පල්ලෙකැලේ දස්කම් සමගින් රංගන – කුසල් ඉහලට

268
Herath and Mendis shake up ICC Test Player Rankings rangana kusal

ලොව අංක එකේ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමට ලකුණු 106ක පරාජයක් උරුම කර දෙන්නට පෙරමුණ ගැනීමත් සමග රංගන හේරත් සහ කුසල් මෙන්ඩිස් ජගත් ක්‍රිකට් කවුන්සිල ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවල ඉහලට පැමිණෙන්නට සමත් වී තිබේ.

පසුගිය ලිපි: පළමු මෙහෙයුමෙන්, සිංහ පුතුන් ජය ගනියි

ඔස්ට්‍රේලියාව සමග පැවති පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිමේදී ලකුණු 49කට කඩුලු 4ක් සහ දෙවන ඉනිමේදී ලකුණු 54කට කඩුලු 5ක් දවාගත් රංගන හේරත් නැවත වරක් ජගත් ටෙස්ට් පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ ලයිස්තුවේ පළමු දස දෙනා අතරට පැමිණෙන්නට සමත් විය. ස්ථාන 4ක් ඉදිරියට පැමිණි රංගන මේ වන විට අදාළ ලයිස්තුවේ 9වන ස්ථානයේ පසුවෙයි.

පළමු ටෙස්ට් තරගයේ දෙවන ඉනිමේදී වාර්තාගත ලකුණු 176ක් රැස් කරමින් තරගයේ වීරයා සම්මානය දිනාගත් කුසල් මෙන්ඩිස් ජගත් ටෙස්ට් පිතිකරුවන් වර්ගීකරණයේ ස්ථාන 27ක් ඉහලට පැමිණීමට සමත් වී තිබේ. ඔහු මේ වනවිට පසුවන්නේ 21වන ස්ථානයේ වන අතර ඔහුගේ කෙටි ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ මේ වනතෙක් පැමිණි ඉහලම ස්ථානයද මෙයයි.

රංගන හේරත් හැරුණු විට ජගත් ටෙස්ට් පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ ලයිස්තුවේ පළමු 20දෙනා අතර සිටින එකම ශ්‍රී ලාංකික පන්දු යවන්නා වන්නේ ධම්මික ප්‍රසාද්ය. උරහිසේ ආබාධයකින් සුවය ලබමින් සිටින ධම්මික එම ලයිස්තුවේ 18වන ස්ථානයේ පසුවනවා. වමතින් දඟ පන්දු යවන රංගන හේරත් ලොව ප්‍රමුඛ ටෙස්ට් පන්දු යවන්නන් 10දෙනා අතරට ඇතුලත් වන 4වන දඟ පන්දු යවන්නායි. රංගනට අමතරව ඉන්දියාවේ රවිචන්ද්‍රන් අශ්වින් (#1) සහ රවීන්ද්‍ර ජඩේජා (#6) මෙන්ම පාකිස්තානයේ යසීර් ෂා (#5) ද, පළමු 10 දෙනා අතරට ඇතුලත්.

කුසල් මෙන්ඩිස්ගේ සීඝ්‍ර ඉහල පැමිණීමත් සමග ඔහු ජගත් ටෙස්ට් පිතිකරුවන් වර්ගීකරණයට ඇතුලත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අතර 3වන ස්ථානය හිමි කරගන්නට සමත්වීම විශේෂත්වයක. මෙම ලයිස්තුවේ මෙන්ඩිස්ට ඉහලින් සිටින ශ්‍රී ලාංකික පිතිකරුවන් වන්නේ නායක ඇන්ජලෝ මැතිව්ස් (සම#13) සහ උප නායක දිනේෂ් චන්දිමාල් (#20) පමණයි. පළමු ටෙස්ට් තරගයේ දුර්වල පිතිකරණය හේතුවෙන් දිමුත් කරුණාරත්න 36වන ස්ථානය දක්වා ස්ථාන 2කින් ද, කෞෂාල් සිල්වා සම 43 වන ස්ථානය දක්වා ස්ථාන 7කින් ද, පසු බැස තිබේ.

මෙම නවතම ජගත් ක්‍රිකට් කවුන්සිල ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුව නිකුත් කෙරුනේ ඊයේ අවසන් වූ සිම්බාබ්වේ – නවසීලන්ත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් අනතුරුවයි.

තවත් පුවත් සදහා පිවිසෙන්න – මුල්පිටුවට