රොනාල්ඩෝ සමඟ ලෝක කුසලානය හඹා යන පෘතුගාලය

1429

2016 යූරෝ කුසලාන පාපන්දු තරගාවලිය ජයග්‍රහණය කරමින් ලොවම මවිතයට පත් කළ පෘතුගාලය සාර්ථක ලෝක කුසලාන තරගාවලියක් බලාපොරොත්තුවෙන් මනා ආත්ම ශක්තියකින් යුතුව රුසියාවට පියාසර කරනු ඇත.

ශූරතාවය සාර්ථකව රැකගන්නට ප්‍රබල ජර්මනියට හැකි වෙයි ද?

පාපන්දු ලෝක කුසලානයක් ජයග්‍රහණය කළ කණ්ඩායමක් නැවතත් ඊළඟ තරගාවලියේ දී …

පෘතුගාලයේ ලෝක කුසලාන ඉතිහාසය.

Portugal Team in 1966

ලෝක කුසලාන හයක් ක්‍රීඩා කිරීමට පෘතුගාල කණ්ඩායම සමත්ව ඇති අතර ඔවුන්ගේ හොඳම ලෝක කුසලානය 1966 ලෝක කුසලානය යි. 1966 දී ඔවුන් අවසාන පූර්ව වටයෙන් ඉවතට විසිවුවත් සෝවියට් රුසියාව ගෝල 2-1ක් ලෙස පරාජය කරමින් තෙවන ස්ථානය දිනා ගැනීමට ඔවුන් සමත් විය.

1966 ලෝක කුසලානය ඔවුන්ට තවත් අතකින් වැදගත් වනුයේ එය පෘතුගාලය සහභාගී වූ පළමු ලෝක කුසලාන තරගාවලිය වීම නිසයි. අවාසනාවන්ත ලෙස ඉන්පසුව පැවති ලෝක කුසලාන තරගාවලි හතරට (1970-1982) සහභාගී වීමට ඔවුන්ට නොහැකි විය. 1986 ලෝක කුසලානයේ ඔවුන් පළමු වටයෙන්ම ඉවත් විය. 1990, 1994 හා 1998 ලෝක කුසලාන සඳහා ඔවුන් සුදුසුකම් ලබා ගත්තේ නැත.

මෑත කාලීන ලෝක කුසලාන ඉතිහාසය දෙස හැරී බලන විට 2002 ලෝක කුසලානයට ඔවුන් සුදුසුකම් ලැබුවත් ඇමරිකා එක්සත් ජනපදය, දකුණු කොරියාව සමඟ පරාජයට පත්වීම නිසා එම ලෝක කුසලාන තරගාවලියේ ද වැඩි කාලයක් රැඳෙන්නට ඔවුන්ට නොහැකි විය.

2006 වසරේ දී අද්විතීය ඉදිරි නැම්මක් පෙන්වූ පෘතුගාලය පළමු වටයේ තරගවල දී අපරාජිතව සිටිමින් 16 දෙනාගේ වටයේ දී නෙදර්ලන්තය පරාජය කිරීමට සමත් විය. එංගලන්තය සමඟ අර්ධ අවසාන පූර්ව තරගයේ දී දඬුවම් පහර මගින් ගෝල 3-1ක් ලෙස අවසන් පූර්ව වටයට පිවිසීමට ඔවුන් සමත් වුන අතර අවසන් පූර්ව වටයේ දී ප්‍රංශය ගෝල 1 -0ක් ලෙස ඔවුන් ඉවතට ඇද දමන්නට සමත් විය. සිව්වැනි ස්ථානය සමඟ තරගයෙන් ජර්මනිය හමුවේ පරාජය වූ ඔවුන් 2006 තරගාවලිය අවසන් කළේ සිව්වැන්නො ලෙසයි.

2010 තරගාවලියෙන් ද සිතූ තරම් ප්‍රතිඵල නෙලාගන්නට ඔවුන් අසමත් විය. 16 දෙනාගේ වටයේ දී පසුව එම තරගාවලියේ ලෝක ශූරයින් වූ ස්පාඤ්ඤය හමුවේ ගෝල 1-0ක් ලෙස පරාජය වී ඉවතට විසිවන්නට ඔවුන්ට සිදු විය. 2014 තරගාවලියේ දී ලෝක ශූර ජර්මනිය හමුවේ ගෝල 4-0ක් දැවැන්ත පරාජයක් අත්විඳි ඔවුන් ඇමරිකා එක්සත් ජනපදය සමඟ තරගය ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීමට සමත් වුනත් ඝානාව සමඟ තරගය 2-1ක් ලෙස පරාජය වීමත් සමඟින් නැවත වතාවක් අවාසනාවන්ත ලෙස පළමු වටයෙන් ඉවතට විසි විය.  

ග්‍රීස්මාන් සමඟින් රුසියාවට යන පෙරළිකාර ප්‍රංශය

2016 යුරෝපා කුසලාන පාපන්දු තරගාවලියේ ජයග්‍රහණය නූලෙන් ගිලිහුනත් ප්‍රබල ප්‍රංශ පාපන්දු…

මෙවර ලෝක කුසලානයට සුදුසුකම් ලැබීම

2016 ‘එඩර්’ 109 වැනි මිනිත්තුවේ රැස්කළ ගෝලයෙන් ප්‍රංශය පරදා යුරෝපා ශූරයින් වූ පෘතුගාලය මේ වන විට ලෝක ශ්‍රේණිගත කිරීම්වල සිව්වැනි ස්ථානයේ සිටියි.

Portugal celebrate after defeating Switzerland (Photo Credits: Reuters

ලෝක කුසලාන තේරීම් තරගවලට පෘතුගාලය B කාණ්ඩයට වැටුණු අතර පළමු තරගයේම යුරෝපා කිරුල දිනූ පෘතුගාලය ස්විස්ටර්ලන්තය හමුවේ ගෝල 2-1ක් ලෙස පරාජය විය. 2016 ඔක්තෝබරයේ ෆෙරෝ දූපත් ගෝල 6-0ක් ලෙස පරාජය කරමින් තේරීම් තරගාවලියේ දෙවන තරගය නිමා කළ ඔවුන් 2017 FIFA කන්ෆෙඩරේෂන් කුසලානයේ (FIFA Confederations cup) තෙවැනි ස්ථානය දිනා ගැනීමට සමත් විය.

2017 සැප්තැම්බරයේ ගෝල 1-0ක් ලෙස යාන්තමින් හංගේරියාව පරාජය කළ ඔවුන්ට B කාණ්ඩය ජය ගැනීමට නම් නැවත වතාවක් ස්විස්ටර්ලන්තය පරාජය කළ යුතුව තිබුණු අතර සාර්ථක තරගයකට පසු ලිස්බන් හිදී සංචාරක ස්විස්ටර්ලන්තය ගෝල 2-0ක් ලෙස පරාජය කරමින් ඔවුන් රුසියාවට පියාසර කිරීමේ වරම් හිමිකර ගත්හ.

ලෝක කුසලානයට පෙර පැවති පුහුණු තරගවල දී ඊජිප්තුව 2-1ක් ලෙස පරාජය කළ නමුත් 3-0ක් ලෙස නෙදර්ලන්තය හමුවේ පරාජය වන්නට ඔවුන්ට සිදු විය.

කළමනාකරු හා ක්‍රීඩා රටාව

Fernando Santos (Photo Credits: beINsports.com)

ෆර්නැන්ඩෝ සැන්ටෝ 2014 දී පෘතුගාල ජාතික පාපන්දු කණ්ඩායමේ පුහුණුකරු බවට පත්වීම් ලැබූ අතර දිගින් දිගටම පරාජය වූ කණ්ඩායමක් නැවත ගොඩනගන්නට ඔහුට භාර විය.

63 හැවිරිදි සාමකාමී මේ බුද්ධිමතා සිය පත්වීම මනාවට සාධාරණීකරණය කරමින් 2016 දී යූරෝ කුසලානයේ ශූරයින් දක්වාත්, 2017 FIFA Confederations කුසලානයේ තුන්වැනි ස්ථානය දක්වාත් පෘතුගාලය මෙහෙයවන්නට සමත් විය.

ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව වහාම පුහුණුකරු භූමිකාවට අවතීර්ණ වූ සැන්ටෝ පෝර්ටෝ පාපන්දු ක්‍රීඩා සමාජයේ පුහුණුකරු ලෙස වැඩ ආරම්භ කළ අතර පසුව ඒ. ඊ. කේ. ඇතන්ස් (AEK Athens FC), ස්පොර්ටින් ලිස්බන්, බෙන්ෆිකා, ‘PAOK FC’ ඇතුළු කණ්ඩායම් කිහිපයකම පුහුණුකරු ලෙස කටයුතු කළේය. ග්‍රීසියේ ජාතික පාපන්දු කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ ඔහු 2014 දී ග්‍රීසියේ හොඳම ලෝක කුසලාන දක්ෂතාවය දක්වමින් ග්‍රීසිය 16 දෙනාගේ වටය දක්වා ගෙන යන්නට සමත් විය.  

ඉතිහාසයේ මතක; FIFA ලෝක කුසලානය (1950 – 1958)

දෙවෙනි ලෝක යුද්ධය හේතුවෙන් 1938 වසරේ ලෝක කුසලානයෙන් පසු නැවතත් ලෝක කුසලානයක්…

ඔහු පෘතුගාලය භාර ගැනීමෙන් අනතුරුව මංගල තරගයේ දී ඩෙන්මාර්කය පරාජය කරමින් ගෝල 1-0ක් ලෙස ජය ගන්නට පෘතුගාලය සමත් විය.

පසුගිය තරග කිහිපයේම සැන්ටෝගේ මෙහෙය වීම යටතේ 4-4-1-1 තරග ආකෘතියට පෘතුගාල කණ්ඩායම ක්‍රීඩා කරනු දක්නට ලැබුණි.  

වාසි හා අවාසි

සුපිරි ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ පෘතුගාලයේ ප්‍රධානතම තුරුම්පුව වන අතර සියලුම ක්‍රීඩකයෝ ඔහුගේ අඩිපාර ඔස්සේ මෙවර තරගාවලියට පිවිසෙනු ඇත. පස්වතාවක් පාපන්දු ලොව ඉහළම සම්මානය වන ‘Ballon d’Or’ සම්මානය දිනූ ඔහුගේ අධිෂ්ඨානය හා දක්ෂතාව පෘතුගාලය ලෝක කුසලානයේ යන ගමන තීරණය කරනු ඇත.

අනෙක් අතට රොනාල්ඩෝ මතම කණ්ඩායම යැපීම ඔහුට ද මහත් පීඩනයක් වනු ඇත. විශාලම ගැටලුව නම් ඔවුන්ගේ වයස්ගත ආරක්ෂක පසුපෙළයි. පෙපේ හට දැන් වයස අවුරුදු 35කි, බ්රුනෝ අල්වෙස් හට දැන් වයස 36කි. ජොසේ ෆොන්ටේ හට වයස අවුරුදු 34ක් වන අතර අත්දැකීම් නම් බහුල වුවත් ආබාධවලින් තොරව මිනිත්තු 90වම එකම වේගයෙන් ක්‍රීඩා කිරීම ඔවුන්ට මදක් අපහසු වනු ඇත.  

පෘතුගාලයේ ක්‍රීඩා තරු

Bernardo Silva

2014 ලෝක කුසලානයේ සිට ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ දිගින් දිගටම පන්දුව දැල වෙත යොමු කරමින් සාර්ථකව ගෝල ලබා ගනිමින් සිටින අතර 2017/18 යුරෝපා ලීග් පාපන්දු තරගාවලිය දිනූ රියාල් මැඩ්රිඩ් කණ්ඩායම වෙනුවෙන් ඔහු ගෝල 43ක් රැස් කිරීමට සමත් විය.

බර්නාඩෝ සිල්වා කණ්ඩායමේ සිටින නැගී එන තරුවක් වන අතර මැන්චෙස්ටර් සිටි කණ්ඩායම නියෝජනය කරමින් එතිහැඩ් ක්‍රීඩාංගණයේ දී මැන්චෙස්ටර් ක්‍රීඩාලෝලීන්ගේ ජය ඝෝෂා දිනා ගත් ඔහු මෙවර ලෝක කුසලාන තරගාවලියේ අනෙක් කණ්ඩායම්වලට ප්‍රබල අභියෝගයක් වනු ඇත.  

ප්‍රතිවාදීන්ට භයානකයි

Andre Silva

පෘතුගාලයට හොඳ සෙන්ටර් ෆෝවර්ඩ් ක්‍රීඩකයෙකුගේ අඩුපාඩුවක් පැවති අතර රොනාල්ඩෝ හා නානි මාරුවෙන් මාරුවට එම ස්ථානයේ ක්‍රීඩා කරනු දක්නට ලැබුණි. නමුත්  අන්ද්රේ සිල්වා සෙන්ටර් ෆෝවර්ඩ් ස්ථානයේ සිය දක්ෂතා පෙන්වා ඇති අතර සිල්වා, රොනාල්ඩෝ හා නානි සංකලනය ප්‍රතිවාදීන්ට සෑහෙන තරමේ අභියෝගයක් එල්ල කරනු ඇත.

22 හැවිරිදි සිල්වා වයස 20 දී පෝර්ටෝ ක්‍රීඩා සමාජයට සිය මංගල වෘත්තීමය තරගය ක්‍රීඩා කළ අතර 2017 ජුනි මාසයේ ඒ. සි. මිලාන් ක්‍රීඩා සමාජයට ගිය ඔහු තරග 24ක දී ගෝල දෙකක් පමණක් වාර්තා කරමින් එතරම් සාර්ථකත්වයක් අත්කර ගැනීමට අසමත් විය. නමුත් ජාතික කණ්ඩායමේ තරගවල දී ඔහු ඉහළ දක්ෂතා පෙන්වා තිබීම කණ්ඩායමට ඔහුව එක්කර ගැනීමට ප්‍රධාන සාධකයක් විය.

අවසාන සංචිතය

ගෝල රකින්නන් – ඇන්තනි ලෝපේස්, රුයි පැට්‍රිකෝ (Anthony Lopes, Beto, Rui Patricio)

පසුපෙළ ආරක්ෂක ක්‍රීඩකයින් – බ්රුනෝ අල්වෙස්, සේද්රික් සොරෙස්, ජොසේ ෆොන්ටේ, මාරියෝ රුයි, පෙපේ, රෆායෙල් ගුරෙරියෝ, රිකාඩෝ පෙරෙයිරා, රුබන් ඩියාස් (Bruno Alves, Cedric Soares, Jose Fonte, Mario Rui, Pepe, Raphael Guerreiro, Ricardo Pereira, Ruben Dias)

මැද පෙළ – ඒඩ්රියන් සිල්වා, බ්රුනෝ ෆෙරනැන්ඩේස්, ජොආ මාරියෝ, ජොආ මෞටින්හෝ, මැනුවෙල් ෆර්නාන්ඩේස්, විලියම් කර්වල්හෝ, අන්ද්රේ සිල්වා, බෙර්නාර්ඩො සිල්වා (Adrien Silva, Bruno Fernandes, Joao Mario, Joao Moutinho, Manuel Fernandes, William Carvalho, Andre Silva, Bernardo Silva)  

ඉදිරිපෙළ ප්‍රහාරකයින් – ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ, ගෙල්සන් මර්ටින්ස්, ගොන්සාලෝ ගුඩෙස්, රිකාඩෝ කුරෙස්මා (Cristiano Ronaldo, Gelson Martins, Goncalo Guedes, Ricardo Quaresma)

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<