කන්ෆෙඩරේෂන්ස් කුසලානය ජර්මනියට

228
Photo courtesy - Skysports.com

2017 කන්ෆෙඩරේෂන්ස් කුසලානය ජයග්‍රහණය කිරීමට ලෝකශූර ජර්මානු කණ්ඩායම සමත් විය. ශූරතා තරගයේදී ඔවුන් අතින් ගෝල 1-0ක් ලෙස පරාජය වූයේ චිලී රාජ්‍යයයි.

අවසන් පූර්ව තරගයේදී පෘතුගාලය 3-0ක් වශයෙන් පරාජය කරමින් චිලී දේශය අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගත් අතර ජර්මනිය අතින් මෙක්සිකෝව පරාජය වූයේ ගෝල 4-1ක් ලෙසිනි.

අවසන් මහා තරගයේදී වාර්තා වූ එකම ගෝලය ජර්මනියේ ලාස් ස්ටින්ඩ්ල්ගේ පාදයෙන් වාර්තා වූයේ චිලී මැදපෙළ ක්‍රීඩක මාසෙලෝ ඩියෙස් සිදුකළ අත්වැරැද්දක වාසිය මනාව ලබා ගනිමිනි. තරගය ඉතාමත් උණුසුම් එකක් වූයේ චිලී කණ්ඩායමේ උත්සාහය නොනවතින එකක් වූ හෙයිනි. කෙසේ වෙතත් තරගය අවසාන වනතෙක් එක් ගෝලයක පරතරය රැක ගනිමින් ජර්මනිය ශූරතාව හිමිකරගත්තේය.      

ලොව පුරා පැවති කලාපීය පාපන්දු තරගාවලි ජයග්‍රහණය කළ ජාත්‍යන්තර කණ්ඩායම් 8කගේ සහභාගීත්වයෙන් තරගාවලිය පැවැත්වුණේ රුසියාවේදීයි. එය ඉතිහාසයේ 10 වැනි කන්ෆෙඩරේෂන්ස් කුසලාන තරගාවලියයි. 2014 ලෝක ශූරයන් වූ ජර්මනිය, ආසියානු කුසලානය ජයග්‍රහණය කළ ඕස්ට්‍රේලියාව, කෝපා ඇමරිකා ජයග්‍රාහකයන් වූ චිලී දේශය, උතුරු ඇමරිකානු ජයග්‍රාහකයන් වූ මෙක්සිකෝව, ඕෂනියා කුසලාන ජයග්‍රාහකයන් වූ නවසීලන්තය, යුරෝ කුසලාන ජයග්‍රාහකයන් වූ පෘතුගාලයත්, අප්‍රිකානු කුසලානය ජයග්‍රහණය කළ කැමරුන් රාජ්‍යයත් මෙම තරගාවලියට සහභාගී වූ අතර සත්කාරක රට වශයෙන් රුසියාවටද තරගාවලියේ ඉඩ විවර විය.

කන්ෆෙඩරේෂන්ස් ශූරතාවය දිනා ගැනීමත් සමඟින් ජර්මනිය, 2014 ලෝක ශූරයන් වන තම ජාත්‍යන්තර පාපන්දු ආධිපත්‍ය නිමා නොවී ඇතිබව නැවතත් තහවුරු කරන ලදී.

 තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට