හිතුවක්කාර ඉන්දියානුවා ‘විරු පාජී’

119
Pal Pillai /Getty Images

පාසල් ගොස් පැමිණි දිල්ලියේ කුඩා දරුවෙකු සිය පාසල් බෑගය වෙනදාට විසිකර දමන තැනටම තල්ලු කර දැම්මේය. සෑම තත්පරයක්ම ඔහුට මහමෙරක් මෙන් වටී. ඔහුට පමණක් නොව ක්‍රිකට් ආගමක් කරගත් ඔහුගේ අසල්වැසි කුඩා මිතුරන්ට ද පාසලෙන් පිට ගෙවෙන සෑම මොහොතක්ම අතිශය වැදගත් විය. මෙම දරුවන්ට නායකත්වය දුන් විරේන්ද්‍ර සේවාග් දරුවා ඉන්දියානු කණ්ඩායම නියෝජනය කරමින් සෙසු රටවලට මහත් හිසරදයක් වනු ඇතැයි කිසිවෙකු සිතුවේ නැත.

1978 වසරේ ඔක්තෝබර් මස 20 වැනිදා දිල්ලියේ නජෆ්ගර්හීදී විරේන්ද්‍ර සේවාග් උපත ලබන විට ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායම පාකිස්තානයේ ඓතිහාසික සංචාරයක නිරත වෙමින් සිටියහ. 

කුඩා සේවාග්.

කුඩා සේවාග්ගේ මව අසල්වැසි කඩපිළකින් වරක් මිලට ගෙනා ප්ලාස්ටික් පන්දුවත්, පිත්තත් ඔහු සන්තකයේ තිබූ මහා අනර්ඝ වස්තූන් දෙකක් විය.

සේවාග්ගේ කුඩා කාලය සම්පූර්ණයෙන්ම ගෙවුණේ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වීමේ සිහිනයක් ඇතිව වුවද ඔහුගේ පවුල් පසුබිමෙන් පැමිණි දරිද්‍රතාවය මෙන්ම නජෆ්ගර්හී ක්‍රිකට් ක්‍රීඩාවට පැවති පහසුකම් ද ඔහුගේ ගමනට දිරියක් වූයේ නැත. නමුත් ක්‍රිකට් ක්‍රීඩාවට සේවාග්ගේ ඇති ඇල්ම බිඳක් හෝ අඩු කිරීමට ඒ කිසිවකට හැකියාවක් ලැබුණේ නැත.

සේවාග්ගේ පියා ක්‍රිෂාන්ට පිටි ඇඹරුම්හලක රැකියාවක් තිබූ අතර මව ක්‍රිෂ්ණා නිවසෙහි සියලු වගකීම් දැරුවාය. සේවාග්ගේ සහෝදර සහෝදරියන් සියලු දෙනා හොඳින් අධ්‍යාපන කටයුතුවල නිරත වුවද සේවාග්ගේ ක්‍රිකට් ක්‍රීඩාව සමඟ බැඳී යන අනාගතය ගැන මව ක්‍රිෂ්ණාගේ සිතේ යම් චකිතයක් නොතිබුණාම නොවේ.

ක්‍රිකට්වලට මගේ කැමැත්තක් නැහැ – ක්‍රිස් ගේල්

90 දශකයේ ක්‍රිකට් ක්‍රීඩාව උඩු යටිකුරු කළ පිතිකරුවා සනත් ජයසූරිය බව විවාදයකින් තොරව සෑම ක්‍රිකට් විචාරකයෙකුම……

විරේන්ද්‍ර සේවාග් නම් කුඩා දරුවා ලොවක් දිනූ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වීම දක්වා පැමිණි ගමනේ විශාල මෙහෙවරක් කළ චරිතය ලෙස නිසැකයෙන්ම ඔහුගේ මව ක්‍රිෂ්ණා හැඳින්විය හැකිය. තම දරුවාගේ හිත බැඳුණ තැන ක්‍රිකට් බව ක්‍රිෂ්ණා දැන සිටියාය. නමුත් විරුගේ කණ්ඩායම ජයග්‍රහණය කළා විරුගේ කණ්ඩායම පරාජය වූවා යන්නට එහා කිසිවක් ඇය ක්‍රිකට් ක්‍රීඩාව ගැන දැන සිටියේ නැත.

සේවාග් කුඩා කාලයේ ඔහු තමාගේ ක්‍රිකට් ආම්පන්න වලට තරම් වෙනත් කිසිවකට ආදරය කළේ නැත. 

“විරු නිදාගන්නේ ක්‍රිකට් පිත්තත් තුරුළු කරගෙන. බෝලයක් නැතිවුණොත් හරි පිත්ත කැඩුණොත් හරි ඒවා නැවත ලැබෙන තුරු එයා හරිම අමනාපයකින් හිටියේ. 

විරු පාසලේ දී පාපන්දු සහ හොකී ක්‍රීඩා කළත් ඔහුගේ හිත හැමවෙලේම තිබුණේ ක්‍රිකට් එක්ක” සේවාග්ගේ මව ක්‍රිෂ්ණා කියන්නීය.

සේවාග් සමඟ කුඩා කාලයේ ක්‍රීඩා කළ අසල්වැසි දරුවෙකු වූ විනෝද්ට ඇත්තේ ද සේවාග්ගේ ක්‍රිකට් ක්‍රීඩාව ගැන අමුතු මතකයකි.

“මං මුලින්ම බැට් කළොත් විරු මාව ඉක්මනින් දවා ගන්නවා. ඊට පස්සේ දවසෙම මට විරුට බෝල් කරන්න වෙන්නේ. 

ඊට පස්සේ විරු කොන්දේසියක් දැම්මා මට ඔහුව දවා ගන්න බැරිවුණොත් ඔහුගේ පාසල් වැඩ මා විසින් කළ යුතු බවට. මට කාලයක් ගියාම තේරුම් ගියේ ඒක හරි කපටි කොන්දේසියක් බව. මට කවදාවත් විරුව දවා ගන්න ලැබුණේ නැහැ. දවා ගත්තත් ඒ ඉතාම කලාතුරකින්.”

“එක දවසක් මිනිස්සුන් පිරිසක් විරු කරේ තබාගෙන එනවා මම දැක්කා. මම එකවරම බියෙන් තිගැස්සුණා. විරු මොකක් නමුත් වැරදි වැඩක් කරලවත්ද මට එකවරම හිතුණා.

මම පසුව දැනගත්තේ විරු තමාට වයසින් වැඩි ජ්‍යේෂ්ඨ කණ්ඩායමකට එරෙහිව ජයග්‍රහණයක් ලබා ගැනීමට අවසන් ඕවරයේ හයේ පහරක් එල්ල කර ඇති බව. එදා ඔහු වෙනදා පිතිහරඹයේ යෙදෙන තැනට වෙනස් කොට සිය කැමැත්තෙන්ම ගොස් හයේ පහර එල්ල කර තිබුණේ”

සිය පුත්‍රයාගේ ක්‍රිකට් වික්‍රම ගැන ක්‍රිෂ්ණා කියන්නීය.

සේවාග් එදා එල්ල කළ පහර නරඹන්නන් අතිශයින්ම කුල්මත් කරන්නට සමත් විය. නරඹන්නන් අතරින් කිසිවෙකු සේවාග් වෙත රුපියල් සියයක මුදලක් දිගු කළ අතර ඔහු එය ප්‍රතික්ෂේප කළේය. නමුත් පසුව ඉන් රුපියල් දෙකක් ලබා ගන්නට ඔහු තීරණය කර තිබුණි.

ඒ රුපියල් දෙක හිලව් වූයේ හයේ පහරෙන් නැති වූ පන්දුවටය.

රූපවාහිනියෙන් මෙන්ම තමාට වයසින් වැඩි ක්‍රීඩකයින්ගෙන් ද ළාබාල සේවාග් තවදුරටත් ක්‍රිකට් ක්‍රීඩාව උගත්තේය.

ඉන්දියාව 1983 පෘඩෙන්ෂල් ලෝක කුසලානය දිනා ගනු සේවාග්ට මතක ඇතත් එහි වටිනාකම ගැන අවබෝධයක් ඔහුට තිබුණේ නැත. නමුත් සමස්ත ඉන්දියානු ජනයා උත්සවශ්‍රීයෙන් කපිල් දේව් ගෙනා විජයග්‍රහණය සමරනු සේවාග්ට හොඳින් මතකය.

“මම වරක් ක්‍රිකට් පිති හදන්නෙකු සොයා ගොස් විරු වෙනුවෙන් පිත්තක් සදා ඔහුට දුන්නා. එය සෑහෙන කාලයක් ඔහු සමග තිබුණා. මේ කාලය වෙද්දී මට සෑහෙන අහන්නට ලැබුණ දෙයක් විරු ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉහළ දස්කම් දක්වන බව”

සේවාග් වෙනුවෙන් සෑම දිනකම උදේ හතරට අවදි වී දිනය ආරම්භ කරන ක්‍රිෂ්ණා තම පුත්‍රයාගේ දියුණුව ගැන නිරන්තර අවධානයකින් සිටියාය.

උදේ පහට පමණ ගෙදරින් පිටත් වන සේවාග් නැවත නිවසට පැමිණෙන්නේ රාත්‍රී අටත් පසුවීය. ක්‍රිකට් නිසා ඔහුට අතහැරෙමින් තිබූ දේ රාශියකි. පවුලේ විශේෂ අවස්ථා සියල්ල පුහුණුවීම් නිසා හෝ ක්‍රිකට් තරග නිසා ඔහුට අහිමි විය.

සේවාග්ගේ ක්‍රිකට් ගමනේ ත්‍රාසජනක අත්දැකීම් නැතුවා ද නොවේ. වරක් ඔහු ක්‍රිකට් තරගයකට ගොස් මධ්‍යම රාත්‍රිය පසුවන තුරුත් නිවසට නොපැමිණීම ගැන ක්‍රිෂ්ණා සෑහෙන බියට පත්වූවාය.

රාත්‍රියේ පාර දෙස බලා සිටි ක්‍රිෂ්ණාට ක්‍රිකට් ආම්පන්න මල්ල එල්ලා ගෙන ඉතා අපහසුවෙන් ඇවිද එන තම පුත්‍රයා පෙනුණේ ඒ අවස්ථාවේ දී ය.

ටගා පන්නරය ලැබූ හැටි

1965 වසරේ ජුනි මස 02 වැනිදා ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කැන්ටබරි රෝහලේ දී නිවුන් දරු උපතක් සිදු විය.

එදින දහවලේ දිල්ලියේ ෆිරෝෂාහ් කොට්ලා ක්‍රීඩාංගණයේ දී පැවති තරගයක දී ඉතා ඉහළ දස්කම් පෑ සේවාග්ට දිල්ලියේ වෙනත් පෙදෙසක තිබූ දිවා-රාත්‍රි තරගයකට ද ඇරයුම් ලැබී තිබුණි. ක්‍රිකට් ක්‍රීඩාවට එක පයින් දක්වන කැමැත්ත මත එම තරගයට සහභාගී වූ සේවාග් නැවත නිවසට පැමිණෙමින් තිබුණේ අලුයම දෙකටය. 

ඔහුගේ ක්‍රිකට් ක්‍රීඩාවට ඇති ඇල්ම කෙතරම්ද යත් අලුයම දෙකට ගෙදර ආ සේවාග් දිල්ලි නගරයේ කෙළවරක ඇති තවත් තරගයකට සහභාගී වීමට පැය දෙක තුනකින් නිවසින් නික්මුණේ ඉතාම ළාබාල අවධියක දී ම වෘත්තීය ක්‍රීඩකයෙකුගේ ලක්ෂණ පෙන්නුම් කරමිනි.

කුඩා සේවාග් ඔහුගේ සහෝදර සහෝදරියන් මෙන් අධ්‍යාපනයට එතරම් දක්ෂතාවයක් දැක්වූයේ නැත. ඒ ගැන තමන්ගේ මෑණියන් විමසන විට ඔහුට දෙන්නට පිළිතුරු තිබුණේය. කෙදිනක හෝ නම දිනූ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන බව ද තමාගේ අනාගතය ඒ මත රඳා පවතින බව ද සේවාග් නිරන්තරයෙන් පැවසුවේය.

වයස දහසයක් පමණ වෙද්දී ක්‍රමානුකූලව ක්‍රිකට් පුහුණුවක් ලබන්නට ඔහු තීරණය කළේය. තම නිවසින් කිලෝමීටර අටක් දුරකින් ඇති විකාස්පුරි නම් පාසලක පුහුණු දැලක් වෙත ගියේ පා ගමනෙනි. අමර් නාත් ෂර්මා නම් පුහුණුකරුවා සේවාග්ට මුලින්ම මුණ ගැසෙන්නේ එහි දී ය.

“මම මුලින්ම ඔහුගේ විශේෂත්වයක් දැක්කේ නැහැ. නමුත් දින කිහිපයක් යන විට විරු කියන්නේ විශේෂ දක්ෂතා ඇති දරුවෙකු බව මට තේරුණා” අමර් නාත් ෂර්මා පසුකලෙක ප්‍රකාශ කළේය.

සේවාග් සතුව තිබූ තාක්ෂණික දුර්වලතා ක්‍රම ක්‍රමයෙන් නිවැරදි කිරීමට ෂර්මා සමත් වූ අතර ඊට නොදෙවෙනි ආකාරයෙන් තම ක්‍රීඩාව දියුණු කරගැනීමට සේවාග් ද උත්සුක විය. ඩ්‍රයිව් පහර, කට් පහර, පුල් පහර තමාට විශ්වාසයක් දැනෙන තුරුම පුරුදු පුහුණු වීමට ළාබාල සේවාග් මහන්සි විය.

පුහුණුකරු ෂර්මා ක්‍රිකට් ක්‍රීඩාවෙන් එහා ගොස් සේවාග්ගේ අධ්‍යාපන කටයුතු ගැන ද කෙළින්ම මැදිහත් විය. පාසලේ ගුරුවරුන් වෙත ගොස් අමතර පංති වෙත සේවාග් යොමු කිරීමට ද ඔහු කටයුතු කළේය.

ක්‍රිකට් වෙනුවෙන් සම්මාන දිනා

සේවාග් ක්‍රිකට් දියුණුව පාසල් ක්‍රිකට් ක්‍රීඩාවේ ද දිල්ලි ක්‍රිකට් ක්‍රීඩාවේ දී ද පැහැදිලිව පෙනෙන්නට තිබුණි. වැඩි කාලයක් යන්නට මත්තෙන් දිල්ලි දහනමයෙන් පහළ කණ්ඩායමට ද, ඉන්දියානු දහනමයෙන් පහළ කණ්ඩායමත් සමඟ 1998 යොවුන් ලෝක කුසලානයට සහභාගී වන්නට ද සේවාග්ට හැකියාවක් ලැබුණි.

දිගින් දිගටම දැක්වූ දස්කම් නිසාවෙන් දිල්ලි ප්‍රාන්ත කණ්ඩායමේ සංචිතයේ ස්ථානයක් දිනා ගැනීමට ද සේවාග් සමත් විය.

මදුරාසියේ තිබූ තරගයක් වෙනුවෙන් මුල්ම වතාවට දිල්ලි කණ්ඩායම සමඟ ගිය සේවාග්ට එකවරම පළමුපෙළ තරග වරම් ලැබේ යැයි කිසිවෙකු සිතුවේ නැත.

නමුත් දෛවය ඒ සියල්ල වෙනස් වීමට වැඩි කාලයක් ගියේ නැත. දිල්ලි කණ්ඩායමේ ප්‍රබල සාමාජිකයෙකු වූ රාමන් ලම්බා කණ්ඩායම සමග මදුරාසියට නොපැමිණියේ පෞද්ගලික හේතුවක් නිසාවෙනි. නමුත් අදාල තරගයට ඔහු අනිවාර්යයෙන්ම සහභාගී වන බව ලම්බා, දිල්ලි නායක අජේ ෂර්මාට දන්වා තිබුණි.

1998 යොවුන් ලෝක කුසලානයට ගිය ඉන්දියානු කණ්ඩායම

තරගයට පෙරදා වන තෙක් ලම්බාගේ කිසිදු ආරංචියක් නොමැති බැවින් සේවාග්ට පළමුපෙළ තරග වරම් ලබා දෙන්නට දිල්ලි බලධාරීන් තීරණය කළහ. 

දෛවයේ සරදමකට මෙන් මදුරාසියට එන්නට පොරොන්දු වී සිටි ලම්බා බංගලාදේශයේ ලීග් තරගයට එක්වුණේය. මරුවා ඔහු එනතුරු බංගලාදේශයේ බලා සිටි බව ලම්බා දැන සිටියේ නැත. ක්‍රිකට් තරගයක් අතරතුර පන්දුවක් හිසේ වැදී ලම්බා මිය යන විට ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩාවට නව තරුවකට පායන්නට ඔහු ඉඩ හසර ලබා දී තිබුණි.

එසේ පළමුපෙළ වරම් දිනූ විරේන්ද්‍ර සේවාග් නම් තරුණයාගේ ගමන නැවැත්වීමට එතැන් පටන් කිසිවෙකුට හැකියාවක් ලැබුණේ නැත.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<