MCC ගෞරව සාමාජික ලැයිස්තුවට ශ්‍රී ලාංකිකයෙක්

236

MCC හෙවත් Marylebone Cricket Club විසින් පිරිනමන ගෞරවනීය සාමාජිකත්වය (Honorary Life Membership) සඳහා හිටපු ශ්‍රී ලංකා වමත් දඟපන්දු යවන ක්‍රීඩක රංගන හේරත් වෙත පිරිනමා තිබෙනවා.

සෑම වසරක දී ම ලොව ප්‍රමුඛ පෙළේ ක්‍රිකට් ක්‍රීඩකයන් සඳහා මෙම ගෞරව සාමාජිකත්වය පිරිනමන අතර 2021 වසරේ දී ඒ සඳහා ක්‍රීඩකයන් 18 දෙනෙකු නම් කර තිබුණා. රංගන හේරත් මෙම Honorary Life Members ලැයිස්තුවට එක්වූ 15 වැනි ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වනවා.

1978 වසරේ දී උපත ලැබූ රංගන හේරත් ශ්‍රී ලංකා කණ්ඩායමට පිවිසෙන්නේ 1999 වසරේ දීයි. ඒ 78 වැනි ටෙස්ට් ක්‍රීඩකයා ලෙසින්. ඉන් අනතුරුව 2004 වසරේ දී එක්දින වරම් හිමිකර ගැනීමටත් ඔහු සමත් වුනා.

විශේෂඥ දඟපන්දු යවන්නෙකු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ රංගන හේරත් ලොව වැඩිම ටෙස්ට් කඩුලු ප්‍රමාණයක් දවා ගත් වමත් දඟපන්දු යවන්නා ද වනවා. සිය ටෙස්ට් දිවිය තුළ කඩුලු 433ක් ලබාගෙන ඇති ඔහු ටෙස්ට් කඩුලු 400 සීමාව ඉක්මවූ එකම වමත් දඟපන්දු යවන්නා ද වෙනවා.

2018 වසරේ දී ඔහු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ ලොව සාර්ථකම වමත් පන්දු යවන්නා බවට පත්වන අතර 2019 වසරේ දී සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය නිමා කරන තුරුම ඔහු දෙවැනි වූයේ ශ්‍රී ලංකා ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ට පමණි.

රංගන හේරත්ගේ ටෙස්ට් කඩුලු 433 අතරට කඩුලු 5 බැගින් දවා ගත් අවස්ථාවන් 34ක් වාර්තා වන අතර එය ලොව දෙවැනි වැඩිම කඩුලු 5 බැගින් ලබා ගත් අවස්ථා සංඛ්‍යාවයි.

පසුගිය ජුනි මාසයේ දී බංග්ලාදේශ ජාතික කණ්ඩායමේ දඟපන්දු පුහුණුකරු ලෙස ද රංගන හේරත් එක්වුනා.

MCC විසින් නම් කළ Honorary Life Members ලැයිස්තුව සඳහා ක්‍රීඩකයන් 18 දෙනෙකු ඇතුළත් වුනා.

Hashim Amla (දකුණු අප්‍රිකාව), Ian Bell (එංගලන්තය), Ian Bishop (බටහිර ඉන්දීය කොදෙව්), Alex Blackwell (ඕස්ට්‍රේලියා), Shivnarine Chanderpaul (බටහිර ඉන්දීය කොදෙව්), Alastair Cook (එංගලන්තය), Grant Flower (සිම්බාබ්වේ), Herschelle Gibbs (දකුණු අප්‍රිකාව), රංගන හේරත් (ශ්‍රී ලංකාව), Jacques Kallis (දකුණු අප්‍රිකාව), Damien Martyn (ඕස්ට්‍රේලියාව), Sara McGlashan (නවසීලන්තය), Morne Morkel (දකුණු අප්‍රිකාව), Ramnaresh Sarwan (බටහිර ඉන්දීය කොදෙව්), Harbhajan Singh (ඉන්දියාව), Javagal Srinath (ඉන්දියාව), Sarah Taylor (එංගලන්තය), Marcus Trescothick (එංගලන්තය).

2021 වසරට අදාළ ක්‍රීඩක ලැයිස්තුව ප්‍රකාශයට පත්කරමින් MCC හි ප්‍රධාන විධායක නිලධාරි සහ ලේකම් වන Guy Lavender අදහස් දක්වා සිටියා.

අපි ගොඩක් සතුටු වෙනවා අපේ නව ගෞරව සාමාජිකයන් පිළිගන්න. අද අපි මේ නම් කළ ක්‍රිකට් ක්‍රීඩකයන් මේ පරම්පරාවේ විශිෂ්ටතම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයන්. අපි ගොඩක් ආඩම්බර වෙනවා ඔවුන් අපේ ගෞරව සාමාජිකයන් විදිහට එක්වීම ගැන.”

රංගන හේරත්ට පෙර MCC ගෞරව සාමාජිකයන් ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් වන දුලිප් මෙන්ඩිස්, සිදත් වෙත්තමුණි, MN මොහොමඩ්, රොශාන් මහානාම, රන්ජන් මඩුගල්ල, අරවින්ද ද සිල්වා, අර්ජුන රණතුංග, හශාන් තිලකරත්න, මුත්තයියා මුරලිදරන්, කුමාර් සංගක්කාර, කුශිල් ගුණසේකර, මාවන් අතපත්තු, චමින්ද වාස් සහ මහේල ජයවර්ධන නම් කර තිබුණා.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<