නවසීලන්ත ලෝක කුසලාන සිහිනය එංගලන්ත පිතිකරුවන් සුනු විසුනු කරයි

231
CRICKET-WT20-2016-ENG-NZL

2016 ලෝක කුසලාන පන්දුවාර 20-20 පළමු අවසාන පූර්ව තරඟය ඊයේ (30) ඉන්දියාවේ දිල්ලි නුවර දී  නවසීලන්ත කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවැත්විණි.

කාසියේ වාසිය දිනාගත් එංගලන්ත කණ්ඩායම පන්දුවට පළමුවෙන් පහරදීමට නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කරන ලදි. ආරම්භක පිතිකරු යුගල ලෙස පිටියට පිවිසි මාටින් ගප්ටිල් හා නායක කේන් විලියම්සන් වේගවත් ආරම්භයක් ලබාගත්ත ද මාටින් ගප්ටිල් ලකුණු 15 කට දැවී යාමත් සමඟ පළමු කඩුල්ල ලකුණු 17 දී දැවී යන ලදි. අනතුරුව පිටියට පිවිසි කොලින් මුන්රෝ හා කේන් විලියම්සන් දෙවන කඩුල්ල සදහා ලකුණු 74 ක දැවැන්ත සබඳතාවක් ගොඩනැගු අතර එංගලන්ත කණ්ඩායමේ පන්දු රැකීමද ඉහළ මට්ටමක තිබිණි. කේන් විලියම්සන් පන්දු 28 කදී 4 පහරවල් 3 ක් හා එක් 6 පහරක් සමඟ ලකුණු 32 කට දැවී යන ලදි. කොලින් මුන්රෝ පන්දු 32 කදී 4 පහරවල් 7 ක් හා එක් 6 පහරක් සමඟ ප්‍රවේගකාරී ලකුණු 46 ක් ලකුණු පුවරුවට සටහන් කරන ලදි. අනතුරුව පිටියට පිවිසි රෝස් ටේලර් කුරේ ඇන්ඩරසන් සමඟ එක්ව ලකුණු 27 ක සබඳතාවක් එක් කරන ලදි. ලකුණු  පුවරුව ලකුණු 134 ක් ලෙස දැක්වෙන විට රෝස් ටේලර් ලකුණු 6 කට නවසීලන්ත ඉණිමේ 4 වන කඩුල්ල ලෙස දැවී යන ලදි. ලුක් රොන්ච් ලකුණු 3 කට දැවී ගිය අතර , මිචෙල් සැන්ටනර් ලකුණු 7 කටද, මිචෙල් මැක්ලගන් අවසාන පන්දුවේ දී එක් ලකුණකට දුවද්දී ද දැවී යන ලදි. අවසාන පන්දුවාර 5 තුල දී එංගලන්ත කණ්ඩායම දක්ෂ පන්දු යැවීමක නිරත වෙමින් පන්දුවාර 20 අවසානයේ දී නවසීලන්තය කඩුළු 8 ක් දැවී ලකුණු 153 කට සීමා කරන ලදි. නොදැවී ක්‍රීඩා කල ග්‍රාන්ට් එලියට් පන්දු  6 කදී  ලකුණු 4 ක් ලබා ගන්නා ලදි.

පන්දු යැවීමේදී එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ බෙන් ස්ටෝක් පන්දුවාර 4 කදී ලකුණු 26 කට කඩුළු 3 ක් ලබා ගත් අතර ඩේවිඩ් විලී, ක්‍රිස් ජෝර්ඩන්, ලයිම් පලන්කට්, මොයේන් අලී එක් කඩුල්ල බැගින් දවාලීමට සමත් විය.

ලකුණු 154 ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ඇලෙක්ස් හේල්ස් හා ජේසන් රෝයි ලකුණු 82 ක සබඳතාවක් එක් කරන ලදි. පළමු කඩුල්ල ලෙස ඇලෙක්ස් හේල්ස් ලකුණු 20 කට දැවී යන ලදි. ඉයන් මෝගන් ලකුණු නොලබා දැවී ගිය අතර ජේසන් රෝයි පන්දු 44 කදී වේගවත් ලකුණු 78 ක් ගැනීමට 4 පහරවල් 11 ක් හා 6 පහරවල් 2 ක් ලබා ගැනීමට සමත් විය. ලකුණු 110 දී එම අවසාන කඩුළු 2 ක දැවී ගිය අතර ජෝයි රෑට් නොදැවී ලකුණු 27ක් හා ජෝස් බට්ලර් නොදැවී ලකුණු 32 ක් ලබා ගනිමින් පන්දුවාර 17 යි එක් පන්දුවකදී කඩුළු 3 ක් පමණක් දැවී ලකුණු 159 ක් ලබා කඩුළු 7 කින් තරඟය ජයග්‍රහණය කරමින් එංගලන්ත කණ්ඩායම දෙවන වරටත් අවසාන මහා තරඟයට ඒමට අවස්ථාව උදා කරගැනීමට සමත් විය.

පන්දු යැවීමේදී ඉෂ් සෝදී ලකුණු 42 කට කඩුළු 2 ක් දවාලීමට සමත් විය.

තරඟයේ වීරයා ලෙස ජේසන් රෝයි සම්මාන දිනා ගන්නා ලදි.

දෙවන අවසන් පූර්ව තරඟය අද (31) ඉන්දියාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ඉන්දියාවේ මුම්බායි හිදී පැවැත්වීමට නියමිතය.