FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ නවවැනි දිනය වූ ඊයේ (22) දිනයේ පළමු තරගය ලෙස ප්‍රබල බ්‍රසීලය හා කොස්ටාරිකාව තරග වැදුණු අතර අවසන් මිනිත්තු කිහිපයේ ගෝල දෙකක් වාර්තා කළ බ්‍රසීලය ගෝල 2-0ක් ලෙස තරගයේ ජය හිමි කර ගැනීමට සමත් විය.

ඒ අනුව කොස්ටාරිකාවේ ලෝක කුසලාන සිහිනය අවසන් වූයේ තවත් එක තරගයක් ඉතිරිව තිබිය දී ය. දිනයේ දෙවන තරගය ලෙස ආර්ජෙන්ටිනා ප්‍රේක්ෂකයින් ඉතා උනන්දුවෙන් නැරඹූ නයිජීරියා අයිස්ලන්ත ගැටුම පැවැත්වුණු අතර ගෝල 2-0ක් ලෙස නයිජීරියාව ජය හිමි කර ගත්තේ ආර්ජෙන්ටිනා බලාපොරොත්තු මදකට ඉහළ දමමිනි. දිනයේ තෙවන තරගය ලෙස සර්බියාව හා ස්විස්ටර්ලන්තය තරග වැදුණු අතර ගෝල 2-1ක් ලෙස අවසන් මිනිත්තුවේ ජයක් වාර්තා කිරීමට ස්විස්ටර්ලන්තය සමත් විය.

මෙසී සහ ආර්ජෙන්ටිනා රසිකයින් හඬා වැටෙද්දී ප්‍රංශය දෙවන ජය වාර්තා කරයි

2018 FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අටවැනි දිනය වූ ඊයේ (21) දිනයේ පළමු තරගය…


16 දෙනාගේ වටයේ සර්බියා බලාපොරොත්තු පමා කරමින් ස්විස්ටර්ලන්තය ජය ගනී

දිනයේ තෙවන තරගය ලෙස සර්බියාව හා ස්විස්ටර්ලන්තය Kaliningrad ක්‍රීඩාංගණයේ දී පැවැත්වුන අතර ගෝල 2-1ක් ලෙස අවසන් මිනිත්තුවේ දී තරගයේ ජය හිමි කර ගැනීමට ස්විස්ටර්ලන්තය සමත් විය. ඒ අනුව 2018 ලෝක කුසලානයේ 1-0 ක් ලෙස පසුපසින් සිටිමින් හඹා ගොස් තරගයක් ජය ගත් පළමු කණ්ඩායම වන්නට ස්විස්ටර්ලන්තය සමත් විය,

සර්බියාව පළමු මිනිත්තුවේ සිටම ප්‍රබලව තරගයට අවතීර්ණ වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ට 5 වන මිනිත්තුවේ දී ‘corner’ අවස්ථාවක් හිමි විය. Dusan Tadic අලංකාර ලෙස එම ‘corner’ අවස්ථාව ලබාගත් අතර ගුවනට මුසු වූ පන්දුව MITROVIĆ අලංකාර ලෙස සිය හිසෙන් ගෝලය වෙත යොමු කළේ තරගය ආරම්භයේම පෙරමුණ ගනිමිනි.

(MITROVIĆ තරගයේ පළමු වෙඩිමුරය තබන්නට සමත්විය-FIFA.com)

අනතුරුව ස්විස්ටර්ලන්ත ක්‍රීඩකයින් ප්‍රබල උත්සහයක් දුන්න ද ඔවුන්ට පළමු අර්ධය පුරා ගෝලයක් වාර්තා කර ගැනීමේ වාසනාව තිබුණේ නැත.

සර්බියානු ක්‍රීඩකයින් ශාරීරික ක්‍රීඩා රටාවක් අනුගමනය කළ අතර ඔවුන්ගේ ආරක්ෂක වළල්ල ද ඉතා ප්‍රබල මට්ටමක තිබුණි.

පළමු අර්ධය: සර්බියාව 01 – 00 ස්විස්ටර්ලන්තය

පළමු අර්ධයේ එක ගෝලයක් පසුපසින් සිටි ස්විස්ටර්ලන්ත ක්‍රීඩකයෝ දෙවන අර්ධයේ දී තරගය සම්පූර්ණයෙන්ම කණපිට හැරවූ අතර සුපිරි ගෝල ද්විත්වයක් සමඟින් සර්බියාවෙන් ජයග්‍රහණය උදුරා ගැනීමට ඔවුන් සමත් විය.

52 වන මිනිත්තුවේ දී ස්විස්ටර්ලන්ත ක්‍රීඩකයෙකු එල්ල කළ ප්‍රහාරයක් සර්බියානු ආරක්ෂක ක්‍රීඩකයකුගේ ද වැදී නැවත සර්බියා දඬුවම් පහර චතුරශ්‍රයෙන් ඉවතට පැමිණි අතර පන්දුව හඹා ආ XHAKA ඉතා වේගයෙන්, කවාකාර ප්‍රහාරයකින් චතුරශ්‍රයේ පිටත සිට අලංකාර ගෝලයක් වාර්තා කිරීමට සමත් විය.

(XHAKA අලංකාර ගෝලයක් වාර්තා කළේ ගෝල සමකරමිනි-FIFA.com)

ඒ සමඟ XHAKA, X අකුරෙන් සිය වාසගම ආරම්භ වන ලෝක කුසලාන තරගයක ගෝලයක් වාර්තා කළ ලොව පළමු ක්‍රීඩකයා බවට පත්විය.

සර්බියාව පළමු තරගය ජයගෙන තිබූ නිසා ඔවුන්ට මේ තරගයේ ජයග්‍රහණයෙන් 16 දෙනාගේ වටයට යෑමට අවස්ථාව හිමිව තිබූ අතර ස්විස්ටර්ලන්ත ක්‍රීඩකයින්ගේ පළමු තරගය ජය පරාජයෙන් තොරව අවසන් වූ නිසා මේ තරගයේ ජය ඔවුන්ට වැදගත්ම විය.

(SHAQIRI තරගයේ වීරයා විය-FIFA.com)

දිගින් දිගටම සර්බියාවට පීඩනය එල්ල කළත් අවසන් මිනිත්තුව දක්වා සර්බියානු ක්‍රීඩකයෝ කෙසේ හෝ ඔවුන්ට ගෝල ලබා නොදී සිටීමට සමත් වූ නමුත් අවසාන මිනිත්තුවේ දී SHAQIRI සර්බියාවෙන් ජයග්‍රහණය උදුරා ගන්නට සමත් විය.

සර්බියානු ‘corner’ අවස්ථාවක් හරස් කරමින් ස්විස්ටර්ලන්ත ක්‍රීඩකයෝ පන්දුව ලබා ගත් අතර දීර්ඝ පන්දු යොමු කිරීමකින් පන්දුව SHAQIRI වෙත යොමු කළේය. ඒ වන විටත් සර්බියානු ආරක්ෂක වළල්ල පසුකර සිටි ඔහුට තරගය තිබුණේ එක් ආරක්ෂක ක්‍රීඩකයෙකු හා සර්බියානු ගෝල රකින්නා සමඟ පමණි. ආරක්ෂක ක්‍රීඩකයා මැඩලමින් දැල තුලට ඔහු ඉතා පහසුවෙන් 90 වන මිනිත්තුවේ දී පන්දුව යොමු කළේ ස්විස්ටර්ලන්ත ජයග්‍රහණය ස්ථිර කරමිනි.

(SHAQIRI 90 වන මිනිත්තුවේ දී සර්බියාවෙන් ජයග්‍රහණය උදුරා ගන්නා ලදි -FIFA.com)

අවසාන ලකුණු තත්වය: සර්බියාව 01 – 02 ස්විස්ටර්ලන්තය

ගෝල රැස්කළ ක්‍රීඩකයින්: 

  • සර්බියාව – MITROVIĆ 5’
  • ස්විස්ටර්ලන්තය – SHAQIRI 52’, XHAKA 90’

‘SON’ලාගේ අයිස්ලන්තය MUSA තනිවම පරාජය කරයි

දිනයේ දෙවන තරගය ලෙස නයිජීරියාව හා අයිස්ලන්තය Volgograd හි Volgograd ක්‍රීඩාංගණයේ දී තරග වැදුණු අතර දෙවන අර්ධය සම්පූර්ණයෙන්ම සියතට ගත් නයිජීරියාවේ Ahmed MUSA විශිෂ්ට ගෝල ද්විත්වයක් වාර්තා කරමින්, ගෝල 2-0ක් ලෙස තරගයේ ජය නයිජීරියාවට හිමි කර දීමට සමත් විය.

ලෝක කුසලාන පාපන්දු තරගාවලියකට සහභාගී වන කුඩාම ජනගහනයක් ඇති රට අයිස්ලන්තය වන අතර පුහුණුකරු හා සියලුම ක්‍රීඩකයින්ගේ නමේ අවසානයේ ‘SON’ ප්‍රත්‍ය යෙදී තිබිම විශේෂ කරුණකි. අනෙක් අතට නයිජීරියාව මෙවර ලෝක කුසලානයට සහභාගී වන දෙවැනියට වැඩිම ජනගහනයක් ඇති රටයි.

පෙරළි රැසක් සිදු වූ D කාණ්ඩයේ තරගයක් ලෙස මෙම තරගය පැවැත්වුන අතර ඊයේ ගෝල 3-0ක් ලෙස ක්‍රෝඑ්ශියාව හමුවේ පරාජය වූ ආර්ජෙන්ටිනාවට මේ තරගයේ අයිස්ලන්ත පරාජය ඉතා වැදගත් වූයේ ඔවුන්ගේ 16 දෙනාගේ බලාපොරොත්තු මේ තරගය මත රැඳී පැවතීම නිසාවෙනි.

අයිස්ලන්තය ජයග්‍රහණය කළා නම් ඔවුන්ගේ බලාපොරොත්තු සෑහෙන තරම් ඈතට යාමේ අවදානමක් තිබුණි. දැන් අයිස්ලන්තයට පරාජය අත්වීමත් සමග ආර්ජෙන්ටිනාවට මීළඟ තරගයේ දී, අයිස්ලන්තය ක්‍රෝඑ්ශියා තරගයේ අයිස්ලන්තය වාර්තා කරන ගෝල ගණනට වඩා ගෝල ගණනක් වාර්තා කරමින් නයිජීරියාව පරාජය කළ හැකි නම් 16 දෙනාගේ වටයට පිවිසීමේ අවස්ථාවක් පවති. ක්‍රෝඑ්ශියාව 16 දෙනාගේ වටයට පිවිසුණු අතර මීළඟ තරග දෙකේ ප්‍රතිඵල අනුව ඉතිරි කණ්ඩායම් දෙක තීරණය වනු ඇත.

අන්ද්රේ 2010 මෙන් මෙවර ජයග්‍රාහී ගෝලය යොමු කරන්නට සූදානමින්

FIFA ලෝක ශ්‍රේණිගත කිරීම්වල සයවැනි ස්ථානයේ සිටින ස්පාඤ්ඤය සිය 11 වන ලෝක කුසලානයට….

තරගයේ පළමු අර්ධයේ අයිස්ලන්ත ක්‍රීඩකයින් ඉතා හොඳින් ක්‍රීඩා කරමින් නයිජීරියානු ආක්‍රමණ නැවැත්වූ අතර ආර්ජෙන්ටිනා තරගයේ දී මෙන් නොව ලද හැම අවස්ථාවක දී ම ආක්‍රමණික ක්‍රීඩා විලාසයක නිරත වනු ද දක්නට ලැබුණි.

6 වන මිනිත්තුවේ දී අයිස්ලන්තයේ G SIGURDSSON ඉතා හොඳ ප්‍රහාරයක් එල්ල කළ අතර නයිජීරියානු ගෝල රකින්නා Francis Uzoho අලංකාර ලෙස පන්දුව ගෝල රාමුව ඉහළින් ඉවතට තල්ලු කර දමන්නට සමත් විය.

(Francis Uzoho 19 වියැති ඉතා ළාබාල ගෝල රකින්නෙකි-FIFA.com)

අනතුරුව නයිජීරියා ක්‍රීඩකයින්ට ක්‍රම ක්‍රමයෙන් තරගයට අවතීර්ණ වෙමින් ගෝල ලබා ගැනීමට උත්සහ කළ ද එම අවස්ථා එකක් වත් පැහැදිලි ගෝල අවස්ථාවක් බවට පත්කර ගැනීමට ඔවුන් සමත් වූයේ නැත.

45 වන මිනිත්තුවේ දී අයිස්ලන්තයට තවත් ඉතා අසන්න අවස්ථාවක් මග හැරුණු අතර Gylfi Sigurdsson ගේ පන්දු යොමු කිරීමකට හරි හැටි පාදය යොමු කරමින් පන්දුව ගෝලය කරා යොමු කරන්නට මංගල අයිස්ලන්ත ලෝක කුසලාන ගෝලය වාර්තා කළ Alfred Finnbogason අසමත් විය.

පළමු අර්ධය: නයිජීරියාව 00 – 00 අයිස්ලන්තය

දෙවන අර්ධයේ පළමු මිනිත්තුවේ සිටම නයිජීරියා ක්‍රීඩකයෝ අයිස්ලන්තයට ප්‍රබල අභියෝගයක් එල්ල කළ අතර 46 වන මිනිත්තුවේ ETEBO ගෝලයක් ලබා ගැනීමට උත්සහයක් කළ නමුත් අයිස්ලන්ත ගෝල රකින්නා, Halldorsson එම අවස්ථාව සාර්ථකව ව්‍යර්ථ කිරීමට සමත් විය.

පළමු අර්ධය පුරා එකදු උත්සහයක් වත් වාර්තා නොකළ නයිජීරියා ක්‍රීඩකයෝ දෙවන අර්ධයේ දී ප්‍රබල ලෙස ආක්‍රමණයන් ආරම්භ කර තිබූ අතර MOSES ගේ අලංකාර පන්දු යොමු කිරීමක් දඬුවම් චතුරශ්‍රය තුල දී සිය වම් පාදයෙන් නවත්වාගත් MUSA, පන්දුව සිය දකුණු පාදයට ගෙන 49 වන මිනිත්තුවේ දී අලංකාර ගෝලයක් වාර්තා කිරීමට සමත් විය.

(MUSA ගේ විශිෂ්ඨ පන්දු පාලනය ඔහුගේ පළමු ගෝලයට පාර කැපුවේය-FIFA.com)

එම ගෝලයත් සමඟම අයිස්ලන්ත ක්‍රීඩකයින්ගේ අධිෂ්ඨානශීලී ක්‍රීඩා විලාසය බිඳ වැටුණු අතර ලද අවසරයෙන් ජයග්‍රහණය තහවුරු කර ගනිමින් MUSA 75 වන මිනිත්තුවේ දී සිය දෙවන ගෝලය ද වාර්තා කළේය.

පන්දුවත් රැගෙන අයිස්ලන්ත චතුරශ්‍රයට ගිය ඔහු තනිවම අයිස්ලන්ත ආරක්ෂක ක්‍රීඩකයින් දෙදෙනෙක් අතරින් පන්දුව ඉදිරියට රැගෙන ගිය අතර පන්දුව ආරක්ෂා කර ගැනීමට පැමිණි අයිස්ලන්ත ගෝල රකින ක්‍රීඩක Halldorsson අනර්ඝ පාද චලනයකින් නොමග යැවූ ඔහු අයිස්ලන්ත ක්‍රීඩකයින් දෙදෙනෙකු දැල ඉදිරියේ සිටගෙන සිටිද්දී ඔවුන් දෙදෙනා අතරින් පන්දුව අලංකාර ලෙස දැල තුලට යොමු කිරීමට සමත් විය.

(අයිස්ලන්ත ආරක්ෂක ක්‍රීඩකයින් මෙන්ම ගෝල රකින්නා ද නොමග යවමින් අනගි ගෝලයක් වාර්තා කිරීමට MUSA සමත්වූයේ තරගයේ ජය තහවුරු කරමින්ය-FIFA.com)

මේ ලෝක කුසලාන තරග දෙකක දී ඔහු වාර්තා කළ සිව්වැනි ගෝලයයි. ඔහුගේ පළමු ගෝලයත් සමඟ ලෝක කුසලාන තරගාවලි දෙකක දී ගෝල වාර්තා කළ පළමු නයිජීරියානු ක්‍රීඩකයා බවට ඔහු පත්විය. 2014 ලෝක කුසලානයේ දී ආර්ජෙන්ටිනාවට එරෙහිව ගෝල දෙකක් වාර්තා කරන්නට ඔහු සමත් විය.

80 වන මිනිත්තුවේ දී අයිස්ලන්තයට අනගි අවස්ථාවක් හිමි වූ අතර ‘VAR’ තාක්ෂණය යොදා ගනිමින් විනිසුරු ඔවුන්ට දඬුවම් පහරක් නියම කළේය. 83 වන මිනිත්තුවේ දී G SIGURDSSON එම දඬුවම් පහර ලබා ගත් නමුත් අවාසනාවන්ත ලෙස ඔහුගේ පාදයෙන් නික්මුණු පන්දුව ගෝල රාමුවට ඉහළින් ගියේ නිසැක ගෝලයක් ඔවුන්ට අහිමි කරමිනි.

(SIGURDSSON දඬුවම් පහර අපතේ යැව්වේය-FIFA.com)

අවසාන ලකුණු තත්වය: නයිජීරියාව 02 – 00 අයිස්ලන්තය

ගෝල රැස්කළ ක්‍රීඩකයින්:

නයිජීරියාව – MUSA 49’, 75‘

මේ තරග ප්‍රතිඵලයත් අනුව ආර්ජෙන්ටිනාව, නයිජීරියාව හා අයිස්ලන්තය යන රටවල් තුනටම D කාණ්ඩයෙන් අවසන් 16 ට පිවිසීමට තවමත් අවස්ථාව පවති.

(D කාණ්ඩයේ ලකුණු සටහන -FIFA.com)

රොනාල්ඩෝ සමඟ ලෝක කුසලානය හඹා යන පෘතුගාලය

2016 යූරෝ කුසලාන පාපන්දු තරගාවලිය ජයග්‍රහණය කරමින් ලොවම මවිතයට පත් කළ පෘතුගාලය …


NEYMAR හා COUTINHO අවසන් මිනිත්තුවේ දී බ්‍රසීලයට ජය ගෙනේ

FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ නවවැනි දිනය වූ ඊයේ (22) දිනයේ පළමු තරගය ලෙස ප්‍රබල බ්‍රසීලය හා කොස්ටාරිකාව සාන්ත පීටර්ස්බර්ග් ක්‍රීඩාංගණයේ දී තරග වැදුණු අතර මිනිත්තු 90ක ප්‍රබල කොස්ටරිකා උත්සාහය අපතේ යවමින් අවසන් මිනිත්තු කිහිපයේ ගෝල දෙකක් වාර්තා කළ බ්‍රසීලය ගෝල 2-0ක් ලෙස තරගයේ ජය හිමිකර ගැනීමට සමත් විය. මේ තරගය E කාණ්ඩයේ තරගයක් ලෙස පැවැත්විය.

තරගයේ නියමිත මිනිත්තු 90 වන තුරු කිසිදු කණ්ඩායමක් ගෝල වාර්තා කරගෙන නොසිටි අතර ගිලිහි ගිය කාලය වෙනුවෙන් එකතු වූ අමතර මිනිත්තු 6 දී මේ ගෝල දෙකම වාර්තා කිරීමට බ්‍රසීල ක්‍රීඩකයෝ සමත් වූහ.

තරගය පුරා බ්‍රසීලය අවස්ථා 23ක් ගෝල ලබා ගැනීමට උත්සහ කළ අතර කේලර් නවාස්ගේ සුපිරි ගෝල රැකීම හා කොස්ටාරිකා ආරක්ෂක වළල්ලේ සංවිධානාත්මක බව නිසා ඔවුන්ට එම අවස්ථා සාර්ථක කර ගැනීමට සමත් වූයේ නැත.

(කොස්ටාරිකා ක්‍රීඩකයෝ ආරක්ෂක ක්‍රීඩා විලාශයක් තරගය පුරාම අනුගමනය කරයි- FIFA.com)

සුපිරි ක්‍රීඩක නේමාර් හට හිමි වූ අවස්ථා 6න් පහක්ම අපතේ ගිය නමුත් සිය 57 වන ජාත්‍යන්තර ගෝලය ලෙස සිය අවසාන අවස්ථාව සාර්ථකව දැල තුලට යොමු කරන්නට ඔහු සමත් විය.

පළමු අර්ධයේ මෙන්ම තරගය පුරාම කොස්ටාරිකා ක්‍රීඩකයින් විශිෂ්ට ලෙස ආරක්ෂක ක්‍රීඩා විලාසයක නිරත වූ අතර 12 වන මිනිත්තුවේ ඔවුන්ට ලැබුණු ඉතා ආසන්න අවස්ථාවක් Marcos Urena  අතින් ව්‍යර්ථ වී ගියේය.

අනතුරුව 26 වන මිනිත්තුවේ දී බ්‍රසීලයට ඉතා අසන්න අවස්ථාවක් හිමි වූ අතර සුපිරි ක්‍රීඩා විලාසයක් පෙන්නුම් කළ කොස්ටාරිකා ගෝල රකින්නා රියාල් මැඩ්රිඩ් කණ්ඩායමේ කේලර් නවාස් අලංකාර ලෙස එම අවස්ථාව වැළැක්වීමට සමත් විය.

(නවාස් බ්‍රසීල අවස්ථා කිහිපයක්ම ව්‍යර්ථ කළේය-FIFA.com)

28 වන මිනිත්තුවේ දී බ්‍රසීල ක්‍රීඩක ගේබ්‍රියල් යේසුස් පන්දුව දැල තුලට යොමු කළත් පැහැදිලි ‘off side’ අවස්ථාවක් ඔහුට හරහට සිටියේය.

පළමු අර්ධය: බ්‍රසීලය 00 – 00  කොස්ටාරිකාව

දෙවන අර්ධයේ ද පන්දුව වැඩි කාලයක් තමන් අතේ තබාගෙන බ්‍රසීල ක්‍රීඩකයින් ක්‍රීඩා කළ නමුත් කොස්ටාරිකා ක්‍රීඩකයින් අට දෙනෙකු දඬුවම චතුරශ්‍රය අසලම රැඳී සිටීම බ්‍රසීලයට මහත් අවාසියක් විය.

දෙවන අර්ධය ආරම්භයේම Gabriel Jesus ගෝලයක් ලබා ගැනීම සඳහා ප්‍රබල ප්‍රහාරයක් එල්ල කළ අතර පන්දුව ගෝල රාමුවේ වැඩි ඉවත ගියේ ඔහුගේ බලාපොරොත්තු සුන් කරමිනි.

79 වන මිනිත්තුවේ දී නේමාර් හට බාධා කිරීමක් සිදු කළ බවට ඉල්ලීමක් කරමින් බ්‍රසීල ක්‍රීඩකයෝ දඬුවම් පහරක් ඉල්ලා සිටිය අතර විනිසුරු විසින් ‘VAR’ තාක්ෂණය භාවිතයෙන් එය දඬුවම් පහරක් නොවන බව තීරණය කළේය.

(NEYMAR ගේ ඉල්ලීම ‘VAR’ තාක්ෂණය මගින් නිශ්ප්‍රභ විය-FIFA.com)

අවසාන මිනිත්තු කිහිපයේ ගෝල රකින්නා ද ඇතුළුව ක්‍රීඩකයින් 10 දෙනෙක් චතුරශ්‍රය අසලම රැඳෙමින් සිය දැල ආරක්ෂා කළ අතර Firmino යොමු කළ දීර්ඝ පන්දු යොමු කිරීම Gabriel Jesus හට ගෝල චතුරශ්‍රය තුල දී නිසි ලෙස ලබා ගැනීමට නොහැකි වුවත් නියමිත අවස්ථාවේ දී එතනට පැමිණි P. COUTINHO 90+1 මිනිත්තුවේ දී ජය තහවුරු කරමින් පන්දුව කේලර් නවාස්ගේ පාදය යටින් දැල තුලට යැවීමට සමත් විය.

(P. COUTINHO බ්‍රසීලය ගලවාගත්තේ අවසන් මිනිත්තුවේ ගෝලයක් වාර්තා කරමිනි -FIFA.com)

අනතුරුව අවසාන මිනිත්තු කිහිපයේ බලාපොරොත්තු සුන්වූ කොස්ටාරිකා ක්‍රීඩකයින් අසරණ කරමින් 90+7 මිනිත්තුවේ දී සුපිරි ක්‍රීඩක නේමාර් තවත් ගෝලයක් වාර්තා කළේ ජයග්‍රහණයේ අවසාන ඇණය ද ගසමිනි.

(NEYMAR ද අවසාන මිනිත්තුවේ තවත් ගෝලයක් වාර්තා කරමින් ජය ස්ථිර කළේය -FIFA.com)

අවසාන ලකුණු තත්වය: බ්‍රසීලය 2-0 කොස්ටාරිකාව

ගෝල රැස්කළ ක්‍රීඩකයින්:

බ්‍රසීලය COUTINHO 90+1, NEYMAR 90+7

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<