මෙසී සහ ආර්ජෙන්ටිනා රසිකයින් හඬා වැටෙද්දී ප්‍රංශය දෙවන ජය වාර්තා කරයි

1140

2018 FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අටවැනි දිනය වූ ඊයේ (21) දිනයේ පළමු තරගය ලෙස ඩෙන්මාර්කය හා ඕස්ට්‍රේලියාව තරග වැදුණු අතර ගෝල 1-1ක් ලෙස තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.

දිනයේ දෙවන තරගය ලෙස ප්‍රබල ප්‍රංශය හමුවේ ගෝල 1-0ක් පරාජයක් ලබා තරගාවලියෙන් ඉවත් වන්නට පේරු දේශයට සිදු විය. තෙවැනි තරගයේ දී සුපිරි ක්‍රීඩක ලයනල් මෙසීගේ ආර්ජෙන්ටිනාව ක්‍රෝඑ්ශියාව හමුවේ ගෝල 3-0ක දැවැන්ත පරාජයක් අත්වින්දේ ආර්ජෙන්ටිනා බලාපොරොත්තු නයිජීරියාව හා අයිස්ලන්තය මත පටවමිනි.

කොස්ටා, රොනාල්ඩෝ හා සුවාරෙස් රටවල් තුනක් හඬවයි

2018 FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සත්වැනි දිනය වූ ඊයේ (20) දිනයේ පළමු තරගය..

මෙසීගේ ආර්ජෙන්ටිනාව ලුකාගේ ක්‍රෝඑ්ශියාව හමුවේ බින්දුවට වැටේ

දිනයේ තෙවැනි තරගය ලෙස ප්‍රබල ආර්ජෙන්ටිනාවට හා පෙරළිකාරී ක්‍රෝඑ්ශියාව හමුවේ ගෝල 3-0ක දැවැන්ත පරාජයක් අත්විඳීමට සිදු විය. තරගය D කාණ්ඩයේ තරගයක් ලෙස Nizhny Novgorod හි Nizhny Novgorod ක්‍රීඩාංගණයේ දී පැවැත්විය.

ලුකා මොඩ්රික් ප්‍රමුඛ ක්‍රෝඑ්ශියා ක්‍රීඩකයින් විශිෂ්ට ක්‍රීඩා විලාසයක නිරත වූ අතර ආර්ජෙන්ටිනා ආරක්ෂක ක්‍රීඩකයින් හා තරගය පුරා ඉතා දුර්වල ක්‍රීඩා විලාසයක නිරත වූ ආර්ජෙන්ටිනා ගෝල රකින්නා ඔවුන්ට කිසිදු පීඩනයක් එල්ල කිරීමට සමත් වූයේ නැත. ලයනල් මෙසී ද මහත් පීඩනයකින් සිටිනු දක්නට ලැබුණු අතර ඔහුට ද එතරම් යමක් කිරීමේ අවස්ථාව හිමි වූයේ නැත.

කෙසේ වෙතත් මෙය ආර්ජෙන්ටිනාවේ තරගාවලි අවසානය නොවනු ඇති අතර හෙට පැවැත්වෙන නයිජීරියා අයිස්ලන්ත තරගය මත ඔවුන්ගේ දෛවය ලියැවෙනු ඇත.

(ලුකා මොඩ්රික්ගේ විශිෂ්ට ක්‍රීඩා විලාසය ක්‍රෝඒශියාවට ජය ගෙනාවේය-FIFA.com)

ක්‍රෝඑ්ශියානු කණ්ඩායමක් ලෝක කුසලාන තරගයක දී දකුණු ඇමරිකානු රටක් හමුවේ ජයක් වාර්තා කළ පළමු අවස්ථාව හා ක්‍රෝඑ්ශියානු ක්‍රීඩකයෙකු ගෝලයක් වාර්තා කළ පළමු අවස්ථාව ලෙස ඉතිහාසයට එක්විය. මීට පෙර ඔවුන් දකුණු ඇමරිකානු රටකට එරෙහිව වාර්තා කර තිබූ එකම ගෝලය 2014 දී බ්‍රසීලයට එරෙහිව තිබූ ගෝලයක් වූ අතර එයත් බ්‍රසීල ක්‍රීඩක Marceloගේ ‘Own Goal’ අවස්ථාවක් ලෙස සනිටුහන් විය.   

පළමු අර්ධයේ 29 වන මිනිත්තුවේ ගෝල ලබා ගැනීම ආරම්භ කරන්නට ආර්ජෙන්ටිනාවට ඉතා වාසනාවන්ත අවස්ථාවක් ලැබුණු නමුත් එම අනගි අවස්ථාව සාර්ථක කර ගැනීමට Enzo Perez සමත් වූයේ නැත. ආර්ජෙන්ටිනා ක්‍රීඩකයෙකු එල්ල කළ ප්‍රහාරයක් ක්‍රෝඑ්ශියා ආරක්ෂක ක්‍රීඩකයෙකුගේ වැදී නවතා Enzo Perezගේ පාදයට ලැබුණු නමුත් ඉතා පහසුවෙන් ලබාගත හැකිව තිබූ ගෝලය ඔහු අහිමි කරගත්තේය.

(ආර්ජන්ටිනා ක්‍රීඩකයින්ට ආසන්න අවස්ථා රාශියක්ම ගිලිහි ගියේය-FIFA.com)

Mario Mandzukic ආර්ජෙන්ටිනා අර්ධයට පිවිස ගෝල ලබා ගැනීමට කිහිප වරක්ම උත්සහ කළ ද ඔහුගේ එම උත්සාහයන් සාර්ථක නොවූ නිසා පළමු අර්ධය දෙපිලම ගෝල රහිතව නිමා විය.

පළමු අර්ධය: ආර්ජෙන්ටිනාව 00 – 00 ක්‍රෝඑ්ශියාව

දෙවන අර්ධය ආරම්භයේ සිටම ක්‍රෝඑ්ශියා නායක රියාල් මැඩ්රිඩ් කණ්ඩායමේ ලුකා මොඩ්රික්ගේ සුපිරි ක්‍රීඩා විලාසය හමුවේ ආර්ජෙන්ටිනාවට ගැටලු රාශියක් ඇතිවූ අතර REBIĆ හා අනෙක් මැද පෙළ ක්‍රීඩකයින්ගෙන් ද ඔහුට අනගි සහයක් ලැබුණි.

(REBIĆ වසර පහකට පමණ පසු ගිය පළමු ජාත්‍යන්තර ගෝලය වාර්තා කිරීමට සමත්විය-FIFA.com)

53 වන මිනිත්තුවේ දී ආර්ජෙන්ටිනා ගෝල රකින්නා ක්‍රෝඑ්ශියාවට සිය පළමු ගෝලය පූජා කළේය. දෑතෙන් ගෙන ආරක්ෂා කිරීමට තිබූ අවස්ථාවකට ඔහු පා පහරක් දුන් අතර  ඔහුගේ ඉලක්කය වැරදි පන්දුව REBIĆ වෙත ගියේ ඔහුට එම අවස්ථාවන් මනා ලෙස ප්‍රයෝජන ගෙන අලංකාර ගෝලයක් වාර්තා කිරීමට ඉඩ හසර විවර කරමින්ය. තරගය පුරාම ගෝල රකින්නා වූ Willy Caballeroගේ දායකත්ව තිබුණේ ආර්ජෙන්ටිනාවට නොව ක්‍රෝඒශියාවටයි.

(ඊයේ තරගය Willy Caballero ගේ නරකම තරගයක් විය-FIFA.com)

අනතුරුව 63 වන මිනිත්තුවේ දී ආර්ජෙන්ටිනාවට  තවත් ඉතා අසන්න අවස්ථාවක් හිමි වූ අතර ගෝල ආරක්ෂක ක්‍රීඩකයෙකුගේ වැදී නවතා පැමිණි පන්දුව දැල වෙත යොමු කරගන්නට සුපිරි ක්‍රීඩක මෙසී හෝ Pérez සමත් වූයේ නැත.

(මෙසී මහත් පිඩනයකින් ක්‍රීඩා කරනු දක්නට ලැබුණු අතර ඔහුට සහය වීමට කිසිදු ඉඩක් ලැබුනේ නැත-FIFA.com)

දෙවන අර්ධයේ අවසාන කාල සීමාවට පිවිසීමත් සමඟ තරගය තවත් උණුසුම් වූ අතර ක්‍රීඩකයින් අතර වචන හුවමාරු කිහිපයක් ද සිදු වනු දක්නට ලැබුණි.

(මොඩ්රික් ගේ මායාව ආර්ජන්ටිනා වේ බලාපොරොත්තු සුන් කළේය-FIFA.com)

තරගය පුරා මොඩ්රික් ක්‍රෝඑ්ශියා නැංගුරම සේ  විශිෂ්ට ලෙස ක්‍රීඩා කළ අතර 80 වැනි මිනිත්තුවේ දී ආර්ජෙන්ටිනා ආරක්ෂක ක්‍රීඩකයෙකුට ආවරණය වෙමින් දඬුවම් පහර චතුරශ්‍රයට මදක් පිටත සිටිමින් කවාකාරව යන සේ අලංකාර ගෝලයක් වාර්තා කිරීමට ඔහු සමත් වූයේ ආර්ජෙන්ටිනා බලාපොරොත්තු බිඳ දමමිනි. ආර්ජෙන්ටිනා ගෝල  රකින්නාට පන්දුව පැමිණියේ කොහෙන්දැයි කියාවත් කිසිදු අදහසක් තිබුණේ නැත.

අනතුරුව සුන්වූ බලාපොරොත්තු සමඟින් ඉතිරි කාලය ගෙවා දැමීමට උත්සහ කළ ආර්ජෙන්ටිනා පරාජයේ අවසාන ඇණය ද ගසමින් කඳුළු සාගරයේ ආර්ජෙන්ටිනා ප්‍රේක්ෂකයින් ගිල්වා දැමීමට RAKITIĆ සමත් වූයේ ආර්ජෙන්ටිනා ආරක්ෂක ක්‍රීඩකයින් ඔහුට කිසිදු බාධාවක් නොකළ නිසයි. නොඑසවුණු ‘Off Side’ කොඩිය එසවෙන තුරු ආර්ජෙන්ටිනා ආරක්ෂක ක්‍රීඩකයින් බලා සිටි අතර RAKITIĆට පන්දුව යොමු කරන විටත් ඔවුන් කිසිවක් නොකළ අතර RAKITIĆ පන්දුව පහසුවෙන් ගෝලය වෙත යොමු කරන විටත් ඔවුන් කිසිවක් නොකළේ පැති විනිසුරුගේ සහය බලාපොරොත්තුවෙනි. නමුත් විනිසුරු ගෝලය සංඥා කළේ ක්‍රෝඑ්ශියාවට ලෝක කුසලානයක පළමු වරට දකුණු ඇමරිකානු රටක් සමඟ ජයක් හිමි කර දෙමිනි.

(RAKITIĆ ජයග්‍රහණයේ අවසන් ඇණය ගැසුවේ කිසිදු අපහසුවකින් තොරවය-FIFA.com)

අවසාන ලකුණු තත්වය: ආර්ජෙන්ටිනාව 0-3 ක්‍රෝඑ්ශියාව

ගෝල ලබාගත් ක්‍රීඩකයෝ

  • ක්‍රෝඑශියාව – REBIĆ 53′ , MODRIĆ 80′ , RAKITIĆ  90’+1

බෙල්ජියමේ “රතු යක්ෂයින්” සහ ලෝක කුසලාන බලාපොරොත්තු

රුසියාවට පියාසර කළ ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් අනුව 3 වැනි ස්ථානයට හිමිකම්..

19 වියැති Kylian Mbappe පේරු සිහින බොඳ කරයි

ඊයේ දිනයේ දෙවන තරගය ලෙස ප්‍රබල ප්‍රංශය, පේරු දේශය සමඟ තරග වැදුණු අතර Kylian Mbappeගේ හුදකලා ගෝලය නිසා ගෝල 1-0ක් ලෙස පේරු දේශයට 2018 ලෝක කුසලාන පාපන්දු තරගාවලියෙන් ඉවතට විසිවන්නට සිදු විය. මෙම තරගය C කාණ්ඩයේ තරගයක් ලෙස Ekaterinburg හි Ekaterinburg ක්‍රීඩාංගණයේ දී පැවැත්විය.

ඒ අනුව ප්‍රංශ කණ්ඩායම 16 දෙනාගේ වටයට යෑමට වරම් හිමිකර ගන්නා ලදි.

ඊයේ දිනයේ සිය 100 වන තරගය ක්‍රීඩා කළ ප්‍රංශයේ Hugo Lloris මේ තරගයේ දී සුවිශේෂ දක්ෂතා පෙන්නුම් කරමින් පේරු ක්‍රීඩකයින්ට එකඳු ගෝලයක් වත් ලබා නොදුන් අතර පළමු මිනිත්තුවේ සිටම ප්‍රංශ ක්‍රීඩකයෝ තරගයේ ඉදිරිය ගැනීමට සමත් විය. නමුත් දෙවන අර්ධයේ ප්‍රබල තරගයක් දෙමින් නැවත තරගයට අවතීර්ණ වීමට ඔවුන් උත්සහ කළ ද ප්‍රබල ප්‍රංශ ආරක්ෂක වළල්ල ඔවුන්ට කිසිදු අවස්ථාවක්  ලබා දුන්නේ නැත.

(Mbappe සිය මංගල ලෝක කුසලාන ගෝලය ඉතා පහසුවෙන් වාර්තා කර ගැනීමට සමත්විය-FIFA.com )

34 වන මිනිත්තුවේ දී පේරු ආරක්ෂක වළල්ලේ හිඩැසක් දුටු Giroud දැල වෙත යොමු කළ ප්‍රහාරයක් පේරු ආරක්ෂක ක්‍රීඩකයෙකුගේ පාදයේ වැදී ඉහළ ගිය අතර නියම වෙලාවට නියමිත ස්ථානයේ සිටි යොවුන් ක්‍රීඩක Mbappe ඉතා පහසුවෙන් පන්දුව දැල වෙත යොමු කරන්නට සමත් විය.

ඒ අනුව MBAPPE (අවුරුදු 19 දින 183) ලෝක කුසලානයක ගෝලයක් වාර්තා කළ ළාබාලම ප්‍රංශ ක්‍රීඩකයා ලෙස ඉතිහාස ගත වූයේ David Trezeguetගේ වාර්තාව බිඳ දමමිනි.  

පළමු අර්ධය: ප්‍රංශය 01 – 00 පේරු

දෙවන අර්ධය ද පළමු අර්ධයට වඩා වැඩි වෙනසක් නොපෙන්වූ අතර 65 වන මිනිත්තුවේ දී AQUINOගේ උත්සහයක් ගෝල රාමුවේ ගෑවී නොගෑවී ඉවත ගියේ පේරු බලාපොරොත්තු සුන් කර දමමිනි.

(AQUINO ගේ ආසන්න උත්සහයක් ඉවත ගියේ පේරු සිහින බොඳ කරමිනි-FIFA.com)

ලෝක කුසලාන තරගවල දී පළමු අර්ධයේ තරගයේ පෙරමුණ ගත් ප්‍රංශ කණ්ඩායමක් එකදු තරගයක් වත් පරාජය වී නොමැති අතර තරග 20කදී ප්‍රංශය පළමු අර්ධයේ පෙරමුණ ගෙන ඇති අතර ඉන් තරග 19ක් ම ජය ගත්තේ එක තරගයක් ජය පරාජයෙන් තොරව අවසන් කරමිනි.

අවසාන ලකුණු තත්වය: ප්‍රංශය 01 – 00 පේරු

ගෝල ලබාගත් ක්‍රීඩකයෝ

  • ප්‍රංශය – Mbappe 34’

වසර 16 අභිමානය නැවතත් සොයා යන මෙසී සහ ආර්ජෙන්ටිනාව

ලෝක පාපන්දු කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අනුව 5 වැනි ස්ථානය හිමි කරගෙන සිටින ආර්ජෙන්ටිනා..

ඩෙන්මාර්කය හමුවේ ඕස්ට්‍රේලියානු සිහින අවදානමේ

2018 FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අටවැනි දිනය වූ ඊයේ (21) දිනයේ පළමු තරගය ලෙස ඩෙන්මාර්කය හා ඕස්ට්‍රේලියාව තරග වැදුණු අතර ගෝල 1-1ක් ලෙස තරගය ජය පරාජයෙන් තොරව අවසන් වූයේ ඕස්ට්‍රේලියාවේ අවසන් 16 වටයේ සිහිනය අවදානමේ දමමිනි.

C කාණ්ඩයේ තරගයක් ලෙස මේ තරගය Samara ක්‍රීඩාංගණයේ දී පැවැත්විය. ඒ අනුව 16 දෙනාගේ වටයට පිවිසීමට නම් මීළඟට පේරු සමඟ පැවැත්වෙන තරගයේ ජය ඔවුන්ට අනිවාර්ය වනු ඇත. කෙසේ වෙතත් ඕස්ට්‍රේලියානුවෝ තරග දෙකේ දී ම ඉතා දක්ෂ ලෙස ක්‍රීඩා කළ නමුත් ජයක් වාර්තා කර ගැනීම සඳහා ඔවුන් අවාසනාවන්ත වූයේ ඔවුන්ගේ පුහුණුකරු වූ VAN MARWIJK Bertගේ ඉමහත් කනගාටුවට හේතුවෙමිනි.

තරගයේ වාර්තා වූ ගෝල දෙකම පළමු අර්ධයේ වාර්තා වූ අතර ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන් ප්‍රබල උත්සාහයක නිරත වුවත් දෙවන අර්ධයේ දී ජයග්‍රාහි ගෝලය වාර්තා කර ගැනීමට ඔවුන්ට වාසනාව තිබුණේ නැත.

සයවැනි ලෝක කුසලානය සොයා යන බ්‍රසීලය

ලෝක කුසලාන පාපන්දු වංශකථාවේ බ්‍රසීල කණ්ඩායමට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි…

තරගය ආරම්භයේම ක්‍රියාත්මක වූ ERIKSEN 7 වන මිනිත්තුවේ දී ඔහුට ලැබුණු පන්දු යොමු කිරීමක් සමඟින් ඕස්ට්‍රේලියානු ආරක්ෂක වළල්ල ඉක්මවා ගිය අතර ලද අවස්ථාව උපරිම ලෙස ප්‍රයෝජනයට ගනිමින් අලංකාර ලෙස පළමු ගෝලය වාර්තා කර ගන්නට ඔවුන් සමත් විය.

(ERIKSEN අවසාන තරග විස්සේ දී ගෝල 17ක් වාර්තා කර ගත් අතර මෙය සුවිශේෂ වන්නේ ඊට ප්‍රථම තරග 50ක් තුල දී ඔහු රැස්කර ගෙන සිටියේ ගෝල 6ක් බැවිනි-FIFA.com )

අනතුරුව ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් ප්‍රබල උත්සාහයක නිරතවූ අතර ඔවුන්ට ‘VAR’ වාසනාව ගෙනාවේ 38 වන මිනිත්තුවේ දීය.

දඬුවම් චතුරශ්‍රය තුල දී ඩෙන්මාර්ක් ක්‍රීඩකයෙකු වූ Yurary ගේ අතේ පන්දුව වැදුණු අතර විනිසුරු එය නොදැක තරගය ඉදිරියට පවත්වා ගෙන ගිය නමුත් රූපවාහිනි විනිසුරු විසින් ප්‍රධාන විනිසුරුට දඬුවම් පහරක් ලබා දෙන ලෙස දන්වා සිටියේ ‘VAR’ තාක්ෂණය භාවිතා කරමිනි.

(JEDINAK මෙවර ලෝක කුසලානයේ සිය දෙවන ගෝලයත් දඬුවම් පහරක් මගින් වාර්තා කළේය_FIFA.com)

38 වන මිනිත්තුවේ දී JEDINAK එම දඬුවම් පහර සාර්ථක කර ගත්තේ ගෝල සමකර ගනිමින්ය.

පළමු අර්ධය: ඕස්ට්‍රේලියාව 01 – 01 ඩෙන්මාර්කය  

දෙවන අර්ධයේ දී ඕස්ට්‍රේලියා ක්‍රීඩකයින් ප්‍රබල උත්සාහයක නිරත වුවද ගෝලයක් ආසන්නයට පැමිණීමටවත් ඔවුන් වාසනාවන්ත වූයේ නැත.

මේ වන විට ලෝක කුසලාන තරග 5ක් ක්‍රීඩා කර ඇති ඕස්ට්‍රේලියාව එකදු තරගයක් හෝ ජය ගැනීමට සමත්ව නැති අතර 16 දෙනාගේ වටයට පිවිසීමට නම් පේරු දේශය සමඟ මීළඟ  තරගයේ ජය ඔවුන්ට ඉතා වැදගත් වනු ඇත.

අවසාන ලකුණු තත්වය: ඕස්ට්‍රේලියාව 01 – 01 ඩෙන්මාර්කය

ගෝල රැස් කළ ක්‍රීඩකයෝ

  • ඕස්ට්‍රේලියාව – JEDINAK 38’
  • ඩෙන්මාර්කය – ERIKSEN 7’

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<