චරිත්, ප්‍රියමාල් සහ කුසල් අර්ධ ශතක වාර්තා කරති

356

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් පළාත් සුපර් 4 ක්‍රිකට් තරගාවලියේ ඊයේ (08) ආරම්භ වූ තරගවල දී අර්ධ ශතක 3ක් වාර්තා වෙමින් දිනය අවසන් විය. එහි දී නුවර කණ්ඩායමේ චරිත් අසලංක සහ ප්‍රියමාල් පෙරේරා තම කණ්ඩායම් වෙනුවෙන් අර්ධ ශතක ලබා ගනිද්දී, දඹුල්ල කණ්ඩායම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් අර්ධ ශතකයක් වාර්තා කළේය.

ශ්‍රී ලංකාව 6-0ක් ලෙස එංගලන්තය මට්ටු කරයි

තලවතුගොඩ ඔස්ටේශියා ජාත්‍යන්තර ගෘහස්ථ ක්‍රිකට් පිටියේ දී නිමා වූ සංචාරක එංගලන්ත…

පන්දු යැවීමේ දී කොළඹ කණ්ඩායමේ වනිඳු හසරංග කඩුලු 4ක් දවා ගනිමින් දිනයේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ගාල්ල කණ්ඩායම වෙනුවෙන් චතුරංග ද සිල්වා කඩුලු 3ක් දවා ගනිමින් එම තරගයේ හොඳම පන්දු යැවීම වාර්තා කළේය.

සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති කොළඹ සහ නුවර කණ්ඩායම් අතර තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් නුවර ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 270ක් ලබා ගත් අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන කොළඹ ක්‍රීඩකයෝ දිනය අවසාන වන විට කිසිවෙක් නොදැවී ලකුණු 37ක් ලබා සිටියහ .

රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති දඹුල්ල සහ ගාල්ල කණ්ඩායම් අතර තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් දඹුල්ල ක්‍රීඩකයෝ ලකුණු  244ක් ලබා ගත්හ. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ගාල්ල ක්‍රීඩකයෝ කඩුලු 2ක් දැවි ලකුණු 38ක් ලබා සිටියහ.

ඊයේ ආරම්භ වූ තරග දෙක සඳහා රෝස පැහැති පන්දු භාවිතා කළ අතර  සිවුදින තරග ඉතිහාසයේ මෙරට පවත්වනු ලබන පළමු /දිවා තරග ලෙසින් මෙම තරග දෙක ඉතිහාසයට එක් වන්නේය.  

මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය

දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් යුත් කොළඹ කණ්ඩායම සහ නිරෝෂන් දික්වැල්ලගේ නායකත්වයෙන් යුත් නුවර කණ්ඩායම අතර සූරියවැව දී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් කොළඹ කණ්ඩායම නුවර කණ්ඩායම වෙත පළමුවෙන් පන්දුවට පහර දීමට ආරාධනා කළේය.

ඒ අනුව පිටියට පිවිසි නුවර කණ්ඩායමේ පළමු කඩුලු දෙක ඉතා අඩු ලකුණු ප්‍රමාණයකට සීමා කිරීමට ආරම්භක වේගපන්දු යවන්නන් වූ ඩිලේශ් ගුණරත්න සහ ප්‍රමෝද් මධුශාන් සමත් විය. පෙර තරගයේ දී ශතකයක් සහ අර්ධ ශතකයක් ලබා ගත් මහේල උඩවත්ත තමන් මුහුණ දුන් පළමු පන්දුවෙන්ම දවා ගැනීමට මධුශංක සමත් වූයේ ස්ලිප් ස්ථානයේ සිටි ෂෙහාන් ජයසූරිය විසින් රැක ගත අගනා උඩ පන්දුව හේතුවෙනි.

අනතුරුව ලකුණු 12ක්ව පවතිද්දී තරංග පරණවිතාන කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගැනීමට ගුණරත්න සමත් විය.

රසල් ආර්නල්ඩ්ට අලුත් තනතුරක්

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ලද සුපිරි ක්‍රීඩකයෙක් වන රසල් …

නුවර කණ්ඩායමේ ගොඩ ගැනීමේ පෙරමුණ ගත්තේ නායක නිරෝෂන් දික්වැල්ල සහ චරිත් අසලංක ය. තෙවැනි කඩුල්ල වෙනුවෙන් ඔවුන් දෙදෙනා එක් කළ ලකුණු සංඛ්‍යාව 67කි. එය ඉනිමේ හොඳම ලකුණු සබඳතාව ද වූ අතර දික්වැල්ල දුවද්දී යෑමට ගත් උත්සාහයේ දී අවාසනාවන්ත ලෙසින් දැවී යමින් එම සබඳතාව බිඳ ගත්තේය. දැවී යන විට දික්වැල්ල පන්දු 39කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 38ක් ලබා සිටියේය.

චරිත් අසලංක දිනයේ පළමු අර්ධ ශතකලාභියා වෙමින් ලකුණු 57ක් ලබා ගත්තේය. තම පාසල් සඟයා වූ වනිඳු හසරංගගේ පළමු පන්දු වාරයේ සිව්වැනි පන්දුවේ දී ධනංජය ද සිල්වාගේ අතට උඩ පන්දුවක් දෙමින් චරිත් දැවී යද්දී පන්දු 117කට මුහුණ දී සිටියේ ය. ඔහුගේ ඉනිමට අඩංගු වූ හතරේ පහර සංඛ්‍යාව 10කි.

වමත් පිතිකරුවන් සිව් දෙනෙක්ගෙන් පසුව පිටියට පිවිසි ප්‍රියමාල් පෙරේරා දකුණතින් පන්දුවට පහර දෙමින් ඉනිමේ වැඩිම ලකුණුලාභියා විය. ඔහු පන්දු 149කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සමඟින් ලකුණු 79ක් ලබා ගත්තේය.   

වනිඳු හසරංගගේ නිපන්දුවක් කඩුල්ලේ වද්දා ගනිමින් නොදැවී පිටියේ රැඳී සිටීමට වාසනාවන්ත වූ ප්‍රභාත් ජයසූරිය ඉනිම නිමාවේ දී ද නොදැවී සිටිමින් පන්දු 39කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 23ක් ලබා ගත්තේය.

පන්දු යැවීමේ දී පන්දු වාර 10ක් පමණක් යැවූ වනිඳු හසරංග ලකුණු 40කට කඩුලු 4ක් ලබා ගත්තේ ය.

පිළිතුරු ඉනිමේ දී දිනය නිමා වන විට කොළඹ කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් වූ කෞෂාල් සිල්වා ලකුණු  9ක් ලබා ගනිමින් ද ෂෙහාන් ජයසූරිය ලකුණු 18ක් ලබා ගනිමින් ද නොදැවී පිටියේ රැඳී සිටියහ.

නුවර කණ්ඩායම; සියලුම දෙනා දැවී 270 (77.1)  චරිත් අසලංග 57, නිරෝෂන් දික්වැල්ල 38, ප්‍රියමාල් පෙරේරා 79, ජීවන් මෙන්ඩිස් 21, ප්‍රභාත් ජයසූරිය නොදැවී 23, වනිඳු හසරංග 4/40

කොළඹ කණ්ඩායම;  පළමු ඉනිම කිසිවෙක් නොදැවී 37 (10.0)

රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය

දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් දඹුල්ල කණ්ඩායම සහ දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ගාල්ල කණ්ඩායම අතර පැවති තරගයේ කාසිය දිනූ දඹුල්ල ක්‍රීඩකයෝ පළමු වෙන් පන්දුවට පහර දීමට තීරණය කළහ. ඒ අනුව පිටියට පිවිසි ඔවුන්ගේ ඉනිම පන්දු වාර 74ක් පුරා විසිරුණි.

දඹුල්ල ලකුණු පුවරුව 9ක් වෙද්දී නායක දිමුත් කරුණාරත්න කිසිදු ලකුණක් නොලබා කඩුල්ල හැර යෑමත් සමඟින් ඉනිම ගොඩනැගීමේ පෙරමුණ ගත්තේ කුසල් මෙන්ඩිස් ය. ඔහු ඉනිමේ ලකුණු සබඳතා  6ක් ගොඩනැගීමට දායක වූ අතර ලකුණු පුවරුව 182ක් තිබිය දී ඔහු දැවී යන්නේ තම පෞද්ගලික ලකුණු සංඛ්‍යාව 89ක් ව තිබිය දී ය. ඒ වෙද්දී ඔහු පන්දු 163කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් තම ඉනිමට එක්කර ගෙන සිටියේය.

මහා සංග්‍රාමය මඟ හැරුනත් එක්දින ජයග්‍රහණය සාන්ත ආනාවරුන්ට

කුරුණෑගල මලියදේව විද්‍යාලය සහ සාන්ත ආනා විද්‍යාලය අතර 23 වැනි වරටත් පැවති..

ඔහු කඩුල්ලේ රැඳී සිටිය දී අශාන් ප්‍රියංජන් (24), සචිත්‍ර සේරසිංහ  (00), මිලින්ද සිර්වර්ධන (24) සහ මනෝජ් සරත්චන්ද්‍ර (19) තම ඉනිම් හකුලා  ගත්හ. කුසල්ගේ දැවී යෑමෙන් අනතුරුව පිටියට පිවිසියේ නිමා වූ පෙර තරගයේ දී ශතකයක් වාර්තා කළ සච්ත්‍ර සේනානායක ය. ඔහුට තරගය එතරම් සාර්ථක වූයේ නැත. ඔහු ලකුණු14කට දැවී ගියේය.

එසේ වූවද ලහිරු මධුශංක සහ රංගන හේරත් එක්ව 8 වැනි කඩුල්ලට ලකුණු 50ක සබඳතාවක් එක් කරමින් ලකුණු පුවරුව 234ක් දක්වා ගෙන ඒමට සමත් වූහ. එම සබඳතාවයේ දී ලහිරු  පන්දු 54කට මුහුණ දෙමාන් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 26ක් ද, හේරත් පන්දු 55කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 25ක් ද ලබා ගත්හ.

කඩුලු ලබා ගැනීමේ දී චතුරංග ද සිල්වා ලකුණු 31කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළේය. ඊට අමතරව නිසල තාරක සහ මාලින්ද පුෂ්පකුමාර කඩුලු 2 බැගින් දවා ගත්හ.

පිළිතුරු ඉනිමට පිටියට පිවිසි සංචාරක ක්‍රීඩකයෝ දිනය අවසන් වන විට කඩුලු 2ක් දැවී ලකුණු 38ක් ලබා සිටියහ.

එම ඉනිමේ පළමු කඩුල්ල ලෙසින් ලහිරු මිලන්ත ලකුණු 9කට දැවී ගිය අතර තරගයේ අවසන් කඩුල්ල ලෙසින් මාලින්ද පුෂ්පකුමාර ලකුණු 2කට දැවී ගියහ. මේ වෙද්දී පිටියේ නොදැවී රැඳී සිටීමට ආරම්භක පිතිකරු මාධව වර්ණපුර සමත්ව සිටින්නේ ලකුණු 15ක් ලබා ගනිමිනි.

කඩුලු ලබා ගැනීමේ දී ලහිරු ගමගේ සහ විමුක්ති පෙරේරා කඩුල්ල බැගින් දවා ගත්හ.

දඹුල්ල කණ්ඩායම; සියලුම දෙනා දැවී 244 (73.3) කුසල් මෙන්ඩිස් 89, අශාන් ප්‍රියන්ජන් 24, මිලින්ද සිරිවර්ධන 24, ලහිරු මධුශංක 26, රංගන හේරත් 25, නිසල තාරක 2/54, මාලිංද  පුෂ්පකුමාර 2/30, චතුරංග ද සිල්වා 3/31

ගාල්ල කණ්ඩායම; පළමු ඉනිම කඩුලු 2ක් දැවී 38 (7.3) මාධව වර්ණපුර නොදැවි 15

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<