“එංගලන්තය තුළ ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වන එක මට නම් විනෝදයක්” – ගප්ටිල්

154

ඕස්ට්‍රේලියාවේදී සහ නවසීලන්තයේදී පැවති 2015 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවා බවට පත්වූ නවසීලන්තයේ මාර්ටින් ගප්ටිල්, එංගලන්තය තුළ පිතිකරණයේ නිරත වීම සඳහා දැඩි ආශාවකින් සිටින බව පවසා තිබේ.  

ශ්‍රී ලංකා A සමඟ සටනට ප්‍රබල ඉන්දීය කණ්ඩායමක්

මේ මස 25 වැනිදා සිට ජුනි 15 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා A කණ්ඩායමේ ඉන්දීය තරග…


මේ දක්වා එංගලන්තය තුළ එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරග 14ක් ක්‍රීඩා කර ඇති මාර්ටින් ගප්ටිල් එහිදී ලකුණු 652ක් රැස්කර ගැනීමට සමත්ව ඇත. ඒ අතර 2013 වසරේ දී එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව පන්දු 155කදී නොදැවී වාර්තා කරගත් ලකුණු 189*ද ඇතුළත්ය.

“මං එංගලන්තය වගේ තණතීරු තිබෙන රටවල් වල ක්‍රීඩා කරන්න ගොඩාක් කැමතියි. මොකද එහේ තියෙන තණතීරු අපේ රටේ, ඒ කියන්නේ නවසීලන්තයේ තිබෙන තණතීරු හා ගොඩාක් සමානයි. ඒක නිසා මං එංගලන්තය වගේ නිදහස් තණතීරු වල ක්‍රීඩා කරන්නේ හරිම විනෝදයෙන් වගේම ආදරෙන්. ඉතින් ඒ වගේ තණතීරු වල පැවැත්වෙන තරග නරඹන්න ප්‍රේක්ෂකයෝත් ගොඩාක් කැමතියි…” යැයි නවසීලන්ත මාධ්‍යක් සමඟ පැවති එක්තරා හමුවකදී ගප්ටිල් පවසා තිබේ.

මෙම මස (මැයි) 19 වැනි ඉරිදා දිනයේදී නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම, 12වන වරට පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් එංගලන්තය බලා පිටත්ව යාමට නියමිතව ඇත.

තවද මේ දිනවල එංගලන්ත තණතීරු මත පැවැත්වෙන එංගලන්ත – පාකිස්තානු ක්‍රිකට් තරගාවලිය දෙස ලොව පුරා සිටින ක්‍රිකට් ප්‍රේක්ෂකයින් දෙනෙත් යොමා බලාසිටින්නේ සෑම තරගයක් තුළම දැවැන්ත ලකුණු පුවරු නිර්මාණය වන නිසාවෙනි.

“එංගලන්තයේ තණතීරු ඉතාමත් සමතලා තණතීරු. ඒවා පිතිකරණයට ඉතාමත් හිතකරයි. ඒක නිසා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදීත් ගොඩාක් කණ්ඩායම් ඉතාමත් වැඩි ලකුණු වාර්තා කරගනියි කියලා හිතනවා. අපි මේ දවස් වල ඒ සඳහා පුහුණුවීම් වල නිරත වෙමින් ඉන්නවා. අපේ පන්දු යවන්නනුත් හොඳින් පන්දු යවලා ප්‍රතිවිරුද්ද කණ්ඩායම් වලට හොඳ අභියෝගයක් දෙන්න සූදානමින් ඉන්නේ.” යැයි වැඩිදුරටත් අදහස් දැක්වූ ගප්ටිල් පවසා ඇත.

 

ශ්‍රී ලංකාවට එරෙහි ස්කොට්ලන්ත සංචිතය නිකුත් වේ

සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා ස්කොට්ලන්ත…


නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම මෙතෙක් පැවැත්වුණු ලෝක කුසලාන  ක්‍රිකට් තරගාවලි ඉතිහාසය තුළ වඩාත්ම සාර්ථකත්වයට පත්වූයේ 2015 වසරේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තුළදීයි. එය එසේ සාර්ථක කරගැනීම සඳහා වැඩි දායකත්වයක් දැක්වූයේ මාර්ටින් ගප්ටිල් විසින් වන අතර වමතින් පිතිකරණයේ නිරත වන ආරම්භක පිතිකරුවෙකු වන ඔහු තරග 9කදී ලකුණු 547ක් රැස්කිරීමට සමත් වූයේ 68.37ක ලකුණු ලබාගැනීමේ සාමාන්‍යයක් රඳවා ගෙනයි. එහිදී ඔහු රැස්කළ ලකුණු අතර එක් අර්ධ ශතකයක් සහ ශතක දෙකක් ඇතුළත්ව තිබේ.  

එම තරගාවලියේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවති අර්ධ අවසන් පූර්ව තරගයේදී ගප්ටිල් නොදැවී ලකුණු 237*ක් රැස්කර ගැනීමට සමත් වෙමින් ලෝක වාර්තාවක් පිහිටවූයේ මේ දක්වා පැවැත්වුණු ලෝක කුසලාන ක්‍රිකට් තරගයක් තුළ ක්‍රීඩකයෙක් ලබාගත් වැඩිම පුද්ගලික ලකුණු ප්‍රමාණයට හිමිකම් කියමිනි.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමට පෙර ඉන්දියාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පුහුණු ක්‍රිකට් තරග දෙකක් සඳහා නවසීලන්ත කණ්ඩායම සහභාගී වීමට නියමිතය. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නවසීලන්ත කණ්ඩායම සහභාගී වන පළමු තරගය ජුනි මස 01 වැනිදා ශ්‍රී ලංකාව සමඟ කාර්ඩිෆ් හිදී පැවැත්වේ.


                                           >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<