එංගලන්තය අභිබවමින් ශ්‍රී ලංකා යෞවනයන්ට තරගාවලි ජයක්

එංගලන්ත 19න් පහළ කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2021

639

සංචාරක එංගලන්ත 19න් පහළ කණ්ඩායම සහ ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම අතර පැවැත්වෙන තරග 5කින් යුත් යොවුන් එක්දින තරගාවලියේ සිව්වන තරගය අද (08) පැවැත්වුනේ කොළඹ SSC පිටියේ දීයි.

එම තරගයෙන් එංගලන්ත 19න් පහළ ක්‍රීඩකයන් ලකුණු 126කින් පරාජය කරමින් තරගාවලිය ජයගැනීමට ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රීඩකයන්ට හැකි වුනා.

ශ්‍රී ලංකා කණ්ඩායමට තරගාවලියේ ජය තහවුරු කරගැනීමටත් එංගලන්ත කණ්ඩායමට තවදුරටත් තරගාවලිය පිළිබඳව බලාපොරොත්තු තබාගැනීමටත් ඉතා තීරණාත්මක වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක දුනිත් වෙල්ලාලගේ පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

  • ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම –චමිඳු වික්‍රමසිංහ, ශෙවෝන් ඩැනියල්, සදීෂ රාජපක්ෂ, පවන් පතිරාජ, රන්ඳු සෝමරත්න, රවීන් ද සිල්වා, දුනිත් වෙල්ලාලගේ (නායක), වනුජ සහන්, යසිරු රොද්‍රගෝ, අංජුල බණ්ඩාර, මහීෂ පතිරණ.
  • එංගලන්ත 19න් පහළ කණ්ඩායම –Jacob Bethell,George Thomas, Tom Prest (නායක), Harry Crawshaw, James Rew, William Luxton, Danial Ibrahim, Fateh Singh, Joshua Boyden, Nathan Barnwell, Benjamin Cliff.

සිය නායකයාගේ තීරණය අනුව එංගලන්ත කණ්ඩායමට එරෙහිව හොඳ ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමේ අරමුණින් පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු පුවරුව 34ක් වන විට පළමු කඩුල්ල ලෙස චමිඳු වික්‍රමසිංහ ලකුණු 19කට දවා ගැනීමට Nathan Barnwellට හැකි වූ අතර ඉන්පසු පිටියට එක්වූ සදීෂ රාජපක්ෂට ද රැස් කරගත හැකි වුනේ එක් ලකුණක් පමණයි.

ශ්‍රී ලංකා ලකුණු පුවරුවට තරමක සහනයක් එක් කරමින් ඉවසිලිවන්ත ඉනිමක් දියත් කිරීමට ශෙවෝන් ඩැනියල් උත්සාහ කළ නමුත් ලකුණු 39ක් වාර්තා කරගෙන සිටි ඔහුව පිටියෙන් ඉවත් කිරීමට Benjamin Cliff සමත් වුනේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව 66ක් වන විටයි.

රන්ඳු සෝමරත්න හට ද වැඩි වේලාවක් පිටියෙහි රැඳී සිටීමට ඉඩ නොදුන් එංගලන්ත පන්දු යවන්නන් ඔහුව ලකුණු 11කට නැවත ක්‍රීඩාගාරයට හරවා යවන විට ලකුණු පුවරුව දැක්වුනේ කඩුලු 4ක් දැවී ලකුණු 85ක් ලෙසයි.

ඉන්පසු පිටියෙහි එක්වූ පවන් පතිරාජ සහ උපනායක රවීන් ද සිල්වා එක්ව අගනා සම්බන්ධතාවක් ගොඩ නගමින් පස්වැනි කඩුල්ල සඳහා ලකුණු 111ක විශිෂ්ට සම්බන්ධතාවක් ගොඩනැගීමට සමත් වුනා.

තරගාවලියේ දී නැවත වරක් සිය දස්කම් පෙන්වූ පවන් පතිරාජ අර්ධ ශතකයක් රැස් කිරීමට සමත් වූ අතර පන්දු 104ක දී හතරේ පහර 2ක් සමඟ ලකුණු 60ක් රැස්කළ පවන් අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී යාමකට ගොදුරු වුනා.

පන්දු 87ක් තුළ හතරේ පහර 4ක් සහ එක් හයේ පහරක් සමඟ උප නායක රවීන් ද සිල්වා රැස් කරගත් ලකුණු 59 සහ අවසන් මොහොතේ පැමිණි යසිරු රොද්‍රිගෝ පන්දු 7ක් තුළ වාර්තා කරගත් ලකුණු 15 නිසාවෙන් නියමිත පන්දුවාර 50 අවසානයේ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ ලකුණු පුවරුව කඩුලු 7ක් දැවී ලකුණු 243ක් ලෙස සටහන් වුනා.

පන්දු යැවීමේ දී එංගලන්තය වෙනුවෙන් Benjamin Cliff ලකුණු 43කට කඩුලු 3ක් සහ Nathan Barnwell ලකුණු 39ට කඩුලු දෙකක් දවා ගැනීමට සමත්වූ අතර Fateh Singh එක් කඩුල්ලක් දවා ගත්තා.

ලකුණු 244ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස Jacob Bethell ලකුණු 11කට පිටියෙන් ඉවත් කිරීමට සදීෂ රාජපක්ෂට හැකි වුනා. නායක Tom Prest ලකුණු 09කට දවා ගැනීමට වනුජ සහන්ට හැකි වුනේ මුළු ලකුණු සංඛ්‍යාව 41ක් වන විටයි.

තුන්වන කඩුල්ල සඳහා Harry Crawshaw සමඟ එක්ව ලකුණු 42ක සම්බන්ධතාවක් ගොඩනැගීමට ආරම්භ පිතිකරු George Thomas සමත් වූ අතර ලකුණු 40ක් රැස් කරගෙන සිටි George Thomas මුළු ලකුණු සංඛ්‍යාව 83ක් වන විට දවා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට හැකි වුනා.

James Rew ලකුණු 02කට දවා ගැනීමට ශෙවෝන් ඩැනියල් සමත් වූ අතර William Luxtonට ද සාර්ථක වීමට ඉඩක් නොදුන් රවීන් ද සිල්වා William Luxton ලකුණු 10ක් රැස් කරගෙන සිටිය දී පිටියෙන් ඉවත් කළා.

ඉන්පසු ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා පන්දු යවන්නන් එංගලන්ත අවසන් කඩුලු 5 ලකුණු 13ක් තුළ දවා ගැනීමට සමත් වුනේ එංගලන්ත යොවුන් ඉනිම ලකුණු 117කට සීමා කරමිනුයි.

එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් හුදෙකලා ඉනිමක් දියත් කළ Harry Crawshaw ලකුණු 31ක් රැස් කරගැනීමට සමත් වූ අතර අනෙකුත් කිසිඳු පසුපෙළ පිතිකරුවෙකුට ලකුණු 05 සීමාව පසුකිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉඩ ලබාදුන්නේ නැහැ.

පන්දු යැවීමේ දී රවීන් ද සිල්වා ලකුණු 06කට කඩුලු 3ක් සහ මතීෂ පතිරණ ලකුණු 8කට කඩුලු 2ක් බිඳ හෙළීමට සමත් වුනා. සදීෂ රාජපක්ෂ, වනුජ සහන් සහ ශෙවෝන් ඩැනියල් අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

මෙම ජයග්‍රහණයත් සමඟින් තරග පහකින් යුත් එක්දින තරගාවලිය එක් තරගයක් ඉතිරිව තිබිය දී 3-1ක් ලෙස ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රීඩකයන්ට හැකි වුනා.

ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම – 243/7(50): පවන් පතිරාජ 60, රවීන් ද සිල්වා 59, ශෙවෝන් ඩැනියල් 39, Benjamin Cliff 3/43.

එංගලන්ත 19න් පහළ කණ්ඩායම – 117/10(33.3): George Thomas 40, Harry Crawshaw 31, රවීන් ද සිල්වා 3/6, මතීෂ පතිරණ 2/8. 

එංගලන්ත 19න් පහළ කණ්ඩායම සහ ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම අතර පස්වැනි සහ අවසන් තරගය සිකුරාදා (10) කොළඹ SSC පිටියේ දී පැවැත්වීමට නියමිතයි.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<