හෙන්ඩර්සන් සිය දෙවැනි රන් පදක්කමත් ලබා ගනී

339

33 වෙනි සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරග දෙවන දිනටත් ඊයේ (12) දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී පැවැත්විය.

තරගාවලියේ පළමු දිනයේ දී ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් එදින පැවැත්වීමට නියමිතව තිබූ ඉසව් රැසක් ඊයේ දිනයට කල් දැමුණු අතර ඒ අනුව ඊයේ දිනයේ තරග ඉසව් නියමිත වේලාවට පෙර ආරම්භ කරන්නට සංවිධායකයින් කටයුතු කළේය. එමෙන්ම ඊයේ දිනයේ දී තරග ඉසව් රැසක අවසන් තරග ද පැවැත්වීමට නියමිතව තිබූ අතර දිනය ආරම්භයේ ඉතා පැහැබර කාළගුණ තත්වයක් දිස්විය.

සමස්ත ලංකා පාසල් තරගාවලියට වර්ෂාවෙන් බාධා

33 වන වරට පැවැත්වෙන සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරග ඉසව් ඊයේ (11) දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී ආරම්භ විය.

වයස අවුරුදු 16න්, 18න් හා 20න් පහළ බාලක හා බාලිකා මීටර 100 ධාවන ඉසව් දිනයේ පැවති පළමු ජවන ඉසව් විය. 16න් පහළ බාලිකා මීටර 100 තරග ඉසව්වේ පළමු ස්ථානය දිනා ගනිමින් තරගාවලියේ දෙවන රන් පදක්කමට හිමිකම් කියන්නට කොළඹ ගේට්වේ ජාත්‍යන්තර පාසලේ සදීපා හෙන්ඩර්සන් සමත් විය. එහි දී ඇය වාර්තා කළ කාලය තත්පර 12.67ක් ලෙස සටහන් වූ අතර තත්පර 12.95ක කාලයක් වාර්තා කළ මහනුවර යහපත් එඬේරාගේ කන්‍යාරාමයේ ඊ. එම්. ප්‍රනාන්දු එහිදී දෙවන ස්ථානයත්, තත්පර 13.05ක කාලයක් වාර්තා කළ කොළඹ යශෝදරා බාලිකා විද්‍යාලයේ දිලිමි දිනූෂා තෙවන ස්ථානයත් දිනා ගැනීමට සමත් විය.

Pic credit – Nishan S Priyantha

වයස අවුරුදු 18න් පහළ බාලිකා මීටර 100 තරග ඉසව්වේ දී එම ඉසව්ව ජයග්‍රහණය කරනු ඇතැයි බොහෝ දෙනෙක් අපේක්‍ෂා කළ ගේට්වේ ජාත්‍යන්තර පාසලේ ශාලින්දා ජෙන්සන් දෙවන ස්ථානයට ඇද දමමින් පළමු ස්ථානය දිනා ගැනීමට සමත් වූයේ මාතර සාන්ත මරියා කන්‍යාරාමයේ එවන්ති එමේෂිකා ය. එම ඉසව්ව අවසන් කිරීම සඳහා ඇය වැයකළ කාලය තත්පර 12.37කි. එහි තෙවන ස්ථානය දිනාගනු ලැබුවේ මියුසියස් විද්‍යාලයේ දේවින්‍යා පෙරේරා විසිනි.

Pic credit – Nishan S Priyantha

බාලිකා ඉසව් අවසානයේ පැවැත්වුණු මීටර 100 බාලක ධාවන ඉසව් ඉතා උණුසුම් මුහුණුවරක් ගත්තේය. 16න් පහළ ඉසව්වේ පළමු ස්ථානය දිනා ගන්නට සමත් වූයේ තත්පර 11.31ක කාලයක් වාර්තා කරගනිමින් ඉසව්ව අවසන් කළ හලාවත සාන්ත මරියා විද්‍යාලයේ මිලින්ද පෙරේරා විසිනි. එහි දෙවන හා තෙවන ස්ථානය පිළිවෙළින් සාන්ත තෝමස් විද්‍යාලයේ ටී. ඩී. කුලසිංහ සහ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ රන්දික ලියනගේ විසින් දිනාගන්නා ලදි.

Pic credit – Nishan S Priyantha

ඉන් අනතුරුව පැවැත්වුණු වයස අවුරුදු 18න් පහළ මීටර 100 අවසන් තරගය සඳහා යොහාන් ධනුෂ්ක සමඟින් ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ශාලික සන්තුෂ් ද සුදුසුකම් ලැබූ අතර ඒ අනුව එම තරගය ඉතා උණුසුම් හා වේගවත් අවසන් තරගයක් විය.

කෙසේ නමුත් තරගය අවසානයේ ඔවුන් දෙදෙනාම පළමු ස්ථාන දෙක අතරට පැමිණීමට අපොහොසත් විය. ඒ අනුව තත්පර 10.90ක කාලයක් වාර්තා කරගනිමින් ඉසව්ව අවසන් කළ කෑගල්ල සාන්ත මරියා විද්‍යාලයේ සී. එම්. යෝදසිංහ පළමු ස්ථානය දිනාගැනීමට සමත් වූ අතර එහි දෙවන ස්ථානය දිනාගැනීමට සමත් වූයේ ඇඹිලිපිටිය මොරකැටිය මහා විද්‍යාලයේ ඩී. එස්. රත්නසිරි විසිනි. තත්පර 11.01ක කාලයක් වාර්තා කරගත් යොහාන් ධනුෂ්ක හට එහිදී තෙවන ස්ථානය හිමි වූ අතර තත්පර 11.10ක කාලයක් වාර්තා කරගනිමින් ඉසව්ව අවසන් කළ සන්තුෂ් හට එහි දී සිව්වන ස්ථානයෙන් සෑහීමකට පත්වීමට සිදු විය.

Pic credit – Nishan S Priyantha

වයස අවුරුදු 20න් පහළ මීටර 100 අවසන් තරගයේ පළමු ස්ථානය තත්පර 10.89ක කාලයක් වාර්තා කරගත් මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයේ චානුක සංදීප විසින් දිනාගත් අතර එහි දෙවන හා තෙවන ස්ථාන පිළිවෙළින් අනුබුක්කාගම මධ්‍ය මහා විද්‍යාලයේ එස්. එම්. සෆාන් සහ කොළඹ නාලන්ද විද්‍යාලයේ කේ. එස්. පෙරේරා විසින් දිනා ගන්නා ලදි.

දිනයේ පැවැත්වුණු පිටිය ඉසව් වල පළමු අවසන් තරගය වූයේ වයස අවුරුදු 16න් පහළ බාලිකා කවපෙත්ත විසිකිරීමේ තරග ඉසව්වයි. එහි පළමු ස්ථානය දිනා ගැනීමට මීටර 34.58ක දක්ෂතාවයක් වාර්තා කරගත් කඳාන සෙබස්තියන් බාලිකා විද්‍යාලයේ හේෂානි මහේෂිකා සමත් වූ අතර එහි දෙවන ස්ථානය දිනා ගැනීමට සමත් වූයේ කොළඹ කාන්තා විද්‍යාලයේ ගුණසේකර විසිනි. තෙවන ස්ථානය ඇඹිලිපිටිය රත්නායක මහා විද්‍යාලයේ කේ. එච්. රත්නායක විසින් දිනා ගන්නා ලදි.

වයස අවුරුදු 20න් පහළ මීටර 1500 බාලක අවසන් තරගය මිනිත්තු 4:00.23ක කාලයක් වාර්තා කරගනිමින් අවසන් කරමින් පළමු ස්ථානය දිනාගත් මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ආර්. ටී. බුළුගහපිටිය සිය පාසල මෙම තරගාවලිය තුළ ජයග්‍රහණය කළ පළමු පදක්කමට හිමිකම් කියන්නට සමත් විය. එහි දී දෙවන හා තෙවන ස්ථාන පිළිවෙළින් මාතර රාහුල විද්‍යාලයේ පූර්ණ සඳමින් සහ වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලේ ගයාන් තාරුක විසින් දිනා ගැනීමට සමත් විය.

Pic credit – Nishan S Priyantha

දිනයේ දෙවැනි භාගයේ දී බාලක සහ බාලිකා අංශ දෙකේම සියලුම වයස් කාණ්ඩවල මීටර 400 අවසන් තරග පැවැත්විණ. එහි දී වයස අවුරුදු 16න් පහළ බාලිකා ඉසව්වේ පළමු ස්ථානය දිනා ගැනීමට සමත් වූයේ තත්පර 58.67ක කාලයක් වාර්තා කරගත් රාජගිරිය ජනාධිපති විද්‍යාලයේ කාවින්දි සජානා විසිනි. එහි දෙවන ස්ථානය ගුරුගොඩැල්ල කනිෂ්ඨ විද්‍යාලයේ නෙත්මි නිම්සරා සහ තෙවන ස්ථානය කුරුණෑගල ජෝන් කොතලාවල විද්‍යාලයේ එස්. එන්. මධුවන්ති විසින් දිනා ගැනීමට සමත් විය.

අනතුරුව පැවැත්වුණු වයස අවුරුදු 18න් පහළ බාලිකා ඉසව්වේ පළමු ස්ථානය දිනා ගැනීමට ජාත්‍යන්තර තලට තුළ ද ශ්‍රී ලංකාව නියෝජනය කර ඇති සචිනි දිව්‍යාංජලී සමත් විය. එම ඉසව්ව අවසන් කිරීම සඳහා ඇය වැයකළ කාලය තත්පර 56.96කි. එහි දෙවන හා තෙවන ස්ථාන පිළිවෙළින් කෑගල්ල සාන්ත ජෝසප් බාලිකා විද්‍යාලයේ සී. එස්. බණ්ඩාර සහ අඹගමුව මහා විද්‍යාලයේ කේ. තත්සරණි විසින් දිනා ගැනීමට සමත් විය.

Pic credit – Nishan S Priyantha

වයස අවුරුදු 18න් පහළ බාලක මීටර 400 අවසන් තරගයේ දී ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ රවීන්ද්‍ර ඉන්ද්‍රජිත් සහ වලල ඒ. රත්නායක මහා විද්‍යාලයේ එච්. එස්. කරුණාරත්න අතර තරගයේ අවසානය දක්වා ඉතා උණුසුම් තරගයක් පැවති අතර අවසන් මොහොතේ දී තරගය ජයග්‍රහණය කරමින් රන් පදක්කම දිනා ගැනීමට තත්පර 48.80ක කාලයක් වාර්තා කරගත් රවීන්ද්‍ර ඉන්ද්‍රජිත් සමත් විය. ඒ අනුව දෙවන ස්ථානය තත්පර 48.85ක කාලයක් වාර්තා කරගත් කරුණාරත්න විසින් දිනාගත් අතර තෙවන ස්ථානය දිනාගනු ලැබුවේ තත්පර 49.36ක කාලයක් වාර්තා කරගත් කොළඹ ලුම්බිණි විද්‍යාලයේ අදීශ අංජන් විසිනි.

Pic credit – Nishan S Priyantha

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<

දෙවන දිනයේ අවසන් තරග ප්‍රතිඵල