සමස්ත ලංකා පාසල් තරගාවලියට වර්ෂාවෙන් බාධා

397

33 වන වරට පැවැත්වෙන සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරග ඉසව් ඊයේ (11) දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී ආරම්භ විය.

යුද හමුදා මලල ක්‍රීඩා ශූරතාවලියේ දී නව ශ්‍රී ලංකා වාර්තා 2ක්

54 වන වරට පැවති ශ්‍රී ලංකා යුද හමුදා අන්තර් රෙජිමේන්තු මලල ක්‍රීඩා..

තරග ඉසව් පැවැත්වෙන වයස අවුරුදු 12න්, 14න්, 16න්, 18න් සහ 20න් පහළ වයස් කාණ්ඩ වල බාලක සහ බාලිකා අංශ දෙකේම ජයග්‍රාහකයින් සහ අනුශූරතාවය දිනා ගන්නා තරගකරුවන් සහ තරගකාරිනියන් සඳහා මෙහි දී කේවල ශූරතා කුසලාන පිරිනැමෙනු ඇත. පෙර අවුරුදුවල දී බාලක සහ බාලිකා අංශ සඳහා වෙන වෙනම ලබා දුන් ජ්‍යෙෂ්ඨ, කනිෂ්ඨ සහ සමස්ත ශූරතාවලට අමතරව මෙම වසරේ දී තවත් නව අභියෝගතා ශූරතාවයක් හඳුන්වා දෙන්නට සංවිධායකයින් තීරණය කර ඇති අතර ඒ අනුව තරගාවලියේ ඉහළම දක්‍ෂතා දක්වන මිශ්‍ර පාසලට ද මෙම වසරේ දී අභියෝගතා ශූරතාවයක් පිරිනැමෙනු ඇත. මේ හරහා මිශ්‍ර පාසල්වලට ද තරගාවලියේ දී ඉහළ ස්ථානයක් හිමිකර ගැනීමට හැකියාව ලැබේ.

දින 5ක් පුරා පැවැත්වෙන මලල ක්‍රීඩා ශූරතාවලියේ පළමු දිනය වූ ඊයේ දිනයට අධික වර්ෂාපතනයෙන් බාධා එල්ල වූ අතර ඒ අනුව ඊයේ පැවැත්වීමට තිබූ තරග ඉසව් සියල්ලම පාහේ ප්‍රමාද කිරීමට සිදු විය. පසුව අවසන් තරග කිහිපයක් පමණක් පැවැත්වීමට කටයුතු කෙරුණු අතර තවත් පිටිය ඉසව් රැසක් අද දිනය දක්වා කල් දමන ලදි.

හඳුන්වා දෙන ලද නව වයස් කාණ්ඩ යටතේ පැවැත්වෙන පළමු සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල මෙය වීම නිසා මෙවර තරගාවලියේ දී තරගාවලි වාර්තා බිඳ දැමීමක් සිදු නොවේ.

ඊයේ පැවැත්වුණු පළමු ජ්‍යෙෂ්ඨ අවසන් තරගය වන වයස අවුරුදු 18න් පහළ තුන් පිම්ම අවසන් තරගයේ දී මීටර 12.01ක දක්ෂතාවයක් දැක්වූ ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලයේ සත්සරා සංදීපනී එහි ප්‍රථම ස්ථානය දිනා ගැනීමට සමත් වූ අතර එහි දී මීටර 12 සීමාව පසුකිරීමට සමත් වූ එකම ක්‍රීඩිකාව ඇයයි. දිප්පිටිය රාජගිරිය මහා විද්‍යාලයේ එස්. පී. කරුණානායක එහි දී දෙවන ස්ථානය දිනාගත් අතර තෙවන ස්ථානය හිමි වූයේ නෙත්මි මේඝවර්ණ හටයි.

ඉන් අනතුරුව වයස අවුරුදු 12න් පහළ බාලක උස පැනීම අවසන් තරගයේ පළමු ස්ථානය දික්වැල්ල විජිත මධ්‍ය මහා විද්‍යාලයේ පැහැසර තෙනූජ විසින් දිනාගත් අතර දෙවන ස්ථානය දිනා ගනු ලැබුවේ කුරුණෑගල මලියදේව විද්‍යාලයේ නිපුන මනෝද්‍ය විසිනි. එහි තෙවන ස්ථානය ගනේගොඩ රාජසිංහ මහා විද්‍යාලයේ ප්‍රසාත් විජේසිරි විසින් දිනා ගන්නා ලදි.

වයස අවුරුදු 12න් පහළ බාලිකා දුර පැනීම අවසන් තරගයේ දී මීටර 4.55ක දක්ෂතාවයක් දැක්වූ පානදුර යහපත් එඬේරාගේ කන්‍යාරාමයේ ශිහාරා සඳමිනී රන් පදක්කම දිනා ගැනීමට සමත් වූ අතර රිදී පදක්කම මීටර 4.53ක දක්ෂතාවයක් දැක්වූ ආවේ මරියා කන්‍යාරාමයේ එම්. ජී. රණසිංහ විසින් දිනා ගන්නා ලදි. එහි ලෝකඩ පදක්කම දිනාගනු ලැබුවේ මීටර 4.27ක දක්ෂතාවයක් දැක්වූ ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලයේ ඩබ්. ඒ. දහම්දි විසිනි.

වයස අවුරුදු 18න් පහළ බාලිකා උස පැනීමේ ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට සමත් වූයේ නැගී එන උස පැනීමේ ක්‍රීඩිකාවක් වන පානදුර ලීඩ්ස් ජාත්‍යන්තර පාසලේ පූර්ණිමා ජයමාලි විසිනි. ඇය දැක්වූ දක්‍ෂතාවය මීටර 1.68ක් ලෙස සටහන් විය. එහි දෙවන ස්ථානය ගේට්වේ ජාත්‍යන්තර පාසලේ හිමාෂා කුරේ සහ තෙවන ස්ථානය කොළඹ ශාන්ත ලෝරන්ස් බාලිකා විද්‍යාලයේ ෂෙනාලි වීරපෙරුම විසින් දිනා ගන්නා ලදි.

තවත් නැගී එන මලල ක්‍රීඩිකාවක් වන කොළඹ ගේට්වේ ජාත්‍යන්තර පාසලේ සදීපා හෙන්ඩර්සන් වයස අවුරුදු 16න් පහළ බාලිකා දුර පැනීමේ ඉසව්ව ජයග්‍රහණය කරමින් තරගාවලියේ ඇයගේ පළමු රන් පදක්කම දිනා ගැනීමට සමත් විය. එහි දී ඇය මීටර 5.66ක දක්‍ෂතාවයක් දැක්වීමට සමත් විය. මීටර 5.44ක දක්ෂතාවයක් දැක්වූ දික්වැල්ල විජිත මධ්‍ය මහා විද්‍යාලයේ සඳිනි කවීෂා එහි රිදී පදක්කම දිනා ගැනීමට සමත් වූ අතර ලෝකඩ පදක්කම දිනා ගනු ලැබුවේ මීටර 5.36ක දක්ෂතාවයක් දැක්වූ සූරියවැව විහාරගල මහා විද්‍යාලයේ භාග්‍යා නිල්මිණී විසිනි. එමෙන්ම ඊයේ පැවති තරග වටය ජයග්‍රහණය කළ හෙන්ඩර්සන් තරගාවලියේ වයස අවුරුදු 16න් පහළ මීටර 100 ඉසව්වේ ඊළඟ වටයට ද සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.

පළමු දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ තරග ඉසව් ද දෙවන දිනය වෙත කල් දැමීමට සිදුවීම හේතුවෙන් අද දිනය තුල ඉසව් රාශියක් පැවැත්වීමට නියමිතව තිබෙන අතර 33 වන වරට පැවැත්වෙන සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ සියලු තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානමෙන් සිටියි.

පළමු දිනයේ තරග ප්‍රතිඵල

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<