Smithගේ උප නායකත්වය ගැන විවේචනයක්

363

ඕස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ Tim Paine ඉන් ඉල්ලා අස්වීමට තීරණය කිරීමෙන් අනතුරුව ඕස්ට්‍රේලියා කණ්ඩායමේ නායකත්වය වේගපන්දු යවන ක්‍රීඩක Pat Cummins වෙත හිමි වුනා. කණ්ඩායමේ උප නායකත්වය Steve Smithට හිමි වී තිබූ අතර ඒ පිළිබඳව බොහෝ දෙනාගේ විවේචන එල්ල වී තිබීම විශේෂත්වයක්.

Steve Smith උපනායකයා ලෙස පත් කිරීම පිළිබඳව හිටපු ඕස්ට්‍රේලියානු ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයෙකු වන Ian Chappell ද පසුගිය දා අදහස් දක්වා සිටියා. එහි දී ඔහු මෙම පත්කිරීම පිළිබඳව ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනයට සිය අප්‍රසාදය පල කර තිබුණා.

2018 වසරේ දී දකුණු අප්‍රිකානු ටෙස්ට් තරගයක් අතරතුර පන්දුව පළුදු කිරීම සම්බන්ධයෙන් එවකට ඕස්ට්‍රේලියානු නායකයා වූ Steve Smith, උපනායකයා වූ David Warner සහ Cameron Bancroft වෙත චෝදනා එල්ල වූ අතර ඉන් වැරදිකරු වූ ඔවුන් තිදෙනාට වසරක් දක්වා ජාත්‍යන්තර තරග තහනමක් පනවා තිබුණා. Smith සහ Warner නැවතත් ඕස්ට්‍රේලියා කණ්ඩායමට පිවිසියේ ඉන් අනතුරුවයි.

කෙසේ වෙතත් ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය විසින් Smith උපනායකයා ලෙස පත්කිරීමට ගෙන ඇති තීරණය පසුපස ඇති තර්කය තමාට නොතේරෙන බව Ian Chappell පවසා තිබෙනවා. උපනායකයා ලෙස මීට පෙර කටයුතු කළ David Warnerට වඩා Smith ඒ සඳහා සුදුසු වන්නේ කෙසේ දැයි Chappell එහි දී විමසා සිටියා.

“මූලිකවම මට ප්‍රශ්නයක් තියනවා. David Warnerගේ දඬුවමට වඩා Steve Smithගේ දඬුවම වෙනස් වෙන්නේ කොහොමද? ඒ මොනවා වුනත් මම හිතන්නේ Smithගේ අපරාධය Warnerට වඩා වැඩියි කියලයි. යම් වංචාවක් සිදු වෙද්දී නායකයා කියනවා නම් මට ඒක දැන ගන්න උවමනාවක් නැහැ කියලා ඒක වැරදි දෙයක්. නායකයා ඒ ගැන දැනගන්න ඕනේ. ඔහු ඒ ගැන හොයන්න ඕනේ. ඒ වගේම ඒක නවත්වන්න ඕනේ”, 2GB Wide World ක්‍රීඩා වැඩසටහන හා එක්වෙමින් Ian Chappell පවසා තිබෙනවා.

Steve Smith සහ David Warner සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් සිදු කර එයට දඬුවම් ලබා දී තිබුණ ද, නායකත්වය සඳහා ඔවුන් සුදුසු බව තමන් විශ්වාස නොකරන බව Chappell එහි දී පවසා සිටියා.

Steve Smithට වසර දෙකක තහනමක් පනවනවා නම් ඒක David Warnerටත් එහෙම වෙන්න ඕනේ. Smithට ජීවිතාන්තාතය දක්වා තහනමක් පනවනවා නම් Warnerටත් එහෙම වෙන්න ඕනේ. වංචාවක් කියන්නේ වංචාවක්. පොඩි හෝ ලොකු හෝ වංචාවක් කියන්නේ වංචාවක්. මගේ මතය ඒකයි.”

තමන් උපනායකයා ලෙස පත්වීම සම්බන්ධයෙන් ඇතිවී ඇති මතෙභේදාත්මක තත්වය පිළිබඳව Steve Smith ද පසුගිය දා අදහස් දක්වා සිටියා.

“මට වසර කීපයකට කලින් නායකයා ලෙස කටයුතු කරන්න අවස්ථාව හිමි වුනා. ඊට පස්සේ මම දඬුවම් විඳලා ක්‍රීඩකයෙක් විදිහට කණ්ඩායමට ආවා. දැන් මට අවස්ථාව ලැබිලා තියනවා උපනායකයා විදිහට Pat Cummins එක්ක කටයුතු කරන්න. මම නිල නොවන නායකයෙක් විදිහට කණ්ඩායමට සහයෝගය දුන්නා. දැන් නිල වශ‍යෙන් ඒක කරන්න පුළුවන්. ඒක මට ලොකු ගෞ‍රවයක්.”

“මම දැක්කා මේ තීරණය ගැන ගොඩක් අය ඍණාත්මක විදිහට කතා කරලා තියනවා. මට ඒක තේරෙනවා සහ මම ඒක පිළිගන්නවා. ඒත් මම පෞද්ගලිකව දන්නවා පසුගිය අවුරුදු 3, 4 කාලය තුළ මම ගොඩක් වෙනස් වුනා. මම මේ වෙද්දී පරිණත ක්‍රීඩකයෙක්. ඒකේ ප්‍රතිඵලයක් විදිහට මම හොඳ නායකයෙක් වෙලා තියනවා. Pat Cummins එක්ක කටයුතු කරන්න මම ආසාවෙන් මඟ බලාගෙන ඉන්නවා”, Steve Smith පවසා සිටියා.

Hindustan Times ඇසුරිනි  

 >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<