19න් පහළ ලෝක කුසලානයට ගිය සිම්බාබ්වේට අකරතැබ්බයක්

2858

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ICC වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් 4 දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදන වී බව ඇති එරට ක්‍රිකට් ආයතනය විසින් සනාථ කර තිබෙනවා.

පසුගිය ඉරිදා (02) අවසන් වූ අයර්ලන්තය සමඟ පැවති යොවුන් එක්දින තරගාවලිය සඳහා ක්‍රීඩා කළ සංචිතය නියෝජනය කළ එම ක්‍රීඩකයින් 4 දෙනා ඉකුත් සඳුදා (03) උදෑසන PCR පරීක්ෂණයක් සඳහා යොමු කර තිබුණා.

ක්‍රීඩකයින් 4 දෙනා කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වන නමුත් ඔවුන් මේ වන විට නිරෝධායනය සඳහා යොමු කර තිබෙනවා. ඉදිරියේ දී පැවැත්වීමට නියමිත සිම්බාබ්වේ කණ්ඩායමේ පෙර පුහුණු තරගවලට පෙර ඔවුන් සිව්දෙනා නැවතත් පරීක්ෂණයට ලක් කිරීමට නියමිතයි.

‘ඔවුන් මේ වන විට ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙන අතර නැවතත් ඔවුන්ව පරීක්ෂණයට ලක් කිරීමෙන් අනතුරුව ඔවුන්ට කණ්ඩායම සමඟ එකතු විය හැකි. සිම්බාබ්වේ කණ්ඩායම මේ වන විට St Kitts සහ Nevis හි සිටින අතර ඔවුන් ඉදිරියේ දී කැනඩාව සහ බංග්ලාදේශය සමඟින් සිය නිල පෙර පුහුණු තරග සඳහා තරග කිරීමට නියමිතයි. එම තරග එළඹෙන 9 සහ 11 දිනවල Basseterre හිදි පැවැත්වෙනු ඇත”, යනුවෙන් සිම්බාබ්වේ ක්‍රිකට් විසින් නිකුත් කරන ලද නිවේදනයක සඳහන්.

ICC 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ජනවාරි 14 වැනිදා සිට පෙබරවාරි 5 වැනිදා දක්වා බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල දී පැවැත්වීමට නියමිතයි. සිම්බාබ්වේ කණ්ඩායම එහි දී C කාණ්ඩය යටතේ තරග වදින අතර ඇෆ්ගනිස්තානය, පාකිස්තානය සහ පැපුවා නිව්ගීනියාව එම කාණ්ඩය නියෝජනය කරන සෙසු රටවල් වනවා.

තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව D කාණ්ඩයෙන් තරග වදින අතර ශ්‍රී ලංකාව ඉකුත් 2 වැනිදා කොදෙව් දූපත් වෙත ගොස් තිබුණා.

ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමේ ලෝක කුසලාන තරග කාලසටහන,

  • ස්කොට්ලන්තය – ජනවාරි 14 – Guyana හිදී
  • ඕස්ට්‍රේලියාව – ජනවාරි 17 – Saint Kitts and Nevis හිදී
  • බටහිර ඉන්දීය කොදෙව් – ජනවාරි 21 – Saint Kitts and Nevis හිදී

තරගාවලියේ සියලුම තොරතුරු ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සූදානමින් රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<