“නවසීලන්තය පාකිස්තාන ක්‍රිකට් මැරුවා!” – Shoaib Akhtar

නවසීලන්ත කණ්ඩායමේ පාකිස්තාන තරග සංචාරය 2021

26616

නවසීලන්ත ක්‍රිකට් ආයතනය විසින් ගනු ලැබූ අත්තනෝමතික තීරණ නිසාවෙන් තම ක්‍රිකට් ක්‍රීඩාවට මෙන්ම එහි කීර්ති නාමයට සිදු වූ කැළල සුළු පටු එකක් නොවන බව හිටපු පාකිස්තාන සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක Shoaib Akhtar සිය Twitter ගිණුමෙහි සටහනක් එක් කරමින් අවධාරණය කර තිබුණා.

නවසීලන්තය සහ පාකිස්තානය අතර එක්දින සීමිත පන්දුවාර තරගාවලිය ආරම්භ කරමින් ඊයේ (17) දිනයට යෙදී තිබූ පළමු එක්දින තරගය එකදු පන්දුවක් හෝ ක්‍රීඩා නොකොට අතහැර දමන ලෙස නවසීලන්ත ක්‍රිකට් ආයතනය තරග ආරම්භයට සුළු මොහොතකට ප්‍රථමයෙන් ඉල්ලීමක් සිදු කර තිබුණේ ඔවුන්ගේ ක්‍රීඩකයින් කිහිපදෙනෙකු හටම COVID-19 ව​යිරසය ආසදනය වී ඇති බව  තහවුරු වීමත් සමඟින් බව සඳහන් වේ.

ඉන් අනතුරුව නවසීලන්ත රජය සහ එරට ක්‍රිකට් පාලනාධිකාරිය එක්ව ගනු ලැබූ ඒකපාර්ශ්වික තීරණයක් ඔස්සේ යමින් සමස්ත තරග සංචාරයම අවලංගු කර දැමීමට කටයුතුකොට තිබුණේ පාකිස්තානය තුල වත්මන් ආරක්ෂක තත්වය සම්බන්ධයෙන් තමන් හට සෑහීමකට පත්විය නොහැකි බව හුවා දක්වමිනි.

කේසේ නමුත් මීට ප්‍රතිචාර වශයෙන් පාකිස්තාන ක්‍රිකට් ආයතනය දිගින් දිගටම නවසීලන්ත පාර්ශවයන් වෙත දන්වා සිටියේ එරට ආරක්ෂාව පිළිබඳව ‍යම් සැකයක් පවතින්නේ නම් ඊට අවශ්‍ය නිසි ක්‍රියාමාර්ගයන් අනුගමනය කිරීමට ඔවුන් දෙවරක් නොසිතන බවත්, සැලසුම් කළ පරිදි බාධාවකින් තොරව තරග සංචාරය දියත් කිරීමට අවශ්‍ය පූර්ණ සහයෝගය ලබා දීම පමණක් නවසීලන්තයෙන් බලාපොරොත්තු වන බවත්ය.

තවත් ක්‍රිකට් පුවත්:

තමන් විසින් සිදු කළ අතිශය සාධාරණ ඉල්ලීම් සියල්ලක්ම තඹයකට මායිම් නොකොට තම මතයේම එල්බගනිමින් තරග සංචාරය අතහැරීම දැමීමට ගත් තීරණය පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩාවට එල්ල කළ දැවැන්ත මරු පහරක් බව Shoaib Akhtar තම පෞද්ගලික  Twitter ගිණුමට පණිවිඩයක් එක්කොට තිබුණේ මේ අයුරිනි.

මීට අමතරව ඔහු තවත් කරුණු කිහිපයක්ම හුවා දක්වමින් පෙන්වා දී සිටියේ නවසීලන්තය අපහසු කාලසීමාවන් පසු කළ සෑම අවස්ථාවක දී ම තම සහයෝගය ඔවුන් වෙත ලබා දීමට නොපැකිලිව කටයුතු කළ නමුත්, ඊට ඔවුන් කෘතගුණ දක්වන ආකාරය ඉතාමත් පිළිකුල්සහගත බවයි.

“මේක කොහේවත් තහවුරු කරපු තර්ජනයක් නෙමෙයි. ඔය තීරණය ගන්න කලින් ඔවුන්ට අපිත් එක්ක මේ ගැන සාකච්ඡා කරන්න ඕන තරම් අවස්ථාව තිබ්බා. අවශ්‍ය ආරක්ෂාව සපයන්න මැදිහත් වෙන බව පාකිස්තාන අගමැති Imran Khan නවසීලන්ත රජයේ ඉහළ නිළධාරීන්ට පෞද්ගලිකව දන්වලා තියෙන මොහොතක තමයි ඔවුන් මේ ගැන අවසන් තීරණයක් ගත්තේ.”

“අපි මීට කලින් ශ්‍රී ලංකාව, බටහිර ඉන්දීය කොදෙව්, දකුණු අප්‍රිකාව බංග්ලාදේශය සහ ජාත්‍යන්තර ක්‍රීඩකයින් රැසක් සහභාගී වුන PSL වැනි තරගාවලිවල දී සාර්ථකව සත්කාරක පර්ශවයේ භූමිකාව ඉෂ්ට කරලා පෙන්වලා තියෙනවා.”

අභිනවයෙන් පත් වූ පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ නව සභාපති Ramiz Raja මහතා ද මෙම උද්ගතව ඇති තත්වය සම්බන්ධයෙන් සිය අදහස් දක්වා තිබුණේ නවසීලන්තය අනුගමනය කළ ක්‍රියාපටිපාටිය ඉතාමත් අදූරදර්ශි සහ ආත්මාර්ථකාමී එකක් බව සඳහන් කරමිනි. තව ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කර සිටියේ මෙම ගැටලුව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය දක්වා රැගෙන යාමට අපේක්ෂා කරන බවයි.

“අනපේක්ෂිත සිද්ධීන් දාමයක් වුන දවසක්! මට කණගාටුයි අපේ ක්‍රීඩකයින් සහ ප්‍රේක්ෂකයින් ගැන. අනෙක් පාර්ශවය ගැන හිතන්නේ නැතිව තනි මතයක ඉඳලා ගත්ත මේ තීරණය ගැන මම ඉන්නේ ලොකු කළකිරීමකින්. නවසීලන්තය මොන ලෝකෙද ජීවත් වෙන්නේ? අපි ICCයෙදි හම්බවෙමු!”

Hindustan Times ඇසුරෙනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<