ස්පාඤ්ඤ සිහිනයට තිත තබමින් ඉතාලිය අවසන් මහා තරගයට

Euro 2020

383

මේ දිනවල ලොව පුරා කාගෙත් අවධානය දිනා ගත් යුරෝපා පාපන්දු ශූරයන් සොයා යන “Euro 2020” තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය ශ්‍රි ලංකා වේලාවෙන් අද (07) උදෑසන පැවැත්වුණා.

එහි දී ස්පාඤ්ඤය දඬුවම් පහර වටයකින් පරාජය කරමින් Euro 2020 තරගාවලියේ අවසන් මහා තරගයේ අසුන වෙන් කරවා ගැනීමට ප්‍රබල ඉතාලියට හැකි වුනා.

එංගලන්තයේ සත්කාරකත්වයෙන් ලන්ඩන් නුවර Wembley ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගය ආරම්භයේ සිටම ප්‍රබල ඉතාලියට දැඩි අභියෝගයක් එල්ල කිරීමට ස්පාඤ්ඤ ක්‍රීඩකයන් සමත් වුනා.

25 වැනි මිනිත්තුවේ දී ස්පාඤ්ඤ ක්‍රීඩක Dani Olmo එල්ල කළ පහරක් දක්ෂ ලෙස නවතාලීමට ඉතාලි ගෝල රකින ක්‍රීඩකයා සමත් වුනා. 45 මිනිත්තුවේ දී ඉතාලි ක්‍රීඩක Emerson හට ගෝලයක් ලබා ගැනීමට තිබූ ආසන්නතම අවස්ථාවක් මගහැරීම නිසා එම අර්ධය අවසන් වුනේ ගෝල රහිතවයි.

ගෝලයක් ලබා ගනිමින් තරගයේ පෙරමුණ ගැනීමේ අරමුණින් දෙපිලම දෙවැනි අර්ධයට පිවිසියත්, තරගාවලියේ ප්‍රබලතම කණ්ඩායමක් වූ ඉතාලි ක්‍රීඩකයන්ට ප්‍රබල අභියෝගයක් ගෙන දීමට ස්පාඤ්ඤ ක්‍රීඩකයන්ට එම අර්ධය ආරම්භයේ සිටම හැකි වුනා.

නමුත් 60 වැනි මිනිත්තුවේ දී ලද පන්දුවක් දඬුවම් රාමුව තුළ සිට ඉතා අලංකාර පහරක් මගින් ගෝලයේ දකුණු කෙළවරට එල්ල කරමින් තරගයේ පළමු ගෝලය සිය කණ්ඩායමට ගෙන දීමට ඉතාලි ක්‍රීඩක Federico Chiesa සමත් වුනේ ස්පාඤ්ඤ ක්‍රීඩකයන්ගේ මානසිකත්වය ද බිඳ දමමිනි.

61 වැනි මිනිත්තුවේ දී ක්‍රීඩක ආදේශයක් සිදු කරමින් පිටියට පිවිසි ස්පාඤ්ඤ ක්‍රීඩක Alvaro Morata එම තීරණයට සාධාරණයක් ගෙන දෙමින් 80 වැනි මිනිත්තුවේ දී ගෝල තත්වය සම කිරීමට සමත් වුනේ සිය කණ්ඩායම වෙනුවෙන් පළමු ගෝලය රැස් කරමින්.

Dani Olmo විසින් දඬුවම් රාමුව තුළට ලබා දුන් පන්දුවක් ප්‍රතිවාදී පසුපෙළ ක්‍රීඩකයන් පසුකර ගෝල රකින්නා අසලට ගෙන එමින් ගෝලයේ වම් කෙළවරින් දැල තුළට එල්ල කිරීමට Morata සමත් වුනේ එය නැවැත්වීමට කිසිදු අවස්ථාවක් ඉතිරි නොකරමිනි.

එම ගෝලයෙන් පසු කිසිදු ගෝලයක් ලබාගැනීම දෙපිලටම නොහැකි වීම නිසා අතිරේක අමතර කාලයක් ලබා දීමට සිදු වුනා.

අමතර කාලය තුළ දී ඉතාලි ක්‍රීඩකයන්ට කිසිදු අවස්ථාවක් නොදෙමින් තරගයේ පාලනය සියතට ගැනීමට ස්පාඤ්ඤ ක්‍රීඩකයන්ට හැකි වූවත් ඉතාලි පසුපෙළ ක්‍රීඩකයන්ගේ සහ ගෝල රකින්නාගේ දස්කම් නිසා ගෝල ලබා ගැනීමට අවස්ථාවක් හිමි වුනේ නැහැ.

එම නිසාවෙන් අවසන් මහා තරගයට තේරී පත්වන කණ්ඩායම තේරීමට දඬුවම් පහර අවස්ථාවක් ලබා දීමට සිදු වුනා.

ඉතාලිය වෙනුවෙන් පළමු දඬුවම් පහර ලබා ගත් Manuel Locatelli එල්ල කළ පහර සාර්ථකව නවතාලීමට ස්පාඤ්ඤ ගෝල රකින්නා සමත් වූ අතර ස්පාඤ්ඤ ක්‍රීඩක Dani Olmo එල්ල කළ පහර ද ගෝල රාමුවට ඉහළින් ඇදී ගියා.

නමුත් ඉන්පසු එල්ල කළ දඬුවම් පහර අවස්ථා ද්විත්වයම සාර්ථකව ගෝලය තුළට එල්ල කිරීමට ඉතාලි ක්‍රීඩකයන් වන Andrea Belotti සහ Leonardo Bonucci, ස්පාඤ්ඤ ක්‍රීඩකයන් වන Gerard Moreno සහ Thiago Alcantara හට හැකි වුනේ තරගය තවමත් සමව ඉදිරියට ගෙන එමින්.

ඉතාලිය වෙනුවෙන් සිව්වැනි දඬුවම් පහර අවස්ථාව ද සාර්ථකව ගෝලය තුළට එල්ල කිරීමට Federico Bernardeschi සමත් වූවත් ස්පාඤ්ඤය වෙනුවෙන් සිව්වැනි දඬුවම් පහර ලබා ගත් ස්පාඤ්ඤ ක්‍රීඩක Alvaro Morata එල්ල කළ පහර ඉතා දක්ෂ ලෙස වැළැක්වීමට ඉතාලි ගෝල රකින්නාට හැකි වුනේ ඉතාලිය තරගයේ පෙරමුණට ගෙන එමින්.

එම වාසියත් සමඟ ජයග්‍රාහී මෙන්ම තීරණාත්මක දඬුවම් පහර එල්ල කිරීමේ අවස්ථාව හිමි වුනේ අත්දැකීම් බහුල දඬුවම් පහර ලබා ගන්නෙකු වන Jorginho හටයි.

දැඩි පීඩනයක් යටතේ ලබාගත් එම දඬුවම් පහර ස්පාඤ්ඤ ගෝල රකින්නා මුලාවට පත් කරමින් ගෝලයේ වම් කෙළවරින් දැල වෙත එල්ල කිරීමට ඔහු සමත් වුනේ ඉතාලිය වසර ගණනාවකට පසු අවසන් මහා තරගයකට රැගෙන යමිනි.

ඒ අනුව සිය අපරාජිකත්වය රැකගනිමින් Euro 2020 අවසන් මහා තරගයට පිවිසීමට ඉතාලි ක්‍රීඩකයන්ට හැකි වූ අතර ඔවුන් වසර නවයකින් පසු ජාත්‍යන්තර තලයේ තරගාවලියක අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ පළමු අවස්ථාව ද මෙයයි.

අවසන් ලකුණු තත්වය: ස්විස්ටර්ලන්තය 1 –1 ස්පාඤ්ඤය

ගෝල ලාභීන්: 

  • ස්පාඤ්ඤය: Alvaro Morata 80’
  • ඉතාලිය: Federico Chiesa 60’

දඬුවම් පහර:

  • ස්පාඤ්ඤය: Andrea Belotti, Leonardo Bonucci , Federico Bernardeschi, Jorginho
  • ඉතාලිය: Mario Gavranovic

Euro 2020 තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය ශ්‍රී ලංකා වේලාවෙන් හෙට (08) උදෑසන එංගලන්තය සහ ඩෙන්මාර්කය අතර පැවැත්වීමට නියමිතයි. එම තරගයේ තොරතුරු සඳහාත් රැඳී සිටින්න ThePapare.com සමඟින්.

පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<