සැබෑ තුන් ඉරියව් ක්‍රීඩකයින් අවශ්‍යයි!

743

ක්‍රිකට් ක්‍රීඩාව කෙමෙන් කෙමෙන් පිතිකරුවන්ගේ ක්‍රීඩාවක් බවට පත්වෙමින් තිබෙන සේයාවක් දිස්වන අතර ඒ අනුව කණ්ඩායමක් තුළ තුන් ඉරියව් ක්‍රීඩකයින් සිටීමේ අවශ්‍යතාවය කවරදාටත් වඩා ඉහළ ගොස් ඇත.

හතුරුසිංහගේ නව එක්දින සැලැස්ම

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහගේ ආගමනය…

හර්දික් පාන්ඩ්‍යා, රවිචන්ද්‍රන් අෂ්වින්, ශකීබ් අල් හසන් සහ ෂොයිබ් මලික් වැනි ක්‍රීඩකයින් සිය කණ්ඩායම් වෙනුවෙන් තුන් ඉරියව්වෙන්ම දක්‍ෂතා දක්වන ආකාරයෙන්, තුන් ඉරියව් ක්‍රීඩකයින් කණ්ඩායමකට ගෙන එන සමබරතාවය මැනෙවින් දැකගත හැකිය. විශේෂයෙන් අෂ්වින් අංක 6 ස්ථානයේ පිතිකරුවෙක් ලෙස ඉහළ දක්‍ෂතා දැක්වීම හරහා ඉන්දියාවට ටෙස්ට් තරගවල දී විශේෂඥ පිතිකරුවන් 5 දෙනෙකුගෙන් පමණක් ක්‍රීඩා කිරීමේ හැකියාව ලැබී ඇත. කෙසේ නමුත් ඔවුන්ගේ මෙම උපක්‍රමය විදේශ රටවල ක්‍රීඩා කිරීමේ දී ක්‍රියා කරන්නේ කෙසේ දැයි දැක ගැනීමට තවමත් අවස්ථාවක් ලැබී නොමැත.

අතීතයේ දී තුන් ඉරියව් ක්‍රීඩකයින් වැඩි වශයෙන් දැක ගත හැකි වූයේ සීමිත පන්දුවාර තරගවල දී ය. නමුත් බෙන් ස්ටෝක්ස්, මොයින් අලි සහ රවීන්ද්‍ර ජඩේජා වැනි තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ සාර්ථකත්වය හරහා ටෙස්ට් තරගවල දී ද තුන් ඉරියව් ක්‍රීඩකයින් කණ්ඩායමකට අත්‍යාවශ්‍ය බව මේ වන විට පසක් වී ඇත.

මේ වන විට පැවැත්වෙමින් තිබෙන එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර අළු බඳුන ක්‍රිකට් තරගාවලියේ දී එංගලන්තයට මේ බව හොඳින් වැටහෙන්නට ඇත. තරගාවලිය ආරම්භයට සති කිහිපයකට පෙර ඔවුන්ගේ ප්‍රමුඛ පෙළේ තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටෝක්ස් තරගාවලියෙන් ඉවත් කෙරුණු අතර ඔහුගේ අඩුවත් සමඟ, ඔවුන් තරගාවලියේ මේ තාක් ඕස්ට්‍රේලියානු කණ්ඩායමට කිසිදු අභියෝගයක් එල්ල කරන්නට අසමත්ව ඇත. ස්ටෝක්ස් කණ්ඩායමේ ක්‍රීඩා කළත් එංගලන්තය තරග 3-0ක් ලෙස තරගාවලියේ පසුපසින් සිටිනු ඇතැයි කෙනෙකුට තර්ක කළ හැකිය. නමුත් ඔහුගේ අඩුව කණ්ඩායමේ සමබරතාවයට එල්ල කර ඇති බලපෑම ඕනෑම කෙනෙකුට හොඳින් තේරුම් ගත හැකිය.

ස්ටෝක්ස් වැනි ක්‍රීඩකයින් අපට සැබෑ තුන් ඉරියව් ක්‍රීඩකයින් වශයෙන් හඳුනා ගත හැක. ඉන් අදහස් කෙරෙන්නේ ඔහුට විශේෂඥ පිතිකරුවෙක් ලෙස හෝ වේගපන්දු යවන්නෙක් ලෙස කණ්ඩායමට සිය දායකත්වය ලබා දිය හැකි බවයි.

නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් නුවර උපත ලැබූ ස්ටෝක්ස්ගේ හැකියාවන් කුඩා කාලයේ සිටම කැපී පෙනෙන්නට විය. කනිෂ්ඨ සහ ප්‍රාන්ත තරගාවලිවල දී ඔහු නිරන්තරයෙන් ඉහළ දක්‍ෂතා දැක්වීමට සමත් වූ අතර ඒ අනුව ඔහු 2011 වසරේ දී එංගලන්ත ජාතික කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමේ භාග්‍යය ලබයි.

ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවට නත්තල් තෑග්ගක්

උඳුවප් සීතලේ වෙළෙමින් ලොවක් අවදියෙන් නත්තල සපැමිණෙන තුරු බලා සිටිය…

කෙසේ නමුත් ඔහු සියලු දෙනාගේ අවධානය තමන් වෙත යොමුකර ගන්නට සමත් වූයේ 2013/14 අළු බඳුන තරගාවලියේ තුන්වන තරගයේ දී සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කරගනිමින් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කිරීමත් සමඟයි. එම තරගාවලියේ දී එංගලන්ත කණ්ඩායම තරග 5-0ක් ලෙස පූර්ණ තරගාවලි පරාජයකට මුහුණ දුන්නත්, තරගාවලිය තුළ එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් ස්ටෝක්ස් දැක්වූ දක්‍ෂතා ඉතා ඉහළ තත්වයක පැවතිණ. එහි දී සමස්ත තරගාවලිය තුළ ඔහු කඩුලු 15ක් දවා ගන්නට සමත් වූ අතර අනෙක් පසින් ලකුණු 279ක් ද ඔහු වාර්තා කර ගත්තේ තරගාවලියේ තෙවන වැඩිම ලකුණු ලාභියාට හිමි ස්ථානය ද හිමි කර ගනිමිනි.

එතැන් පටන් ඔහු ටෙස්ට් තරග 39කට ක්‍රීඩා කර ඇති අතර එහි දී ඔහු ලකුණු 2500කට අධික සංඛ්‍යාවක් වාර්තා කරගෙන ඇත්තේ 35ක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් පවත්වා ගනිමිනි. එමෙන්ම එහි දී ඔහු කඩුලු  95ක් ද දවා ගන්නට සමත්ව ඇත. තවදුරටත් ඔහු අවස්ථාවන් 5ක දී තරගයේ වීරයා සම්මානය දිනා ගැනීමට සමත් වී ඇති අතර ඒ හරහා තරගයකට ඔහු වැනි ක්‍රීඩකයෙක්ගෙන් එල්ල විය හැකි බලපෑම හොඳින් පැහැදිලි වේ. මේ ආකාරයට සීමිත පන්දුවාරවල දී ද ඉහළ දක්‍ෂතා දැක්වීමට ඔහු සමත් වී ඇති අතර ඒ හරහා ප්‍රබල එංගලන්ත කණ්ඩායමට අත්‍යාවශ්‍ය ක්‍රීඩකයෙක් ලෙස කණ්ඩායමේ සිය ස්ථානය වෙන්කර ගැනීමට ඔහු සමත්ව ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් එවන් සේවයක් ඉටු කිරීමට ඇන්ජෙලෝ මැතිව්ස් හට හැකි වනු ඇතැයි බොහෝ දෙනෙක් විශ්වාස කළත් ඔහු නිරන්තර ආබාධවලට ලක්වීම ඔහුට ඊට බාධකයක් වී ඇත.

අතිදක්‍ෂ, ඕනෑම අවස්ථාවකට හොඳින් අනුවර්තනය වීමට හැකියාවක් ඇති මැතිව්ස්, ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ටතම ක්‍රීඩකයින් අතරට එක්වනු ඇතැයි ඉඟි පලකළේ ඔහු අවුරුදු 16 වැනි අඩු වයසක දී, වයස අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කිරීමත් සමඟයි. ඉන් අනතුරුව ඔහු 2006 වසරේ දී වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලිය සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය ද දැරීය.

උපුල් තරංග පසුකර දිනුක දිල්ශාන් ඉදිරියට

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ දිනුක දිල්ශාන්, ධර්මාශෝක විද්‍යාලයේ ක්‍රීඩකයෙකු…

අනතුරුව ජාතික කණ්ඩායම තුළ ඔහු දැක්වූ දක්‍ෂතා හමුවේ එහි ද නායකත්වය හිමිකර ගැනීමට ඔහු සමත් වූ අතර එහි දී ඔහුට මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර, ටී. එම්. ඩිල්ශාන් වැනි ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ටතම ක්‍රීඩකයින්ගෙන් සමන්විත කණ්ඩායමට නායකත්වය ලබා දීමේ භාග්‍යය හිමි විය. ඔහු කණ්ඩායමේ නායකත්වය දැරූ සමයේ දී ඔහු නායකයෙක් වශයෙන් ඉහළ දක්‍ෂතා ප්‍රදර්ශනය කරන්නට සමත් වූ අතර තරග ජයග්‍රහණය කරා කණ්ඩායම මෙහෙයවීමට ඔහු දැක්වූ සුවිශේෂී දක්ෂතාවය බොහෝ දෙනාගේ ගෞරවයට පාත්‍ර වන්නට ද විය.

කෙසේ නමුත් මැතිව්ස්ගේ සැබෑ වටිනාකම කණ්ඩායමට එක්වන්නේ මඳ වේගපන්දු යවන්නෙක් ලෙස පන්දුවාර කිහිපයක් යොමු කිරීමට ඔහු දක්වන දක්‍ෂතාවය හරහා ය. එමෙන්ම ඉන්දියාව සමඟ පැවති එක්දින තරගාවලියේ දී නව පන්දුවෙන් ඔහු පන්දු යවන ආකාරය ද හොඳින් දැක ගත හැකි විය. ශ්‍රී ලංකා කණ්ඩායමේ මේ වන විට සිටින හොඳම පිතිකරුවා ද මැතිව්ස් වන බැවින් ඔහු තරගයක දී පන්දුවාර 5-6ක ප්‍රමාණයක් හෝ යොමු කිරීම කණ්ඩායමට අතිශය වැදගත් වේ.

ඔහුගේ ක්‍රිකට් දිවිය පුරාවට ඔහුට බාධකයක් වූයේ ඔහු මුහුණ දෙන ආබාධ යි. නමුත් ශ්‍රී ලංකාව සතුව මේ වන විට සිටින එකම සැබෑ තුන් ඉරියව් ක්‍රීඩකයා මැතිව්ස් බව හඳුනා ගත හැක.

ඒ අනුව ශ්‍රී ලංකාව තුන් ඉරියව් ක්‍රීඩකයින් බිහි කිරීමේ දී බොහෝ දුරට අසමත් වී ඇත. මීළඟ ජැක්ස් කලිස් කෙනෙකු හෝ සනත් ජයසූරිය කෙනෙකු සොයා ගැනීමේ අභිප්‍රාය ඇතිව ශ්‍රී ලංකාව තුන් ඉරියව් ක්‍රීඩකයින් විශාල ප්‍රමාණයක් යොදා ගනිමින් අත්හදා බැලීම් සිදු කර ඇත.

මේ වන විට ශ්‍රී ලංකා සීමිත පන්දුවාර කණ්ඩායමේ නායකත්වය දරන තිසර පෙරේරාගේ සිට බොහෝ දෙනාගේ කතාබහට ලක්වූ දසුන් ශානක දක්වා තුන් ඉරියව් ක්‍රීඩකයින් රැසක් කණ්ඩායමට පැමිණ අනතුරුව කණ්ඩායමේ ස්ථානය අහිමි කර ගත් අතර ඒ කිසිවෙක් සැබෑ තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ලෙස කණ්ඩායමේ සිය ස්ථානය තහවුරු කර ගැනීමට සමත් වූයේ නැත.

ඉතින් මේ සඳහා තේරීම් කමිටුව කුමක් කරන්නේ ද? පෙනී යන අන්දමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ක්‍රියා පටිපාටිය වී ඇත්තේ කළ හැකි සෑම දෙයක්ම සුළුවෙන් හෝ කළ හැකි ක්‍රීඩකයින් තෝරා ගැනීමයි. ඒ අනුව පෙනී යන්නේ තරග ජයග්‍රහණය කිරීම සඳහා ප්‍රබල බලපෑමක් එල්ල විය යුතු බවත්, එහි දී ශ්‍රී ලංකා කණ්ඩායම සතුව පවතින අඩුපාඩුව දක්‍ෂ තුන් ඉරියව් ක්‍රීඩකයින් නොමැතිකම බවත් තේරුම් ගැනීමට ඔවුන් අපොහොසත් වී ඇති බවයි.

සුළු වශයෙන් පන්දුවට පහර දිය හැකි හා සුළු වශයෙන් පන්දු යැවිය හැකි නමුත්, විශේෂඥ පිතිකරුවෙක් ලෙස හෝ පන්දු යවන්නෙක් ලෙස කණ්ඩායමට ඇතුළත් විය නොහැකි ක්‍රීඩකයින් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන ආකාරය අපට සුලභව දැක ගත හැකිය. මෙතෙක් යොදා ගත් තුන් ඉරියව් ක්‍රීඩකයින් විශේෂඥ පිතිකරුවෙක් ලෙස හෝ පන්දු යවන්නෙක් ලෙස කණ්ඩායමට සිය දායකත්වය ලබා දීමට අපොහොසත්ව ඇති බැවින් ශ්‍රී ලංකා කණ්ඩායම සතුව පවතින සැබෑ තුන් ඉරියව් ක්‍රීඩකයෙකුගේ අඩුපාඩුව මැනෙවින් ඉස්මතු වී ඇත.

පරිවර්තනයකි – Genuine all-rounders, the need of the hour

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<