park, Conaree, (Sandy Point – පුහුණු තරග සඳහා)
  • Guyana – Guyana National Stadium, (Everest – පුහුණු තරග සඳහා)
  • Trinidad හා Tobago – Brian Lara Cricket Ground, Queens Park Oval, Diego Martin
  • Antigua හා Barbuda – Sir Vivian Richards Cricket Ground, Coolidge Cricket Ground

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<