ඉතිහාසයේ මතක – FIFA පාපන්දු ලෝක කුසලානය (2006-2010)

438

1998 FIFA ලෝක කුසලානයේ දී සත්කාරක ප්‍රංශය පළමු වතාවට ලෝක කුසලානය තමන් සතුකරගත් අතර 2002 ලෝක කුසලානයේ දී සිය පස්වැනි ලෝක කුසලානය ජයග්‍රහණය කරන්නට බ්‍රසීලය සමත් විය.   

2006 ලෝක කුසලානයට සත්කාරකත්වය දැක්වූයේ ජර්මනියයි. ඒ 1974ට පසුව වීම විශේෂත්වයක්. 2010 වසරේ දී පළමු වතාවට දකුණු අප්‍රිකාවට සත්කාරකත්වය හිමි වූයේ අප්‍රිකානු මහද්වීපයට පළමු ලෝක කුසලාන පාපන්දු තරගාවලිය රැගෙන එමිනි.

ඉතිහාසයේ මතක – FIFA පාපන්දු ලෝක කුසලානය (1998-2002)

1986, 1990 හා 1994 FIFA පාපන්දු ලෝක කුසලාන පිළිවෙළින් ආර්ජෙන්ටිනාව, බටහිර ජර්මනිය හා බ්‍රසීලය විසින් දිනා ගන්නා ලදි. 1986 මෙක්සිකෝවේ පැවති ලෝක කුසලානය…

ඉතාලිය සිව්වන වරටත් ලෝක කුසලානය ඔසවයි – 2006

(Image courtesy – FIFA.com)

2006 ජූලි 9 වැනිදා බර්ලින් හි ඔලිම්පික් ක්‍රීඩාංගණයේ දී අවසන් මහා තරගය පැවැත්වුණු අතර සුපිරි ක්‍රීඩක Zinedine Zidaneගේ ඉවසීම බිඳී යෑමත්, දඬුවම් පහර දක්වාම තරගය ඉදිරියට ඇදී යාමත් නිසා අවසන් මහා තරගය ඉතා උණුසුම් විය.

සුපිරි ක්‍රීඩක Zidaneගේ අවසන් තරගය වූ මේ තරගයේදී Zidaneහට නොසිතූ අවසානයකට මුහුණ දීමට සිදු වූ නමුත් Marcello Lippiගේ ඉතාලි කණ්ඩායම තරගාවලිය පුරා සුපිරි දස්කම් දැක්වූයේ එකිනෙකට වෙනස් ක්‍රීඩකයින් 10 දෙනෙක් තරගාවලිය පුරා ගෝල වාර්තා කරමිනි. ඔවුන්ට එරෙහිව ප්‍රතිවාදී කණ්ඩායම් රැස්කරගත්තේ ගෝල දෙකක් පමණක් වූ අතර ඉන් එකක් Own Goal අවස්ථාවක් ද අනෙක දඬුවම් පහරක් ද විය.     

ආරක්ෂක ක්‍රීඩක Fabio Cannavaroගේ නායකත්වයෙන් තරග වැදුණු ඉතාලිය වෙනුවෙන් සුපිරි මැදපෙළ ක්‍රීඩකයින් වන Andrea Pirlo හා Gennaro Gattusoගේ සංකලනය ඉමහත් සේවයක් ඉටු කළ අතර ආරක්ෂක ක්‍රීඩකයින් වන Gianluca Zambrotta හා Gianluca Zambrotta ද විශිෂ්ට ක්‍රීඩා විලාසයකින් පසුපෙළ සවිමත් කළේය.    

‘A time to make friends’ තරගාවලියේ නිල තේමා පාඨය බවට පත්වූ අතර ජර්මනියට 2006 ලෝක කුසලානයේ සත්කාරකත්වය හිමි විය. ජර්මනියේ නගර 12ක ක්‍රීඩාංගණ 12ක් මේ ලෝක කුසලානයට සත්කාරකත්වය දක්වන ලදි.

ජර්මානු කණ්ඩායම කොස්ටාරිකාවට එරෙහිව ගෝල 4-2ක ජයක් වාර්තා කරමින් ලෝක කුසලානය ආරම්භ කළ අතර ලෝක ශූර බ්‍රසීලය ගෝල 1-0ක් ලෙස ක්‍රොඒෂියාව පරාජය කරන ලදි.

සර්බියාවට එරෙහිව ගෝල 6-0ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට ආර්ජෙන්ටිනාව සමත්වූ අතර පන්දු හුවමාරු කිරීම් 25කට පසු Esteban Cambiasso අනර්ඝ ගෝලයක් වාර්තා කර ගත්තේ ලෝක කුසලාන ඉතිහාසයේ කණ්ඩායම ම එක්වූ හොඳම ගෝලය විය හැකි ගෝලයක් වාර්තා කරමිනි.

එක් ගෝලයක් පමණක් ප්‍රතිවාදීන්ට ලබා දෙමින් ඉතාලිය සිය කාණ්ඩයේ පෙරමුණ ගත් අතර ඕස්ට්‍රේලියා ක්‍රොඒෂියා තරගයේ දී විනිසුරු Graham Poll ක්‍රොඒෂියාවේ Josip Simunic හට අත්වැරදීමකින් කහ කාඩ්පත් තුනක් පෙන්වීම විශේෂ සිදුවීමක් විය.     

16 දෙනාගේ වටයේ දී යුක්‍රේනය ස්විස්ටර්ලන්තය හමු වූ අතර මිනිත්තු 120කට පසු ගෝල රහිත වූ තරගය දඬුවම් පහර 3-0ක් ලෙස ජයගන්නට යුක්‍රේනය සමත් විය. මේ කණ්ඩායම ලෝක කුසලාන ඉතිහාසයේ එකදු දඬුවම් පහරක් හෝ ගෝලයක් බවට පත් කිරීමට අසමත් වූ එකම ස්විස්ටර්ලන්ත කණ්ඩායම ලෙස ඉතිහාසගත විය. තවද මේ ස්විස්ටර්ලන්ත කණ්ඩායම ප්‍රතිවාදීන්ට එකදු ගෝලයක් හෝ ලබා නොදී ලෝක කුසලානයෙන් ඉවත් වූ පළමු හා එකම කණ්ඩායම ද බවට පත්විය.

ඝානා වට එරෙහිව බ්‍රසීලය ගෝල 3-0ක ජයක් වාර්තා කළ අතර එම තරගයේ දී රොනාල්ඩෝ සිය 15 වැනි ලෝක කුසලාන ගෝලය වාර්තා කළේ ජර්මනියේ Gerd Mullerගේ ගෝල 14 වාර්තාව ඉක්මවා යමිනි.  

‘Battle of Nuremburg’, ලෙස නම් ලද පෘතුගාල නෙදර්ලන්ත තරගය ඉතා දරුණු තරගයක් වූ අතර තරගය පුරා රතු කාඩ්පත් හතරක් හා කහ කාඩ්පත් 16ක් ක්‍රීඩකයින්ට ලබා දීමට විනිසුරුවන්ට සිදු විය – Getty Images)

නියුරෙම්බර්ග් හි සටන ලෙස විරුදාවලිය ලත් පෘතුගාල නෙදර්ලන්ත සටන ඉතා දරුණු වූ අතර තරගය පුරා විනිසුරු Valentin Ivanov හට කහ කාඩ්පත් දහසයක් හා රතු කාඩ්පත් හතරක් ලබා දීමට සිදු වූයේ වැඩිම කහ හා රතු කාඩ්පත් ලැබූ ලෝක කුසලාන තරගය ලෙස එම තරගය ඉතිහාසගත කරමිනි.  

ආර්ජෙන්ටිනාව දඬුවම් පහරවලින් පරාජය කිරීමෙන් අනතුරුව ජර්මනිය හා ඉතාලිය අවසන් පූර්ව තරගවල දී හමුවුණු අතර සත්කාරකයින්ගේ සිහින බිඳිමින් අමතර කාලයේ දී ගෝල දෙකක් වාර්තා කළ ඉතාලිය Fabio Grossoගේ හා Alessandro Del Pieroගේ පිහිටෙන් අවසන් මහා තරගය කරා ගමන් කරන්නට සමත් විය.

අනෙක් අන්තයෙන් කිසිදු කලබලයකින් තොරව තරග කළ ප්‍රංශ කණ්ඩායම 1998 වසරට පසු පළමු වරට ලෝක කුසලාන අවසන් මහා තරගයකට සුදුසුකම් ලැබුවේ පෘතුගාලය හා බ්‍රසීලය පරාජය කරමිනි.

බර්ලින් හි ඔලිම්පික් ක්‍රීඩාංගණය අවසන් මහා තරගයේ සත්කාරකත්වය දැක්වූ අතර ප්‍රංශය හා ඉතාලිය 2006 ජූලි 9 වැනිදා අවසන් මහා තරගය සඳහා එකිනෙකා මුණගැසුණි.

ප්‍රංශය තරගයේ ආරම්භයේම Zidaneගේ දඬුවම් පහර මගින් ගෝලයක් රැස් කළේ ඉතාලිය සිය ප්‍රතිවාදීන්ට ලබා දුන් දෙවන ගෝලය ලෙසයි.  

ඉතාලිය වෙනුවෙන් 19 වන මිනිත්තුවේ දී Marco Materazzi ගෝලයක් රැස් කළේ Andrea Pirloගේ අලංකාර පන්දු යොමු කිරීමක් සාර්ථක කරගනිමිනි. ගෝල 1-1ක් ලෙස ගෝල සමවුණු තරගය අමතර කාලය දක්වා ඇදී ගිය අතර දඬුවම් පහර ලබා දීමට මිනිත්තු 10ක් පමණ ඉතිරිව තිබිය දී සුපිරි ක්‍රීඩක Zidane විසින් ඉතාලි ක්‍රීඩක Materazzi වෙත හිසෙන් පහර දීම නිසා රතු කාඩ්පතක් ලබා පිටියෙන් ඉවතට ගියේ සිය ක්‍රීඩා දිවියේ අවසාන වතාවටය.

රතු කාඩ්පතක් ලබා පිටියෙන් ඉවතට ගියේ ප්‍රංශයට ප්‍රබල අවාසියක් වෙමිනි (Image courtesy – FIFA.com)

සිය ප්‍රධානතම ප්‍රහාරකයා පිටියෙන් ඉවත් වීම ප්‍රංශයට ප්‍රබල අවාසියක් වූ අතර යුරෝ 2000 අවසන් මහා තරගයේ ’රන් ගෝලය’ වාර්තා කළ David Trezeguet හට සිය දඬුවම් පහර අවස්ථාව මගහැරීම විශේෂ සිදුවීමක් විය.

සිය දඬුවම් පහර අවස්ථා පහම සාර්ථක කර ගනිමින් දඬුවම් පහර 5-3ක් ලෙස ඉතාලිය ප්‍රංශය පරාජය කරමින් වසර 24කට පසුව නැවතත් ලෝක ශූරයින් බවට පත්වූ අතර විශේෂම කරුණ නම් 1970 වසරට පසුව ඉතාලිය ලෝක කුසලානයකට සුදුසුකම් ලබන්නේ වසර 12කට වරක් වීමයි. (1970,1982,1994,2006). 1970 වසරේ දී හා 1994 වසරේ දී ලෝක කුසලානය දිනා ගැනීමට අසමත් වුනත් 2006 වසරේ දී හා 1982 දී ලෝක ශූරයින් බවට පත්වන්නට ඔවුන්ට හැකි විය.   

ඉතාලි නායකයා ලෝක කුසලානය ඔසවමින් (Image courtesy – FIFA.com)

ආර්ජෙන්ටිනාවේ Horacio Elizondo ලෝක කුසලාන තරගාවලියක පළමු තරගය මෙන්ම අවසන් මහා තරගයේ ද විනිසුරු ලෙස කටයුතු කළ පළමු විනිසුරු බවට පත්විය.

වාර්තාගත කහ කාඩ්පත් ගණනක් මේ තරගාවලියේ වාර්තා වූ අතර (345ක්) වාර්තාගත රතු කාඩ්පත් ගණනක් (28) ද මේ තරගාවලියේ වාර්තා විය. ජර්මනියේ Miroslav Klose ඔහුගේ ගෝල පහ වෙනුවෙන් රන් පාවහන දිනූ අතර Zidane විසින් රන් පාපන්දුව දිනා ගන්නා ලදි.

ස්පාඥ්ඥයටද පාපන්දු වසන්තය උදාවේ – 2010 

(Image courtesy – FIFA.com)

ලෝක කුසලානය සත්කාරකත්වය පළමු වරට අප්‍රිකානු මහද්වීපයට ලැබුණු අතර දකුණු අප්‍රිකාවේ ක්‍රීඩාංගණ 10ක් තරගාවලිය සඳහා සූදානම් කෙරිණි.

පළමු වටයේ දී මෙක්සිකෝව, දකුණු අප්‍රිකාව හා ප්‍රංශය පරාජය කරමින් උරුගුවේ කණ්ඩායම A කාණ්ඩයේ පෙරමුණ ගත් අතර සත්කාරක දකුණු අප්‍රිකාව ප්‍රංශය පරාජය කළ ද ඔවුන්ට අවාසනාවන්ත ලෙස පළමු වටයෙන්ම තරගාවලියෙන් ඉවත් වීමට සිදු විය. 2006 වසරේ අනුශූරයින් වූ ප්‍රංශය ද එකදු තරගයක් හෝ ජය ගැනීමට අසමත් වීම නිසා පළමු වටයෙන්ම තරගාවලියෙන් ඉවත් විය.  

සිය තරග තුනම ජය ගනිමින් ආර්ජෙන්ටිනාව තමන් ක්‍රීඩා කළ කාණ්ඩයේ පෙරමුණ ගත් අතර දකුණු කොරියාව එම කාණ්ඩයේ දෙවන ස්ථානය දිනා ගන්නා ලදි. ජර්මනි කණ්ඩායම සර්බියාව හමුවේ ගෝල 1-0ක් ලෙස පරාජය වූයේ ඔවුන්ගේ කාණ්ඩයේ පළමු ස්ථානය ඔවුන්ට අහිමි කරමිනි.

ඩර්බන් හිදී ස්විස්ටර්ලන්තයට එරෙහිව ස්පාඤ්ඤය ගෝල 1-0ක් ලෙස පරාජය වූ අතර 2006 ශූරයින් වූ ඉතාලිය පළමු වටයෙන්ම හැරී ගෙදර ගියේය. 

Frank Lampard ගේ ගෝලය විනිසුරු නිෂ්ප්‍රභා කළේය(Image courtesy – Getty Images)

එංගලන්තය හා ජර්මනිය 16 දෙනාගේ වටයේ දී තරග වැදුණු අතර එංගලන්ත ක්‍රීඩකයින්ගේ දැඩි විරෝධය මධ්‍යයේ විනිසුරු Frank Lampard ගේ ගෝලයක් නිශ්ප්‍රභ කළේය. පසුව පුනරූපන වලින් දිස්වූයේ එම පන්දුව ගෝල රාමුව තුලට ගිය බවයි. කෙසේ වෙතත් අවාසනාවන්ත එංගලන්තය ගෝල 4-1ක් ලෙස තරගය පරාජය විය.    

එංගලන්තය පරාජය කළ ජර්මනිය ආර්ජෙන්ටිනාව ගෝල 4-0ක් ලෙස පරාජය කළ නමුත් අවසන් පූර්ව තරගයේ දී ස්පාඤ්ඤ හමුවේ ගෝල 1-0ක් ලෙස පරාජය වන්නට ඔවුන්ට සිදු විය.  

දෙවරක් ශූරයින් වූ උරුගුවේ වසර 40කට පසු අවසන් පූර්ව වටයට පිවිසුණේ ඝානා ව හා තියුණු තරගයකින් අනතුරුවය. තරගය ගෝල 1-1ක් ලෙස සමවිමෙන් අනතුරුව අමතර කාලය කරා ඇදී ගිය අතර අවසාන මොහොතේ ඝානා වට දඬුවම් පහරක් හිමි වූයේ Adiyiahගේ ප්‍රහාරය Luis Suarez සිතාමතාම සිය අත යොදා නැවැත්වීම නිසයි. ඔහුගේ එම අපකීර්තිමත් ක්‍රීඩා විලාසය නොවන්නට ඝානාවට නිසැක ජයක් අත්වීමට ඉඩ තිබුණි.

Suarez හට රතුකාඩ්පතක් ලබා දීමට විනිසුරු තීරණය කළ අතර දිනයේ දෙවන වරටත් ඉතා අවාසනාවන්ත වූ ඝානාව වෙනුවෙන් Asamoah Gyan එම දඬුවම් පහර සාර්ථක කරගත්තේ නැත. තරගය දඬුවම් පහර කරා ඇදී ගිය අතර මානසිකව පසුබෑමකට ලක්වුණු ඝානා ක්‍රීඩකයෝ ගෝල 4-2ක් ලෙස පරාජය කරන්නට උරුගුවේ සමත් විය.  

කෙසේ වෙතත් නෙදර්ලන්තය ජොහැන්ස්බර්ග් හිදී උරුගුවේ ගෝල 3-2ක් ලෙස පරාජය කළ අතර 1978 වසරින් පසුව පළමු වතාවට අවසන් මහා තරගයකට පිවිසෙන්නට නෙදර්ලන්තය සමත් විය.

Suarezගේ අපකීර්තිමත් ක්‍රීඩා විලාසය ඝානාවෙන් ජය උදුරා ගැනීමට සමත් විය. (Image courtesy – Getty Images)

2010 ජූලි මස 11 වැනිදා ජොහෑනස්බර්ග් හි සොකර් සිටි ක්‍රීඩාංගණයේ දී ස්පාඤ්ඤය හා නෙදර්ලන්තය අතර 2010 පාපන්දු ලෝක කුසලානයේ අවසාන මහා තරගය පැවැත්විය.

1978 වසරට පසු ලෝක ශූරයින් නොවූ රටවල් දෙකක් තරග කළ පළමු ලෝක කුසලානය මෙය වූ අතර සියලුම තරග ජයගෙන ගෝල 12ක් සමග නෙදර්ලන්තයත් ගෝල 7ක් සමඟින් ස්පාඤ්ඤයත් අවසන් මහා තරගයට පිවිසුණි.

116 වන මිනිත්තුවේ දී Cesc Fabregas එවූ පන්දුවක් Andres Iniesta දක්ෂ ලෙස ගෝල රාමුව තුලට යොමු කළේ ස්පාඥ්ඥයටද සිය මංගල ලෝක කුසලානය හිමිකර දෙමිනි.

Iniesta තමා පැළඳ සිටි ජර්සිය ගලවමින් ගෝලය සමරුවේ සිය බැනියමේ ලියා තිබූ “Dani Jarque siempre con nosotros” (“Dani Jarque සෑම විටම අප සමඟ”) යන වැකිය ප්‍රදර්ශනය කරමිනි. Daniel Jarque එම වසරේ දී අභාවප්‍රාප්ත වූ ස්පාඤ්ඤ පාපන්දු තරුවකි.

ස්පාඤ්ඤ සිය මංගල ලෝක කුසලානය දිනාගත් අතර මීට පෙර ඔවුන්ගේ හොඳම ලෝක කුසලාන අවසානය ලෙස දැක්වුණේ 1950දී සිව්වැනි ස්ථානය දිනා ගැනීමයි.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<

(Image courtesy – AFP/Getty Images)

නෙදර්ලන්තයේ තෙවන අවසන් මහා තරගය පරාජය මෙය වූ අතර 1974, 1978 වසර වලදී ද ඔවුන් මෙලෙසම අවසන් මහා තරග වලදී පරාජය විය.

 Iker Casillas ස්පාඥ්ඥය වෙනුවෙන් ලෝක කුසලානය ඔසවද්දී ජර්මනියේ තෝමස් මුලර් රන් පාවහනත්, ඩියෙගෝ ෆොර්ලාන් රන් පාපන්දුවත් දිනාගන්නා ලදී.

>> For more World Cup News Click Here <<