ලාංකීය අභිමානය වර්ණවත් කළ දියකිඳුරා

840
Feature article of Sri lankan swimmer Julian Bolling

ශ්‍රී ලාංකේය පිහිනුම් ක්‍රීඩාවේ අමතක නොවන චරිතයක් සහ ශ්‍රී ලංකා නාමය රනින් හැඩ කළ පිහිනුම් ශූරයෙකු ලෙස ජූලියන් බෝලින් හැඳින්විය හැක. මීට දශකයකට පෙර ශ්‍රී ලංකාව වෙනුවෙන් දකුණු ආසියානු තරගාවලි නියෝජනය කරමින් පිහිනුම් ඉසව්වෙන් රන් පදක්කම් 15ක් දිනා ගත් එකම ක්‍රීඩකයා වන්නේ ද මොහුයි. අද වන විට අනාගත පරපුර වෙනුවෙන් තම දැනුම සහ අත්දැකීම් බෙදා දෙන පුහුණුකරුවෙකු ලෙස ඔහු කටයුතු කරයි.

ක්‍රීඩාවට මාහැඟී මෙහෙවරක් කළ යුග පුරුෂයා – සුනිල් ගුණවර්ධන

1949 ඔක්තෝබර් මස 6 වැනිදා මෙලොව එලිය දුටු සුනිල් ගුණවර්ධන සීදූව මධ්‍ය විද්‍යාලයේ ආදි සිසුවෙකි.

තාරා බෝලින් හා රැල්ෆ් බෝලින් යන දෙමාපියන්ට දාව 1966 ජුනි 19 වැනිදා මෙලොව එළිය දුටු ජූලියන් බෝලින්, ක්‍රීඩාව වටා ගොඩනැගුණු, ක්‍රීඩාවට ආදරය කළ පවුලක බාලය ලෙස හැදී වැඩුනේය.

1958 දී වේල්ස් හි කාඩිෆ් නුවර පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමෙන් පසු ජපානයේ ටෝකියෝ නුවර පැවති ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 400 නිදහස් ආර ඉසව්වෙන් සිව්වන ස්ථානය ලබා ගත් තාරා බෝලින් 1950, 60 දශකයේ ශ්‍රී ලංකාවේ සිටි පිහිනුම් ශූරියකි.

සහජයෙන් උරුම වූ ක්‍රීඩාශීලීත්වය, ජාතික පිහිනුම් ශූරි‍යෙකු වූ සිය මෑණියන්ගේ මඟ පෙන්වීම යටතේ වැඩි දියුණු කර ගත් ජූලියන්, ජෙරම් සහ ඩේවිඩ් යන සොහොයුරන් සමඟ උරෙන් උර ගැටෙමින් දක්ෂතා දැක්වීමට සමත් විය.

ළාබාල වියේ දී ම සිය ක්‍රීඩා ඉසව්වෙන් විශිෂ්ටයෙකු බවට පත්වූ ජූලියන්, කොළඹ රාජකීය විද්‍යාලයේ දීප්තිමත් පිහිනුම් ක්‍රීඩකයෙකි. 1977 සිට 1982 දක්වා ජූලියන් බෝලින්ගේ පුහුණුකරු ලෙස කටයුතු කළේ මීටර් 100 පසුපස ආර ඉසව්වේ ජාතික වාර්තාවට හිමිකම් කියූ ඊ. ජී. ඒ. විල්සන් මහතා ය.

වයස අවුරුදු 10 දී පමණ සිය මව හා සහෝදරයින් දෙදෙනා සමඟ විල්සන් මහතා හමුවන ජූලියන්, 1978 දී ඔහුගේ පුහුණුකාරීත්වය යටතේ දී ම පළමු විදේශීය සංචාරය සඳහා මුම්බායි බලා පිටත්ව ගියේය.  මුම්බායි හි පැවති එම තරගාවලියේ දී වයස අවුරුදු 14න් පහළ පිහිනුම් ඉසව්වල දී රන් පදක්කම් 2ක් දිනා ගැනීමට ජූලියන්ට හැකි වූ අතර පාසල් යන කාල වකවානුව තුළ දී ම රට වෙනුවෙන් ක්‍රීඩා කිරීමට ඔහුට එමඟින් අවස්ථාව උදා විය.

1979 ඉන්දියාවේ දී පැවති ඉන්දු ශ්‍රී ලංකා ද්විත්ව පිහිණුම් තරගාවලියේ වසය අවුරුදු 13න් පහළ දක්ෂතම ක්‍රීඩකයා බවට පත්වෙමින් ජාත්‍යන්තරයට පිවිසි මොහු, ජාතික හා ජාත්‍යන්තර වාර්තා රැසකින් ශ්‍රී ලාංකේය පිහිනුම් ක්‍රීඩාව වර්ණවත් කළ ක්‍රීඩකයෙකි.

ප්‍රථම වරට ශ්‍රී ලංකාව එම තරගාවලිය නියෝජනය කළ අතර එහි දී මීටර් 1500 නිදහස් ආර ඉසව්වෙන් ඩේවිඩ් බෝලින් රන් පදක්කම දිනා ගන්නා විට එම ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට ජූලියන් බෝලින් සමත්විය.

ඉන් පසු ඕස්ට්‍රේලියාවේ ශිෂ්‍යත්වයක් හිමි වූ ජූලියන්, එහි දී මාස 6ක් පිහිනුම් ක්‍රීඩාව පිළිබඳ පුහුණුවක් ලැබුවේය. පිහිනුම් ක්‍රීඩාවට තිබූ හැකියාව සහ ලැදියාව නිසාම 1984 දී නේපාලයේ පැවති දකුණු ආසියානු තරගාවලියට පළමු වරට සහභාගී වී පිහිනුම් ඉසව් 2ක් සඳහා රන් පදක්කම් 2ක් දිනා ගැනීමට තරම් දක්ෂ වූ ක්‍රීඩකයෙකි.

ඉන් පසු ඇමරිකාව බලා පිටත්ව ගිය ජූලියන්, 1986 වර්ෂයේ දී ඇමරිකාවේ හාවායි විශ්ව විද්‍යාලයේ පිහිනුම් උපදේශකවරයෙකු වන ශ්‍රී ලංකා සම්භවයක් ඇති වෛද්‍ය ජෝන් ප්‍රින්ස් මහත‍ා සමඟ අවුරුද්දක කාලයක් හාවායි හිදී පුහුණුවීම් සිදු කළේය. එම පුහුණුවෙන් ඉහළ නංවා ගත් දක්ෂතා තුළින් ආසියාතික තරගාවලිය නියෝජනය කළ ඔහු එහි දී ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය.

1987 දී දකුණු ආසියානු ක්‍රීඩා උළෙල නියෝජනය කළ ජූලියන් මීටර් 400 හා 1500 නිදහස් ආර ඉසව්වෙන් රන් පදක්කම් දිනා ගනිමින් වාර්තා පොත් අතරට එකතු විය.‍ ඉන්පසු 1989 දී නේපාලයේ කත්මණ්ඩු නුවර පැවති දකුණු ආසියානු තරගාවලිය සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළේ ද ඔහුයි.

ඉන් අනතුරුව ජූලියන් හට තෝරා ගැනීම සඳහා ශිෂ්‍යත්ව ත්‍රිත්වයක් හිමි වූ අතර ඔහු විසින් තෝරා ගනු ලැබුවේ ඇමෙරිකා එක්සත් ජනපදයේ පෙන්සිල්වේනියාවේ ක්ලැරියෝන් විශ්ව විද්‍යාලයයි. එහි දී ඔහු අලෙවිකරණය පිළිබඳ උපාධියක් සම්පූර්ණ කළේය. එම විශ්ව විද්‍යාලය තුළ දී ද පිහිනුම් ක්‍රීඩාවේ නිරත වුවත් ඒ වන විට ඔහුගෙන් පිහිනුම් ක්‍රීඩාව ගිලිහෙමින් තිබුණි. එපමණක් නොව, කාන්තා කණ්ඩායමේ ක්‍රීඩිකාවන් හට ද පරාජය වන්නට ජූලියන්ට සිදු විය. එම නිසා ඔහු 1991 වසරේ උපාධිය අවසන් කොට මාස 6 ඇතුළත ගිලිහෙමින් තිබූ දක්ෂතා නැවතත් වැඩිදියුණු කර ගැනීමට වෛද්‍ය ජෝන් ප්‍රින්ස් මහතා වෙත යොමු විය. කෙසේ වෙතත් 1986 සිට 1991 දක්වා වූ කාලයේ ජූලියන්ගේ පිහිනුම් හැකියාව ඉතා අඩු මට්ටමක පැවතුනි.

එම පුහුණුවෙන් පසු ජුනි මස තරගාවලියට සහභාගී වීම සඳහා ජූලියන් ලංකාවට පැමිණෙන විට ඔහුට අහන්නට ලැබුනේ ඔහුගේ පියා වු රැල්ෆ් බෝලින් මහතාගේ අභාවය පිළිබඳවයි. ඒ සියල්ල අවසන් වූ පසු ඔහු නැවතත් ගිලිහෙමින් තිබූ පිහිනුම් ක්‍රීඩා හැකියාව වර්ධනය කර ගැනීම සඳහා තම මව වන තාරා බෝලින් සමඟින් පුහුණුවීමට තීරණය කළේය. ඉන් පසුව 1991දී කොළඹ පැවති එම දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දී රන් පදක්කම් 6ක් දිනා ගනිමින් වාර්තාවක් තැබීමට ද ඔහු සමත් විය.

ඒ අනුව 1984 දී පැවති දකුණු ආසියානු තරගාවලියේ දී රන් පදක්කම් 2ක්, 1987 ඉන්දියාවේ පැවති එම තරගාවලියෙන් රන් පදක්කම් 3ක්, 1989 වසරේ පකිස්ථානයේ දී රන් පදක්කම් 4ක් හා 1991 තම මව් බිමේ දී රන් පදක්කම් 6ක් ලබා ගැනීමට ජූලියන් සමත් විය. එය ශ්‍රී ලංකාව වෙනුවෙන් රන් පදක්කම් 6ක් ලබා ගත් එකම ක්‍රීඩකයා ලෙස වාර්තා පොත් අතරට එකතු විය.

එහෙත් 2016 දී ඉන්දියාවේ පැවති දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දී එම වාර්තාව අභිබවා යෑමට ශ්‍රී ලංකාවේ මැතිව් අබේසිංහ සමත් වූයේ රන් පදක්කම් 7ක් දිනා ගනිමිනි.

ජූලියන් බෝලින් නම් විශිෂ්ට පිහිනුම් ක්‍රීඩකයා ශ්‍රී ලංකාව වෙනුවෙන් ඕලිම්පික් තරගාවලි 3ක් නියෝජනය කර තිබේ. පළමු ඕලිම්පික් තරගාවලිය ලෙස ඔහු සහභාගී වූයේ 1984 දී ඇමරිකාවේ ලොස්ඇන්ජලීස් නුවර ඔලිම්පික් තරගාවලිය වන අතර 1988 දී දකුණු කොරියාවේ හා අවසන් වශයෙන් 1992 දී ස්පාඤ්ඤය ඔලිම්පික් තරගාවලිය ද නියෝජනය කර තිබේ.

1992 දී නැවත ශ්‍රී ලංකාවට පැමිණි ඔහු නෙස්ලේ සමාගමේ රාජකාරි ආරම්භ කළේය.  එහෙත් එහි සේවයෙන් ඉක්මනින්ම ඉවත් වූ ජූලියන්, තම මව සහ පියා ආරම්භ කළ “Rainbow” නම් ක්‍රීඩා සමාජය හා එක්විය.

එතැනින් නොනැවතී දියේ ගිලෙන ජීවිත බේරා ගැනීමේ අරමුණින් දරුවන්ට හා වැඩිහිටියන්ට ඉගැන්වීම සඳහා ඔහු හා ඩේවිඩ් යන සහෝදරයා ද එක්ව “Rainbow” පිහිනුම් පාසල පිහිටු විය. එය දේශීය හා විදේශීය වශයෙන් පිහිනුම් තරග සඳහා කැමැත්තක් දක්වන පිරිසට පුහුණු වීමට ද අවස්ථාව උදා විය.

2000 සිඩ්නි ඕලිම්පික් තරගාවලිය හා 2003 දකුණු ආසියානු ක්‍රීඩා උළෙල නියෝගය කළ මේනකා ද සිල්වා හා 2004 ග්‍රීසියේ ඇතැන්ස් නුවර පැවති පැරාඔලිම්පික් තරගයේ දී කාගේත් අවධානය දිනාගත් මීටර් 100 පසුපස ආර ඉසව්ව සඳහා සහභාගී වූ චමින්ද ප්‍රියදර්ශන ද ජූලියන් යටතේ පුහුණු වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වේ.

ශ්‍රී ලංකාවෙන් බිහි වූ දක්ෂ පිහිනුම් ශූරයෙකු වු ජූලියන් එම ක්‍රීඩාව තුළින්ම සමාජ සේවය සඳහා ද යොමු විය.

ඒ 2004 සුනාමි ව්‍යසනය හේතුවෙන් මුහුදු ජලයට බිය වූ ජනතාව හා දරුවන් වෙනුවෙන් එම ප්‍රදේශවලට ගොස් ඔවුන්ගේ බිය දුරු කොට ඔවුන් ජලයට ගෞරව කරන මානසිකත්වය ගොඩනැගුවේය. එම අවුරුද්දේම එම ප්‍රදේශයන් හි ගමක් ගමක් පාසා කුඩා පිහිනුම් තටාක 30ක් පමණ නිර්මාණය කරමින් ළමුන් 13000කට අධික සංඛ්‍යාවකගේ එම බිය නැති කිරීමට ජූලියන් ඇතුළු කණ්ඩායමට හැකි විය.

පිහිනුම් ක්‍රීඩාවට අමතරව රග්බි සහ පාපන්දු ක්‍රීඩාවට කැමැත්තක් දක්වන මේ දියකුඳුරා අනාගත පරපුර වෙනුවෙන් කාලය  කැප කරනු ලබන්නේ පිහිනුම් ක්‍රීඩාවේ හෙට දවසේ ශ්‍රී ලංකාව යළිත් රනින් බැබළ වීමේ බලාපොරොත්තුව ඇතුවයි.

තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න