සුමතිපාල මහතාගේ අසුන ක්‍රීඩා ඇමතිගේ ලේකම්ට

1071

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් සභාපති වන තිලංග සුමතිපාල මහතා ඇතුළු කණ්ඩායමේ නිල ධූර කාලය අද (31) දිනයෙන් අවසන් වූ අතර එම නිසා පළාත් සභා, පළාත් පාලන හා ක්‍රීඩා අමාත්‍ය ගරු ෆයිසර් මුස්තාෆා මහතා ජුනි පළමු වැනිදා සිට නිලවරණය පවත්වන තෙක් එහි වැඩ කටයුතු බැලීමට එම අමාත්‍යංශයේ ලේකම් වන කමල් පද්මසිරි මහතාව පත් කිරීමට තීරණය කර ඇත.

අතුරු තහනමක් නිලවරණයට හරහට හිටී

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය හෙට (31) පැවැත්වීමට නියමිතව තිබූ අතර නිලවරණයට එරෙහිව ඉදිරිපත් වූ පෙත්සමක් සැලකිල්ලට ගෙන ක්‍රිකට් නිලවරණයට…

ක්‍රීඩා අමාත්‍යංශයේ දී පැවති මාධ්‍ය හමුවේ දී සිය තීරණය පිළිබඳව දැනුම් දුන් අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා මෙසේ සිය අදහස් දක්වන ලදි.

“නීතිපතිතුමාගේ උපදෙස් අනුව තමයි මම මේ තීරණය ගත්තේ, ඒක නිසා හෙට (1) ඉඳලා මගේ අමාත්‍යංශයේ ලේකම් වන කමල් පද්මසිරි මහතාව නිලවරණය පැවැත්වෙන තුරු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වැඩ බලන්න පත් කරනවා. එතුමා පිළිබඳව මට හොඳ විශ්වාසයක් තියෙනවා. මමත් මගේ උපරිම සහය එතුමාට ලබා දෙනවා.”

ලබන 14 වැනිදා තෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය පැවැත්වීමට නොහැකි බැවින් අතුරු පාලන කමිටුවක් දැමීමෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විශ්වාසය පිළිබඳව ජාත්‍යන්තරයේ නැගෙන අවිශ්වාසය ඇතුළු කරුණු කාරණා කිහිපයක් පිළිබඳව අමාත්‍ය ගරු ෆයිසර් මුස්තාෆා මහතාව දැනුවත් කළ බවත්, එහි දී සුමතිපාල මහතා ෆයිසර් මුස්තාෆා මහතාගෙන් වත්මන් නීත්‍යානුකූල පාලන මණ්ඩලයේ කාලය තවත් සති 12කින් වැඩි කර දෙන ලෙස ඉල්ලා තිබුණි.

ICC, CID හා ශ්‍රී ලංකා ක්‍රිකට් තුනෙන් ම විශේෂ පරීක්ෂණ

ක්‍රිකට් ලෝකය කලඹමින් අල්ජසීරා මාධ්‍ය ආයතනය නිකුත් කළ ශ්‍රී ලංකාවේ තරග පාවාදීමේ වාර්තාව පිළිබඳව ලෝ පුරා කතාබහක් ඇති වී තිබේ. ඒ වීඩියෝ පටයේ සිටින තරග…

“අපි අද උදේ පැය දෙකක පමණ කාලයක් ක්‍රීඩා ඇමතිතුමා සමඟ කතා කළා, අපි එහි දී අතුරු කමිටුවක් දැමීමෙන් වෙන හානිය පිළිබඳව එතුමාව දැනුවත් කරලා ඇමතිතුමාගෙන් ඉල්ලීමක් කළා ක්‍රීඩා පනතට අනුකූල ලෙස අපේ ධූර කාලය තවත් සති 12කින් වැඩි කරලා දෙන්න කියලා. බලමු ඇමතිතුමාගේ තීරණය මොකක්ද කියලා.“ යැයි අමාත්‍යතුමාගේ තීරණය දැනුම් දීමට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දී පැවති මාධ්‍ය හමුවේ දී සුමතිපාල මහතා පවසන ලදි.

“අපි හැමෝම ශ්‍රී ලංකා ක්‍රිකට්වලට ආදරෙයි. ඒක නිසා මේක වැටෙන්න අපි කිසිම වෙලාවක ඉඩ දෙන්නේ නෑ. සුමතිපාල මහතා මගෙන් සාධාරණ ඉල්ලීම් කිහිපයක්ම කළා නමුත් මට නීතිපතිතුමාගේ උපදෙස්වලට පිටින් යන්න බෑ.” යැයි ක්‍රීඩා අමාත්‍යංශයේ දී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යතුමා පවසන ලදි.

මීට පෙර ද ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක මණ්ඩලය විසින් නිලවරණ කමිටුව පත්කිරීම ව්‍යවස්ථාවට පටහැනි බව පවසමින් නීතිපතිවරයා ලබා දුන් තීන්දුවක් නිසා ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා ක්‍රිකට් නිලවරණය මැයි 19 වැනිදා සිට 31 වැනිදා තෙක් කල්දමන්නට තීරණය කළේය. අවසානයේ නිලවරණය අද (31) පැවැත්වීමට නියමිතව තිබූ අතර නිලවරණයට එරෙහිව ඉදිරිපත් වූ පෙත්සමක් සැලකිල්ලට ගෙන ක්‍රිකට් නිලවරණයට එරෙහිව අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නට අභියාචනා අධිකරණය ඊයේ (30) පියවර ගත්තේය.

එම තීන්දුවට තුඩු දුන් පෙත්සම ඉදිරිපත් කර තිබුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු ලේකම්වරයෙකු වූ නිශාන්ත රණතුංග මහතා විසින් වන අතර ඔහුගේ පෙත්සමට අනුව වත්මන් සභාපති තිලංග සුමතිපාල මහතා වගඋත්තරකරුවෙකු ලෙස නම් කර තිබුණි.  

“මේ කාර්යභාරය තුළ මා දකින්නේ නිසියාකාර කළමනාකරණය පිළිබඳව ඇති හැකියාවයි. හෙට (1) උදේ ඉදන් එහි වැඩකටයුතු කරගෙන යන්න ගරු ඇමතිතුමා විසින් මාව පත්කරලා තියෙනවා. ඒ ගැසට් නිවේදනය අද රාත්‍රියේ දී නිකුත් වෙයි. මේ වැඩකටයුතු සාර්ථකව කරන්න පුළුවන් කියලා මට ලොකු විශ්වාසයක් තියෙනවා.” යැයි හිටපු කොළඹ දිසාපති වන කමල් පද්මසිරි මහතා තනතුර භාර ගැනීමෙන් පසුව මාධ්‍යයට අදහස් දක්වමින් පවසන ලදි.

මේ නිසාවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මඟින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලැබෙන මුදල් ප්‍රමාණයෙන් යම් ප්‍රතිශතයක් කපා හැරීමේ අවදානමක් තිබෙන අතර ඉදිරියේ දී පැවැත්වෙන ලංකන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ද කල් යාමට වැඩි අවස්ථාවක් තිබේ.

කෙසේ නමුත් හෙට (1) සිට නිලවරණය පවත්වා අවසන් වන තෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සියලු වැඩකටයුතු කමල් පද්මසිරි මහතා විසින් මෙහෙයවනු ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<