හිටපු සුපිරි කොදෙව් ක්‍රීඩකයාට චෝදනාවක්

334

හිටපු බටහිර ඉන්දීය සුපිරි තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක Marlon Samuels එක්සත් අරාබි එමීර් රාජ්‍ය ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී පනතේ නීති 4ක් කඩ කර ඇති බව අනාවරණය වී ඇති නිසාවෙන් ඔහුට එරෙහිව චෝදනා ගොනු කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අද (22) තීරණය කර තිබෙනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී අංශය විසින් අනාවරණය කරන පරිදි T10 ලීගය තුල දූෂණ විරෝධී පනතේ පහත සඳහන් කර ඇති වගන්ති 4 Marlon Samuels විසින් උල්ලංඝනය කර ඇති බවට චෝදනා ලැබ තිබෙනවා.

දූෂණ විරෝධී පනතේ 2.4.2 වගන්තිය උල්ලංඝනය කිරීම – නම් කරන ලද දූෂණ විරෝධී නිලධාරියාට හෙළි කිරීමට අපොහොසත් වීම, සහභාගීවන්නා හෝ ක්‍රිකට් ක්‍රීඩාව අපකීර්තියට පත් විය හැකි යම් අවස්ථාවක දී තෑග්ගක්, ගෙවීමක්, ආගන්තුක සත්කාරයක් හෝ වෙනත් ප්‍රතිලාභයක් ලැබීම හෝ ලබා දීම.

දූෂණ විරෝධී පනතේ 2.4.3 වගන්තිය උල්ලංඝනය කිරීම – ඇමරිකානු ඩොලර් 750ක් හෝ ඊට වැඩි වටිනාකමකින් යුත් රෝහල් පහසුකම් ලබා ගැනීම (hospitality) පිළිබඳව නිල ලදුපතක් හෙළි කිරීමට අපොහොසත් වීම.

දූෂණ විරෝධී පනතේ 2.4.6 වගන්තිය උල්ලංඝනය කිරීම් – දූෂණ විරෝධී නිලධාරියාගේ විමර්ශනය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට අපොහොසත් වීම.

දූෂණ විරෝධී පනතේ 2.4.7 වගන්තිය උල්ලංඝනය කිරීම – දූෂණ විරෝධී ඒකකය සඳහා තොරතුරු ලබා දීම ප්‍රමාද කිරීම, දූෂණ විරෝධී ඒකකය සමඟ පැවැත්වුණු පරීක්ෂණවල දී සහයෝගයෙන් කටයුතු නොකිරීම හෝ ඔවුන්ගේ ප්‍රශ්න සඳහා නිසි පිළිතුරු  නොදීම.

මෙම තුන් ඉරියව් ක්‍රීඩකයා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් තරග 71ක්, එක්දින තරග 207ක් සහ විස්සයි 20 තරග 67ක් ක්‍රීඩා කරමින් සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ දී මුළු ලකුණු 11,134ක් සහ කඩුලු 152ක් ලබා ගෙන තිබෙනවා.

Samuels හට ඊයේ (21) සිට දින 14ක් ඇතුළත ඔහුට එරෙහිව ගොනු වී ඇති චෝදනාවලට එරෙහිව පිළිතුරු ලබා දිය යුතු අතර එසේ නොවුනහොත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අදාළ ඉදිරි කටයුතු සඳහා පියවර ගනු ලබනවා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<