එංගලන්තය, සෙනගාලය, ඇමරිකාව සහ නෙදර්ලන්තය සුපිරි 16ට

පාපන්දු ලෝක කුසලානය 2022

783
FIFA World cup Day 09

මේ දිනවල කටාර් හී පැවැත්වෙන පාපන්දු ලෝක කුසලානයේ අද (29) පැවති තරගවලින් ජයග්‍රහණ වාර්තා කිරීමට නෙදර්ලන්තය, සෙනගාලය, ඇමරිකා එක්සත් ජනපදය සහ එංගලන්තය සමත් වුනා.

ඇමරිකා එක්සත් ජනපදය සහ ඉරානය

තරගාවලියේ 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගැනීමට සඳහා කණ්ඩායම් දෙකටම තීරණාත්මක වූ මේ තරගයේ පළමු ගෝලය වාර්තා කළේ ඇමරිකාවයි.

38 වැනි මිනිත්තුවේ දී ලැබුණු පන්දුවක් ගෝලය තුළට සාර්ථකව යොමු කරමින් එම ගෝලය වාර්තා කළේ ඇමරිකා ක්‍රීඩක Christian Pulisic විසිනුයි.

පළමු අර්ධයේ අතිරේක කාලයේ දී ඇමරිකාව වෙනුවෙන් දෙවැනි ගෝලය වාර්තා කිරීමට Timothy Weahට හැකි වූවත් එය ක්‍රීඩක අනිසි ස්ථානගත වීමක් නිසාවෙන් අවලංගු වුනා.

ඉරාන ක්‍රීඩකයින් එම අර්ධයේ දී කැපී පෙනෙන ක්‍රීඩා රටාවක් පෙන්නුම් කරමින් තරග කළත්, ඔවුන්ට ගෝලයක් ලබා ගැනීමට නොහැකි වූ නිසා පළමු අර්ධයේ පෙරමුණ ඇමරිකාවට හිමි වුනා.

දෙවැනි අර්ධයේ ද පාලනය සියතට ගත් ඇමරිකාව ගෝල ලබා ගැනීමට දැරූ උත්සාහයන් වැළකී ගිය අතර එම අර්ධයේ දී ඉරානයට තරගයට පිවිසීමට නොහැකි වූ නිසා තරගය ජය ගනිමින් අවසන් 16 වටයට සුදුසුකම් ලබා ගැනීමට ඇමරිකාවට හැකි වුනා.

අවසන් ලකුණු තත්වය: ඉරානය 00 – 01 ඇමරිකාව

ගෝල රැස් කළ ක්‍රීඩකයින්,

  • ඇමරිකාව: Christian Pulisic 38’

එංගලන්තය සහ වේල්ස්

B කාණ්ඩයෙන් අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගන්නා අනෙක් කණ්ඩායම තේරීම සඳහා වූ මෙම තරගයෙන් ගෝල 3-0ක ජයක් ලබා ගැනීමට ප්‍රබල එංගලන්තයට හැකි වුනා.

තරගය ආරම්භයේ සිටම වේල්ස් ක්‍රීඩකයින්ට දැඩි අභියෝගයක් එල්ල කරමින් ක්‍රීඩා කිරීමට එංගලන්තයට හැකි වූවත්, පළමු අර්ධයේ දී ගෝලයක් වාර්තා කරමින් තරගයට පිවිසීමට ඔවුන්ට හැකි වුනේ නැහැ.

එම අර්ධයේ දී වේල්ස් ක්‍රීඩකයින්ට ද සිය අවස්ථා සාර්ථක කර ගැනීමට නොහැකි වූ නිසා ගෝල රහිතව පළමු අර්ධය අවසන් වුනා.

දෙවැනි අර්ධය ආරම්භ වී මිනිත්තු කිහිපයක් ගත වෙද්දී හිමි වූ නිදහස් පහරක් ඉතා අලංකාර පහරකින් ගෝලයට එල්ල කරමින් තරගයේ ගෝල ලබා ගැනීම ආරම්භ කිරීමට එංගලන්ත ක්‍රීඩක Marcus Rashfordට හැකි වුනා.

එම ගෝලය වාර්තා කර මිනිත්තු දෙකක් ගත වෙද්දී එනම් 52 වැනි මිනිත්තුවේ දී ලැබුණු පන්දුවක් ගෝලය තුළට යොමු කරමින් තරගයේ දෙවැනි ගෝලය වාර්තා කිරීමට Phil Fodenට හැකි වුනේ සිය කණ්ඩායමට තරගයේ වැඩි වාසි ගෙන දෙමිනුයි.

68 වැනි මිනිත්තුවේ දී දඬුවම් රාමුව තුළට තනිව රැගෙන ආ පන්දුවක් ප්‍රතිවාදී ගෝල රකින්නා පසු කර සාර්ථකව ගෝලය තුළට එල්ල කරමින් තරගයේ සිය දෙවැනි ගෝලය වාර්තා කිරීමට Marcus Rashfordට හැකි වුනා.

තරගය අවසන් වන තුරුම කිසිදු ගෝලයක් වාර්තා කිරීමට වේල්ස් ක්‍රීඩකයින්ට නොහැකි වූ නිසා එංගලන්තයට පහසු ජයක් හිමි වුනා.

අවසන් ලකුණු තත්වය: එංගලන්තය 03 – 00 වේල්ස්

ගෝල රැස් කළ ක්‍රීඩකයින්,

  • එංගලන්තය: Marcus Rashford 50’ & 68’, Phil Foden 52’

කටාර් සහ නෙදර්ලන්තය

සහභාගී වූ තරග දෙකම පරාජයට පත් වූ සත්කාරක කටාර් රාජ්‍යයට තරගාවලියේ ඉදිරිය අහිමිව තිබූ නමුත් අවසන් 16 දෙනාගේ වටයට පිවිසීමට නෙදර්ලන්තයට මෙම තරගය වැදගත් වුනා.

තරගය ආරම්භයේ සිටම සිය ප්‍රබලත්වය පෙන්නුම් කළ නෙදර්ලන්තය වෙනුවෙන් 26 වැනි මිනිත්තුවේ දී ලැබූ පන්දුවක් දඬුවම් රාමුවේ සිට ගෝලයේ දකුණු කෙළවරට එල්ල කරමින් ගෝල ලබා ගැනීම ආරම්භ කිරීමට Cody Gakpoට හැකි වුනා.

එම අර්ධය තුළ නෙදර්ලන්තයට එරෙහිව ගෝලයක් ලබා ගැනීමට අවස්ථාවක් නිර්මාණය කර ගැනීමට පවා කටාර් ක්‍රීඩකයින්ට හැකි වුනේ නැහැ.

නෙදර්ලන්තය වෙනුවෙන් දෙවැනි ගෝලය වාර්තා කිරීමට Frenkie de Jongට හැකි වුනේ 49 වැනි මිනිත්තුවේ දීයි. නෙදර්ලන්ත ක්‍රීඩකයෙකු ගෝලයට එල්ල කළ පන්දුවක් වැළැක්වූ කටාර් ගෝල රකින්නාගේ අතේ වැදී නැවත පැමිණි පන්දුවක් ගෝලයට එල්ල කරමින් ඔහු එම ගෝලය රැස් කළා.

තරගය තුළ නෙදර්ලන්ත ආධිපත්‍ය තවත් වැඩි කරමින් තෙවැනි ගෝලය වාර්තා කිරීමට Steven Berghuisට හැකි වූවත්, එය නැවත සලකා බැලීමෙන් අනතුරුව ගෝලය අවලංගු කිරීමට විනිසුරුවරයා කටයුතු කළේ ගෝලය වාර්තා කිරීමට පෙර සිදු කළ වරදක් නිසාවෙනුයි.

නෙදර්ලන්තයට එරෙහිව කිසිදු ගෝලයක් වාර්තා කිරීමට කටාර් ක්‍රීඩකයින්ට නොහැකි වූ නිසා සහභාගී වූ තරග සියල්ල පරාජයට පත් වෙමින් ගෝල කුසලාන ගමන අවසන් කිරීමට සත්කාරකයින්ට සිදු වුනා.

අවසන් ලකුණු තත්වය: නෙදර්ලන්තය 02 – 00 කටාර්

ගෝල ලබා ගත් ක්‍රීඩකයින්,

  • නෙදර්ලන්තය: Cody Gakpo 26’. Frenkie de Jong 49’

සෙනගාලය සහ ඉක්වදෝරය

තරගාවලියේ මීළඟ වටය පිළිබඳව බලාපොරොත්තු තබා ගැනීම සඳහා කණ්ඩායම් දෙකටම මෙම තරගය ජයග්‍රහණය කිරීම ඉතා වැදගත් වුනා.

ආරම්භයේ සිට දෙපිලට ම දෝලනය වූ මෙම තරගයේ 42 වැනි මිනිත්තුවේ දී ඉක්වදෝර ක්‍රීඩකයෙකු කළ වරදක් නිසාවෙන් සෙනගාලයට දඬුවම් පහර අවස්ථාවක් හිමි වූ අතර එය එල්ල කිරීමේ වගකීම හිමි වුනේ Ismaila Sarr හටයි.

කණ්ඩායමට වැදගත් වූ එම මොහොතේ සිය වගකීම නිවැරදිව ඉටු කළ Ismaila Sarr පන්දුව ගෝලයේ දකුණු කෙළවරට එල්ල කරමින් ගෝල ලබා ගැනීම ආරම්භ කළා.

තරගය තවත් උණුසුම් කරමින් 68 වැනි මිනිත්තුවේ දී පැති පහර අවස්ථාවක් මගින් යොමු වූ පන්දුවක් ගෝලයට එල්ල කරමින් ගෝල තත්වය සම කිරීමට ඉක්වදෝර ක්‍රීඩක Moises Caicedoට හැකි වුනා.

නමුත් ඔවුන්ගේ සතුට වැඩි වේලාවක් පැවතීමට ඉඩ නොදුන් සෙනගාල ක්‍රීඩක Kalidou Koulibaly දඬුවම් රාමුව තුළ දී නැවත ලබා ගත් පන්දුවක් ගෝලයට එල්ල කරමින් සෙනගාලය නැවතත් පෙරමුණට ගෙන ආවා.

එයට පිළිතුරු ලෙස කිසිදු ගෝලයක් වාර්තා කිරීමට ඉක්වදෝරයට නොහැකි වීම නිසාවෙන් සෙනගාලයට තරගයට ජය ගනිමින් අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගැනීමට හැකි වුනා.

අවසන් ලකුණු තත්වය: ඉක්වදෝරය 01 – 02 සෙනගාලය

ගෝල ලබා ගත් ක්‍රීඩකයින්,

  • ඉක්වදෝරය: Moises Caicedo 67’
  • සෙනගාලය: Ismaila Sarr 44’(P), Ismaila Sarr 70’

පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟ.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<