ජේසන් රෝයිට නායකයාගෙන් පැසසුම්!

288

එංගලන්තය හා බංගලාදේශය අතර පැවති තරගයේ දී ලකුණු 153ක් රැස් කළ එංගලන්ත ආරම්භක පිතිකරු ජේසන් රෝයිට එංගලන්ත නායක ඔයින් මෝර්ගන් ප්‍රශංසා කර තිබෙන බව AFP පුවත් සේවය වාර්තා කර තිබුණා. ඔහුගේ ඒ ඉනිමත් සමඟ  2019 ICC ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ බංගලාදේශය සමඟ පැවති තරගය එංගලන්තය ජය ගත්තේ ලකුණු 106කින්.

ආචර්ගේ ඊතල හා රෝයිගේ ගිනිකෙළි

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ උණුසුම මේ වන විට මුලු ලෝකයම තම වසඟයට ගැනීමට සමත්ව ඇත. වාර්තා පිට වාර්තා පිහිටුවමින්…

ජේසන් රෝයි සිය ක්‍රිකට් දිවියේ තෙවන වරටත් ලකුණු 150 සීමාව පසුකර ගිය අතර ඔහුගේ ලකුණු 153ක සුපිරි ඉනිමත් සමඟ එංගලන්ත ලකුණු පුවරුව දිස්වුණේ කඩුලු හයකට ලකුණු 386ක් ලෙසයි.

මීට පෙර තරගයේ දී ලොව අංක එකේ එක්දින කණ්ඩායම වන එංගලන්තයට පාකිස්තානය හමුවේ නොසිතූ ලෙස පරාජය වීමට සිදු වුණු අතර මෙම තරගයට ඔවුන් පිවිසුණේ තරගය ජය ගැනීමේ ප්‍රබල අධිෂ්ඨානයෙන්.

“එය අතිවිශිෂ්ටයි” මෝර්ගන් තරගයෙන් පසුව පවසා තිබුණා.

“සෑම දෙනාම කතා කරන්නේ ශතක ලබා ගැනීම ගැන. ඔහු ඒ කතාබහ සම්පූර්ණයෙන්ම වෙනස් කළා.”

“ඔහු දිගින් දිගටම ලොකු ලකුණු රැස් කරනවා. ඔහු ලකුණු ලබා ගන්නා වේගය ප්‍රතිවාදීන්ට නැවැත්වීමට ඉතා අපහසුයි.”

“ඔහු පිටිය වටේ ලකුණු රැස් කරනවා. ඔහු ඉතා හොඳ පන්දු යවන්නන්ට පවා සිත්සේ පහර දෙනවා. ඉතා හොඳ පන්දුවලින් පවා ලකුණු රැස් කරනවා. ඔහු අපේ කණ්ඩායමේ සිටීම ගැන මම සතුටු වෙනවා.”

ජේසන් රෝයි තවමත් ටෙස්ට් වරම් ලබා නැති ක්‍රීඩකයෙක්. “මම මේ දෙය කලිනුත් කියා තිබෙනවා. ඔහු ළඟදීම ටෙස්ට් ක්‍රීඩා කරාවි.”

“ඔහුට ටෙස්ට් ක්‍රීඩා කරන්න අවශ්‍ය ගතිගුණ සියල්ලම තිබෙනවා.”

ජොනි බෙයාර්ස්ටෝව්, ජේසන් රෝයි සමඟ එක්ව අනගි ආරම්භක පිතිකරු සබඳතාවක් ගොඩනැගූ අතර ඔහු රෝයිගේ ආරම්භක පිතිකරු භූමිකාව පිළිබඳ මෙසේ අදහස් දක්වා සිටියා.

“දිගු කලක් ආරම්භක පිතිකරු ලෙස ක්‍රීඩා කිරීම නිසා ඔහුගේ විශ්වාසය ඉතා ඉහළින් තිබෙන්නේ.”

“ඔහු ලෝක කුසලානයක දී ලකුණු 150ක් රැස් කිරීම පිළිබඳව මට ඉතා සතුටුයි. මම බලාපොරොත්තු වෙනවා අපි දෙදෙනාටම අද සිට දිගටම සාර්ථක ලෙස ලකුණු රැස් කරන්නට ලැබෙයි කියලා. ඉතා වැදගත් තරග ඉදිරියට තිබෙනවා.” ලකුණු 51ක් රැස් කරමින් රෝයිට අනගි සහයක් ලබා දුන් බෙයාර්ස්ටෝව් පවසා සිටියා.

එංගලන්තයට එදින සිදු වූ එකම ඇබැද්දිය නම් ජෝස් බට්ලර් ඔහුගේ ලකුණු 64ක ඉනිම අතරතුර දී ආබාධයකට ලක් වීමයි.

බට්ලර් කඩුලු රැකීමේ නිරත නොවූ අතර ජොනි බෙයර්ස්ටෝව් තරගයේ කඩුලු රකින්නා ලෙස ක්‍රීඩා කරන ලදි.

“ඔහුව මීළඟ පැය 48 ඉතා හොඳින් වෛද්‍ය පරීක්ෂණවලට ලක් කරනවා. නමුත් මේ මොහොතේ අපි බොහොම පරිස්සමින් ඉන්න ඕන ඔහුව ක්‍රීඩා කරවන්නේ නැතුව.” මෝර්ගන් පවසා සිටියා.

ලෝක කුසලානයට ගිය ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකුට ආබාධයක්!

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන සිව්වැනි ක්‍රිකට් තරගය බංග්ලාදේශය සමඟ…

“මට බොහොම විශ්වාසයි එය දරුණු ආබාධයක් නොවෙයි.”

බංගලාදේශය එංගලන්ත කණ්ඩායම 2015 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ඉවතට ඇද දමන්නට සමත් වූ අතර මේ තරගයේ දී පරාජිත බංගලාදේශ කණ්ඩායම වෙනුවෙන් තුන් ඉරියව් ක්‍රීඩක ෂකිබ් අල් හසන් ශතකයකින් දස්කම් දක්වන්නට සමත් විය. කෙසේ වෙතත් එංගලන්ත වේගපන්දු යවන්නන් ජෝෆ්රා ආචර්ගේ (3/29) මූලිකත්වයෙන් සුපිරි පන්දු යැවීමක නිරත වෙමින් බංගලාදේශය ලකුණු 280කට සීමා කරන්නට සමත් විය.  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<