ක්‍රීඩාවේ ස්වාධීනත්වයට මම ඇඟිලි ගහන්නෙ නැහැ

85

මෙරට පවතින ක්‍රීඩා නීතියට අනුව රට තුළ ක්‍රියාත්මක වන ක්‍රීඩා පරිපාලන සංගම්වලට අදාළ කාරණා වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යාංශයට මැදිහත් වීමට සිදුවුවද ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස ක්‍රීඩාව තුළ පැවැතිය යුතු ස්වාධීනත්වයට තමන් කිසි දිනක ඇඟිලි නොගසන බව ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතා පැවැසීය.

පසුගියදා පිලිපීනයේදී නිමාව දුටු ආසියානු රග්බි ශූරතාවලියේ පළමු කොටසේ ශූරතාව දිනා ගනිමින් ශ්‍රී ලංකාවට ගෞරවයක් රැගෙන දුන් ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අගැයීමේ උළෙලකට ඊයේ පස්වරුවේ සහභාගි වෙමින් ක්‍රීඩා අමාත්‍යවරයා එසේ ප්‍රකාශ කළේය.

ෆාසිල් මරිජාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමේ නිල අනුග්‍රහකයන් වන ඩයලොග් ආසියාටා පෞද්ගලික සමාගමේ සංවිධායකත්වයෙන් ක්‍රීඩා අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේදී පැවැති මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමින් අදහස් දැක්වූ අමාත්‍යවරයා තවදුරටත් කියා සිටියේ ක්‍රිකට් කණ්ඩායම තරමටම දක්ෂතා ඇති රග්බි ක්‍රීඩකයන් පිරිසක් අප සතු වීම ආඩම්බරයට කරුණක් බවය.

ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ මෙම ජයග්‍රහණයත් සමඟ ලොව ශේ්‍රණිගත කිරීම් ලැයිස්තුවේ 47 වැනි ස්ථානයේ සිට 38 වැනි ස්ථානය දක්වා උසස් වී ඇති අතර ආසියානු රග්බි කණ්ඩායම් අතර 4 වැනි ස්ථානයටද පත්වී ඇත.

ස්වාධීන තේරීම් මණ්ඩලයක් මඟින් තෝරාගත් මෙම රග්බි කණ්ඩායමට තම ස්තුතිය පිරිනමමින් කතා කළ අමාත්‍යවරයා “රටේ ස්වාධීනව පවත්වාගෙන යන ක්‍රීඩාවට ඇඟිලි ගහන්න මගේ කිසිම අදහසක් නැහැ. සෑම කෙනෙක් සමඟම කතා කරල ක්‍රීඩාව වෙනුවෙන් රටට යහපත් දෙයක් කිරීමයි මගේ අරමුණ.

ඒ නිසා රටට විශාල ගෞරවයක් අරගෙන දීල තිබෙන මේ මල්ලිලා ගැන මට ආඩම්බරයි. මගේ හෘදයාංගම සුබ පැතුම් ඔවුන්ට පිරිනමනවා. ඒ වගේම පුහුණුකරු ඇතුළු කාර්ය මණ්ඩලයටත් ශ්‍රී ලංකා රග්බි සංගමයටත් එසේම කවදත් ක්‍රීඩාව සමඟ ඉන්න රග්බි සඳහා අනුග්‍රහය දක්වන ඩයලොග් සමාගමට මගේ ස්තුතිය පිරිනැමෙනවා. එසේම අපේ රජය රග්බි ක්‍රීඩාව වෙනුවෙන් ඉදිරියටත් අවශ්‍ය සියලු දේ ලබාදීමට කටයුතු කරනවා” යනුවෙන්ද පැවැසීය.