බුවනෙක සහ විරේන් මාලදිවයිනේ දී වැඩ පෙන්වයි

LI-NING Maldives International Challenge 2023

177

මාලදිවයිනේ පැවැත්වෙන LI-NING Maldives International Challenge 2023 තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් වන බුවනෙක ගුණතිලක සහ විරේන් නෙත්තසිංහ විසින් තරගාවලියේ තෙවැනි ස්ථානය දිනා ගැනීමට සමත් වුනා.

තරගාවලිය පුරාවට ඉහළ දස්කම් දක්වමින් ප්‍රබල ප්‍රතිවාදීන් රැසකට දැඩි අභියෝගයක් එල්ල කරමින් කැපී පෙනෙන තරග රටාවක් පෙන්නුම් කිරීමට ඔවුන් දෙදෙනාට හැකි වුනා.

බැඩ්මින්ටන් පිටියේ ප්‍රබල යුගල ක්‍රීඩකයින් රැසක් පරාජය කරමින් අවසන් පූර්ව වටයට පිවිසි ඔවුන් දෙදෙනා එම වටයේ දී මැලේසියා ක්‍රීඩකයින් වන Low Hang Yee සහ Masng Eng Cheong හමුවේ පරාජය වුනා. ඒ 11-21ක්  සහ 10-21 ලෙසයි.

මැලේසියානු ක්‍රීඩකයින් අවසන් මහා තරගයේ දී තායිලන්ත ක්‍රීඩකයින් වන Pharanyu Kaosamaang සහ Thaworrapol Thongsa-Nga හමුවේ පරාජයට පත් වුනේ ලකුණු 21-19 ක් සහ 21-16ක් ලෙසයි.

තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ඉන්දීය කණ්ඩායම වන Deep Rambhiya සහ  Akshan Shetty සමඟ තරග වැදුණු අතර ඔවුන් එම තරගය තියුණු සටනකින් පසුව තරග වට 2-1 (21-15, 13-21 සහ 21-17) ලෙස ජයග්‍රහණය කළා.

බුවනෙක සහ විරේන් දෙවැනි වටයේ දී තරග වැදුණේ Pongsakorn Thongkham සහ Wongsathorn Thongkham සමඟයි. ඉතා තියුණු මුහුණුවරක් ගත් එම තරගය ඔවුන් තරග වට 2-1ක් (21-19, 17-21 සහ 21 -19) ලෙස ජයග්‍රහණය කළා.

කැනේඩියානු ප්‍රබල ක්‍රීඩකයින් යුගලයක් වන Kevin Lee සහ Ty Alexander සමඟ අර්ධ අවසන් පූර්ව වටයේ තරග වැදි ශ්‍රී ලංකා ක්‍රීඩකයින් එහි මුල් වටය 15-21ක් ලෙස පරාජයට පත් වූවත් අනෙක් වට පිළිවෙළින් 21-15ක් සහ 21-19 ලෙස ජයග්‍රහණය කරමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තා.

අවසන් පූර්ව වටයේ දී පරාජයට පත් වීමට සිදු වූවත් මෙම තරගාවලිය පුරාවට බුවනෙක ගුණතිලක සහ විරේන් නෙත්තසිංහ දැක්වූ දස්කම් කැපී පෙනුණා.

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ නවතම පුවත් එසැණින් දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟ.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<